ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වේදිකාවේ අහිංසකාවිය යැයි කියූ පමණින් සංගීතයට ආදරය කරන රසික රසිකාවියෝ ඇයව හඳුනති. පාසල් අධ්‍යාපනය ලබන සමයේදීම ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ තුරුණු ශක්ති ගායන තරගාවලියේ අබිසෙස් ලැබූ සශිකා නිසංසලා කියූ පමණින් ඇය රටක් ලෝකයක් හොඳින් හඳුනයි. මෙවර තරුණි අම්මාවරුනේ පිටුව හැඩ කරන්නේ ඇගේ අත්දැකීම් ඇසුරිනි. මේ ඇය සිය මව ගැන කියූ කතාවයි.
“මගේ අම්මා බී. ජයසුමන. අපි ඇත්තටම පුංචි කාලේ ජීවත් වුණේ දැරණියගල ඌඩාපොළ ගම්මානයේ. එය අපේ අම්මාගේ සහ තාත්තාගේ ගම. මගේ මල්ලි මට වඩා අවුරුදු හතරක් බාලයි. අපේ තාත්තා රජයේ රැකියාවක් කළා. ඉතින් තාත්තා හැමදාම වැඩ ඇරිලා ගෙදර එන්නේ රෑ බෝ වුණාට පසුවයි. එවන් තත්ත්වයක අම්මා, මගේ මල්ලිගේ තාත්තාගේ වගකීම් සහ ගෙදර කටයුතු ද ඉටු කරමින් විශාල කැප කිරීමක් කළා.
පුංචි සන්ධියේ අම්මා සහ සශිකා අතර මතකයෙන් නොගිලිහුණු සිදුවීම් කිහිපයක් සශිකා නිසංසලා අප හමුවේ තැබුවේ මෙයාකාරයෙනි.
සුජාතා අත්තනායක ඇන්ටිගේ ‘පුතුනේ මේ අහගන්න පුතුනේ’ ගීතය මා මුලින්ම ඇහුවේ අම්මාගේ මුවින්. ඉස්සර අපේ මල්ලි පුංචි කාලයේ නළවන විට ඒ ගීය අම්මා ගායනා කරන හැටි මට අද වගේම මතකයි. ඒ කාලයේ අපේ ගෙදරට විදුලිය නොතිබුණත් බැටරියෙන් වැඩ කරන රේඩියෝවක් තිබුණා. ඒත් ඒ ගීතය මම ගුවන්විදුලියෙන් අසන්නට පෙර මගේ සවන් වැකුණේ අම්මාගේ මුවින්.
අම්මා ඒ නැළවිලි ගී ගායනා කරනකොට කවිවල තිබෙන කතාන්දරාත්මක සිදුවීම් සිතේ මැවෙනවා. ඇත්තටම සංගීතයට ඇල්මක් ඇති වන්නට අම්මාගේ නැළවිලි ගීය හේතුවක් වුණාදැයි
මට සිතෙන අවස්ථා එමටයි. ඇත්තටම අපේ අම්මාටත් හොඳට ගී ගයන්න පුළුවන්.
ඉස්සර අම්මා කෑම උයන හැටි මං බලාගෙන ඉන්නවා. ඒ වගේම අම්මා සමඟ මම නාන්න යන්නේ ගම්මානයේ තිබුණු පුංචි ඔයටයි. ඉතින් පුංචි අවධියේ වැඩි කාලයක් මා ගත කළේ අම්මාගේ සෙවණ ලබමින් කීවොත් මා නිවැරදියි.
