ප්‍රේක්ෂකයන්ට මෝඩ තරිඳු රහ වැටිලා-සූර්යා දයාරුවන්

gossiplanka image 1
 

සමනල සංධ්වනිය හරහා කලා ක්ෂේත්‍රයට පය තැබූ සුහුඹුල් රංගන ශිල්පියා අද වන විට ලංකාවේ සිටින වඩාත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් බවට පත්ව සිටී. රංගනය පිළිබඳව අදහසක්වත් නොතිබූ සංගීතය ඉගෙන ගනිමින් සිටි විශ්වවිද්‍යාල තරුණයා මේ වන විට රටම කතාවෙන “මෝඩ තරිඳු” බවට පත් වී ඇත්තේ ඔහු සතුව තිබූ දක්ෂකමත් අප්‍රතිහත ධෛර්යයත් හේතුවෙනි. සූර්යා දයාරුවන් නම් වූ නළුකමත්, ගායනයත්, නිවේදනයත් යන සියල්ලෙහි එක ලෙස දක්ෂ ඔහු සමඟ හදගැස්ම අපි සංවාදයක නියැළුනේ අති සාර්ථකව තිරගත වන මෝඩ තරිඳු චිත්‍රපටය පිළිබඳව කතා බහ කිරීමටයි.


මෝඩ තරිඳු ගැන කියලම කතාව පටන් ගමු නේද?


මම රංගනයට ඇවිත් අවුරුදු දාහතරක් විතර වෙනවා. සමනල සංධ්වනියෙන් පටන් ගත්ත ගමනේ ප්‍රධාන සංධිස්ථානයක් විධියට තමයි මම මෝඩ තරිඳු දකින්නේ. හිතුවට වඩා ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. මට මේ චිත්‍රපටයට ආරාධනා කරාට පස්සේ මම පිටපත කියවලා හරිම ආසාවෙන් මේ චරිතය භාර ගත්තා. තිසරලා දෙන්නටම ස්තූති වෙනවා මාව මේ වැඩේට සම්බන්ධ කර ගත්තට. මේ වෙද්දි චිත්‍රපට හෝල් පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ තරම් අපේ ප්‍රේක්ෂකයන්ට මෝඩ තරිඳු රහ වැටිලා තියෙනවා. සිනමාවේ ඒ වගේ වර්ධනයක් දකින්න ලැබීම  ගැන හරිම සතුටුයි.


මේ මොහොතේ ඔබ ලංකාවේ වඩාත් ජනප්‍රිය නළුවා. මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?


මම මුලින්ම ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාට ස්තූතිවන්ත වෙනවා මාව මේ ක්ෂේත්‍රයට අරගෙන ආවට. මොකද ඔහු මාව සමනල සංධ්වනිය හරහා මේ ක්ෂේත්‍රයට අරගෙන ආවේ නැත්තම් අද සූර්යා කියලා රංගන ශිල්පියෙක් නැති වෙන්න තිබුණා. මොකද  මම රංගනයට කිසිම සම්බන්ධයක් තිබුණේ නැති කෙනෙක්. ඒ පටන් ගත්ත ගමන දිහා ආපසු හැරිලා බලද්දි විශාල සතුටක් දැනෙනවා. මේ වෙද්දි චිත්‍රපට දොළහකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් පළමු චිත්‍රපටය සහ දොළොස් වන චිත්‍රපටය මගේ ජීවිතේ විශාලම සංධිස්ථාන බවට පත් වුණා. ඒ වෙනුවෙන් මම ඒ අධ්‍යක්ෂවරුන්ට ස්තූතිවන්ත වෙනවා. එක පැත්තකින් මම  හරි වාසනාවන්තයි. මොකද එකිනෙකට වෙනස්, බරක් සහිත හොඳ තිරපිටපත්, හොඳ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ලැබෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ. ඒ දේවල් සහ මගේ දක්ෂතාවනුත් බලපෑවා කියලා හිතනවා. ඇත්තටම තිසර මට එක් අවස්ථාවකදී කිව්වා. මේ චරිතයට උඹ ඇරෙන්න වෙන කවුරුත් නැහැ කියලා.


නම මෝඩ තරිඳු වුණාට චිත්‍රපටයේ අන්තර්ගතය එතරම් සරල නැහැ නේද?


නම මෝඩ තරිඳු වුණාට මේකේ මෝඩ කියන එක “හොඳ” කියන අර්ථයෙනුත් ගන්න පුළුවන්. සමහර වෙලාවට අපේ හොඳ නිසාම අපි මිනිස්සුන්ව විශ්වාස කරලා රැවටෙනවා. ඉතිං ඒ නිසාම ජීවිතයේ අපි පරාජයට පත්වෙන රැවටෙන අවස්ථා තියෙනවා. ඒක තමයි ලෝක ස්වාභාවය. ඊට අමතරව කර්මය කියන කාරණය ගත්තොත් අපි හොඳක් කළොත් අපිට හොඳක් සිද්ද වෙනවා, අපි නරකක් කළොත් අපිට නරකක් සිද්ද වෙනවා කියන එකත් මෙහි යටින් කතා කරනවා. ඒ වගේම ජීවත් වෙනවා, මැරෙනවා සහ නැවත ඉපදෙනවා කියන සම්පූර්ණ සංසාර චක්‍රයම මේ චිත්‍රපටයෙ අන්තර්ගත වෙනවා. හරිම සරල රසවත් පිටපතක් තුළ මේ වගේ ගැඹුරු තේරුම් රැසක්ම ඇතුළත් වෙනවා. මෝඩයා කියන වචනය  ගත්තොත්, හොඳ වැඩි නිසා, ආදරේට වගේම තරහටත් භාවිත වෙනවා. මෝඩ තරිඳු කියන වචනය සමාජය ඇතුළේ මීට පෙර ඉඳලම ජනප්‍රිය වෙලා තිබුණා. මට මේ චරිතයට කතා කරාම මම තිසරගෙන් ඇහුවේ මාව මෝඩයෙක් වගේ පේනවද කියලා. ඒ වෙලාවේ තිසර මට කිව්වේ නෑ මචං මේකට ඕන තරිඳු හිත හොඳ අවංක කෙනෙක් කියලා. ඒ වගේම මගේ ඇක්ටිංග් කැපෑසිටි එකත් මාව මේ චරිතයට ගන්න හේතුවක් කියලා ඔහු කිව්වා.


ෆිල්ම් හෝල් එකට ගිහින් වීඩියෝ කෑලි රෙකෝඩ් කරලා දාන එක අද ට්‍රෙන්ඩ් එකක් වෙලා ඒ ගැනත් කතා කරමු?


ඇත්තටම ඒක සිනමාකරුවන්ට, ප්‍රේක්ෂකයන්ට වගේම සමස්තයක් වශයෙන් චිත්‍රපට රසවින්දනයටම සිදුවන අසාධාරණයක්. මේ වෙද්දි යම් කිසි කාලරාමුවකට යටත්ව ඊට වඩා වැඩි වෙලාවක් සහිත වීඩියෝ පට මුදාහැරලා තියෙන සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව දැනුම් දීලා තියෙනවා. මේ තත්ත්වයට පසුගිය කාලේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු නිර්මාණ කිහිපයකටම වගේ මුහුණ දෙන්න සිදු වුණා. නමුත් එහෙම වුණත් ඔවුන්ගේ ආදායමට එය විශාල විධියට බලපෑවේ නැහැ. මොකද සමාජ මාධ්‍යවලින් මොනතරම් වීඩියෝ කෑලි දැක්කත් චිත්‍රපට ශාලාවකට ගිහින් චිත්‍රපටය බලන්න කැමැති ප්‍රේක්ෂකයා අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම විඳින්න එනවා. ඒ වගේම ලංකාවට අමතරව විදෙස් රටවලත් චිත්‍රපටය පෙන්වන නිසා ඒ හරහාත් චිත්‍රපට විශාල ආදායමක් උපයනවා. ඒ නිසා හොඳට දුවන චිත්‍රපටයකට එවැනි දේවල් නිසා විශාල හානියක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ගත්තොත් ඒ විධියට වීඩියෝ දකින එකෙන් සමහර විට කෙනෙක්ට චිත්‍රපටය නැරැඹීමට තියෙන ආසාව නැති වෙන්න පුළුවන්. එතැනදි ප්‍රේක්ෂකයන් අදාළ නීතිමය රාමුවට යටත්ව කටයුතු කරනවා නම් මේ ගැටලුව අවම කරගන්න පුළුවන්.


කොළඹින් ගොඩාක් දුර බැහැර ප්‍රදේශයක ඉඳලා ඇවිත් රටේ ජනප්‍රිය නළුවෙක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ආපසු  හැරිලා බලද්දි මට විශාල සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා. මම පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න දක්ෂයි, මගේ මවුපියෝ සහ ගුරුවරු එකතුවෙලා ඒ දක්ෂකමට මනුස්සකම ආදරය වගේ දේවල් එකතු කරලා මට හරි පාර පෙන්නුවා. ඒ දේවලුත් එක්ක මම කාගෙවත් කකුලෙන් අදින්නේ නැතුව, කාවවත් වට්ටන්නේ නැතුව පිළිවෙළකට ආපු ගමනක් මේක. මම හැමදාම බැලුවේ මම මොනවද තව ඉගෙන ගන්න ඕන. මම මොනවද තව ජීවිතයට එකතු කරගන්න ඕන කියන දේ. මේ සොබාදහම අපි නරකක් නොකරන තාක්කල් අපිව ආරක්ෂා කරනවා. මම මේ සොබාදහම විශ්වාස කරනවා. ජනප්‍රිය කියලා කිව්වාත්, මම ජීවත් වෙන්නේ හරිම සරලව. මම මැරෙන තුරු ජීවත් වෙන්නේ එහෙම. මොකද සරලව ඉන්න තාක්කල් අපිට නිර්මාණයකට වුණත් පහසුවෙන් දායකත්වය ලබා දෙන්න පුළුවන්.


සූර්යා දයාරුවන් කියන ගායකයා ගැනත් කතා කරමු?


මේ වෙද්දි හිංදි කවර්ස් 6ක් ෂූට් කරලා ඉවරයි. මගේ ඔරිජිනල් ගීතයකුත් නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිර්මාණ හතම ඉදිරියේදි පිළිවෙළකට ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම තීරණය කරලා තියෙනවා ඉදිරියේදී ගෘහස්ථ සංගීත ප්‍රසංගවලට අමතරව එළිමහන් සංගීත සන්දර්ශනවලටත් සහභාගි වෙන්න. මොකද හැමෝටම ලොකු මුදලක් වියදම් කරලා ගෘහස්ථ ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න බැහැ. ඒ නිසා මම හිතුවා දුර පළාත්වල ගම්වල අපිව බලන්න කැමැති පිරිස වෙනුවෙන් එළිමහන් ප්‍රසංගවලටත් පුළුවන් විධියට ඉදිරියේදි දායක වෙනවා කියලා.


ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


මේ දවස්වල මම චිත්‍රපට පිටපතක් කියවන ගමන් ඉන්නේ. ඊට අමතරව මම කරපු තව චිත්‍රපට තුනක් එන්න තියෙනවා. ඒත් එක්කම මේ දවස්වල මගේ මහරාණි සහ සතී කියන ටෙලි නාට්‍ය දෙරණ නාළිකාවේ සහ ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post