ඒ වගේම තවත් අමතක නොවන මතකයක් සඳහන් කළ යුතුමයි. මං පුංචි කාලයේ ගමේ ජීවත් වුණු ගෙදර ප්‍රධාන දොර තිබුණේ තරමක් උසින්. ඉතින් දොරෙන් ඇතුළු වෙන්න පඩි දෙක තුනක් නැඟ යා යුතුයි. පුංචි කාලයේ මාව ඒ පඩියෙන් වැටිලා මගේ නළල සහ ඇස ළඟ තුවාල වී තිබෙනවා. ඒ තුවාල කැළැල් අදත් යාන්තමට දැක ගත හැකියි. ඉතින් ඒ තුවාලවලින් එදා ලේ විද්දා කියා අම්මා කීවා. දුරකතන සබඳතා, ප්‍රවාහන පහසුකම් නොතිබි යුගයක අපේ අම්මා මාව ඔසවාගෙන බස් රථයක් ගැනීමට කිලෝමීටර් 3ක් පමණ පා ගමනින් ගමන් කර නගරයේ රෝහලකට මාව ඇතුළත් කිරීම මට අමතක නොවන සිදුවීමක්. එදා අම්මා ගොඩාක් බය වුණු බව අදටත් අම්මා ඒ සිද්ධිය මතක් කරමින් කියා සිටිනවා.”
සශිකා නිසංසලා සිය මවගෙන් ලැබූ ආභාසයන් ගැන සඳහන් කළේ මෙබඳු කතාවකි.
“ඇත්තටම මගේ කටහඬ අම්මාගේ හඬට සමානයි. ඒ වගේම මගේ අම්මා හරිම ලස්සනයි. අම්මාගේ ජීවිතයේ තිබුණු සරල බව මගේ ජීවිතයට උරුම වී තිබෙනවා. අද මම ගායිකාවක ලෙස ජනප්‍රිය වීමට, රසික ආදරය සහ ගෞරවය ලැබීමට මගේ ගායන හැකියාව වගේම සරල බවත් හේතුවක්. ඒ සරල බව මට ලැබුණේ මගේ අම්මාගෙන්. අදටත් අපේ අම්මා චාම්ව අඳින පලඳින කාන්තාවක් බව කිව යුතුයි.
ඒ වගේම අපේ අම්මාට රසට උයන්න පුළුවන්. ඒ ආභාසය අම්මා තරම් නොවූවත් තරමක් හෝ මට ද ලැබී තිබෙනවා. අම්මා හදන කෑම බීම දිහා බලා සිටිමින්, ඒවාට උදවු කරමින් මම උයන්න පිහන්න ඉගෙන ගත්තා.”
“අපේ අම්මා සතු ගුණාංග අතර ඉවසීමෙන් කටයුතු කිරීමට ප්‍රධාන තැනක් හිමි වෙනවා. අපේ තාත්තා හරිහම්බ කරන මුදල් කළමනාකරණය කරමින් ඇය නිෙවසේ කටයුතු මැනවින් සැලසුම් කළා. ඒ කාලයේ අපිට ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒත් අම්මාගේ අරපිරිමැස්ම, මුදල් කළමනාකරණය නිසාම අපිට ඒ ආර්ථික ප්‍රශ්න නොදැනුණා කීවොත් වරදක් නෑ.
ඇත්තටම මා ගායිකාවක් ලෙස ඉදිරියට පැමිණෙන විට ළඟින් උන්නු සමහර උදවිය කෙනෙහිලිකම් කළා. ඉතින් ඒ අවස්ථාවලදී අම්මා සහ තාත්තා මට ලොකු ශක්තියක් වුණා. ඇත්තටම එහිදී මට මගේ සංගීත ගමන එපා නොවී ඉදිරියට ගෙන යන්නට අම්මා සහ තාත්තාගෙන් විශාල ශක්තියක් ලැබුණා කීවොත් නිවැරදියි. ඒ තත්ත්වය මත අම්මා, තාත්තා ඉවසීමෙන් මට ආදරය දක්වමින් මගේ සෙවණැල්ල වාගේ පසුපස එමින් මාව ආරක්ෂා කළා. ඔවුන් මට පලි ගැනීමට ඉගැන්වුවේ නෑ. අදටත් මම ඔවුන්ගේ එම ආදර්ශය අනුව කුමන බාධා පැමිණියත් මගේ කාර්යය නිවැරදිව මගේ පාඩුවේ මම කරනවා.
ඒ වගේම ඕනෑම වේදනාවක් දරාගන්නට අපේ අම්මාට පුළුවන්. ඒ වගේම ඇය ඉක්මනින් සංවේදී වන චරිතයක්.”
මව ගැන අව්‍යාජ වූ වර්ණනාවෙන් පසුව සශිකා සිය පියා ගැන ද කතා කරන්නට අමතක නොකළාය.
“මගේ තාත්තා යූ.පී. ජයසුමන. තාත්තාගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් ගායනයට සහ වාදනයට දස්කම් දැක්වූවන්. මගේ පළමු සංගීත ගුරුවරයා වුණේ මගේ තාත්තා. පොඩි කාලේ පුංචි පුංචි සිංදු රේඩියෝවෙන් අහන්නට දීලා ඒවා ගායනා කරන්නට පවා ඉගැන්වුවා. මගේ තාත්තාට මාව ගායිකාවක් කිරීමේ අරමුණ තිබුණේ මා පෙර පාසල් යන අවධියේ ඉඳන්මයි. තාත්තාට සංගීතය වැඩිදුර ඉගෙනීමට නොහැකි වූ නිසාම එය මට ලබා දීමට ඔහුට ලොකු වුවමනාවක් තිබුණා.
එදා පියාගෙන් ලද රැකවරණය සශිකාට අද ලබාදෙන ආදරණීය සැමියා ගැන ඇය පළ කළේ මෙවන් අදහසකි.
“ඔහු මට හමු වන්නේ විශ්වවිද්‍යාලයේදීයි. සුරංග මට වඩා ඉහළ වසරක ඉගෙනුම ලැබුවා. මුලින් අප අතර පැවති මිතුරු සබඳතාව පසුව ප්‍රේමයක් ලෙස දලුලා වැඩුණා. ඔහුත් බොහොම සරලයි. ඔහු මාව පවා එයාකාරයේ සරල ගැහැනු ළමයෙක් ලෙස දකින්න ඇති. මං විශ්වවිද්‍යාලයට යන විටත් තුරුණු ශක්ති තරගාවලිය ජයගෙන ගීත 3ක් නිකුත් කරමින් ජනප්‍රියත්වයේ සිටියා. සුරංග ඒ වන විට මාව රූපවාහිනියේ දැක තිබුණේ නෑ. මගේ ජීවිතය වගකීම්සහගතව තේරුම් ගත හැකි කෙනෙක් ලෙස මම සුරංගව තේරුම් ගත්තා. ආදර සබඳතාව අපි ආරම්භ කරන විට මම ඒ වගකීම පිළිබඳ ඔහුට කීවා.”
සැමියෙක් බිරිය සහ දරුවන් වෙනුවෙන් කරනු ලබන කැපකිරීම් අප සවනත නැඟෙන්නේ ඉතා කලාතුරකිනි. මේ එවන් කලාතුරකින් අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨ කතාවකි.
“සුරංග විද්‍යා විෂයය හදාරා පෞද්ගලික අංශයේ රටේ පිළිගත් ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කළ අයෙක්. මුල් කාලයේ ඔහු රැකියාව ද කරමින් මගේ සංගීත කටයුතුවලට උදවු කළා. අනතුරුව අපේ පවුලට ලොකු පුතා එකතු වුණා. ඒ අතරතුර මං පුංචි කාලයේ සිට සිහින දුටු සංගීත ගුරුවරියක් වීමේ ආශාව ද සපල වුණා. සුරංග ද එයට ඉඩ දුන්නා.
අනතුරුව අපේ පවුලට පොඩි පුතා එකතු වුණාට පසුව සුරංග රැකියාවෙන් ඉවත් වී මා සහ දරුවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නට තීරණය කළා. ඇත්තටම මාව ආරක්ෂා කරන සෙවණැල්ල ලෙස සුරංගව සඳහන් කළ හැකියි.”
“ඇත්තටම මොන තීරණය ගත්තත් අපි දෙන්නා සාකච්ඡා කර ඒ තීරණයට එළැඹෙනවා. එය ඇත්තටම මට ලොකු සැනසීමක්. ඒ වගේම අදටත් මගේ අම්මා, තාත්තා මා සමඟ ඉන්නවා. ඔවුන් එදා මාව රැකබලා ගත්තා වාගේ අද මා ඔවුන් බලා ගන්නවා.