සියයට සියයක්ම සිංගල් – අචිනි හංසමාලි

gossiplanka image 2
 


පුංචි කාලෙ ඉඳන්ම දැක්ක හීනයක් අනුව මොඩල් කෙනෙක් වෙන අචිනි හංසමාලි අද වන විට රංගන ක්‍ෂේත්‍රයටත් පිවිසිලා. ඇයගේ මුල්ම රංගනය මේ දිනවල තිරගතවන එළ ද බ්‍රා සිනමා නිර්මාණය හරහා රසිකයන්ට දැකබලා ගන්න පුළුවන්.



අචිනි, මැර සාරාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


‘එළ ද බ්‍රා’ කියන්නෙ මගේ පළමු සිනමා නිර්මාණය. ඒ වගේම මට ලැබුණෙ වෙනස්ම විදිහේ චරිතයක්. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව.


කොහොමද ඔබට මේ අවස්ථාව ලැබෙන්නෙ?


මෙහි අධ්‍යක්‍ෂ පූජිත ගුණතිලක මහත්මයා මගේ තාත්තගෙ යාළුවෙක්. මාවත් පුංචි කාලෙ ඉඳන්ම දන්නව. ඒ දැනහැඳුනුම්කම මත තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. ඒ වගේම දැනට කාලෙක ඉඳන් මම නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධවෙලා වැඩකරනව. ඒ අත්දැකීම් සිනමාවේ වැඩකටයුතුවලට ලොකු රුකුලක් වුණා.



මුල්ම ෂූටිං අත්දැකීම මොන වගේද?


පළමු වතාවට ලොකේෂන් එකට හියාම ටිකක් බය හිතුණා. මුල්ම ෂූටිං එක තිබුණෙ පේෂල අයියත් එක්ක. එතැනදි ඔහු ගොඩක් උදව් කළා මට චරිතය ගොඩනගා ගන්න. ඒ වගේම පුහුණුවීම් කටයුතුත් කරල කොහොම හරි අපි අපේ උපරිමයෙන් චිත්‍රපටයට අපේ දායකත්වය ලබාදුන්නා. මම හිතනව මගේ චරිතය හොඳින් කරන්න ඇති කියල.


අධ්‍යක්‍ෂවරයා මොකද කිව්වෙ?


ඇත්තටම මම අලුත් කෙනෙක් කියල කිසිම වෙනසක් කළේ නැහැ. නිතරම මට කිව්වෙ ඔයා වෙලාව අරගෙන චරිතයට සූදානම් වෙන්න කියල. ඇතැම් ජවනිකාවලට අනුගත වෙන්න මට අපහසු වුණ කිසිම මොහොතක මට දොස් කිව්වෙ නැහැ. බොහොම හොඳින් ඒ අවස්ථාව මට පැහැදිලි කරල දුන්නා.


චණ්ඩි චරිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?


ඔව්, නමුත් ඒවා ලොකු දේවල්නම් නෙමෙයි. මෙහි එක තැනක තියෙනව මම යකඩ පොල්ලකින් ගහල වීදුරු කුඩුකරන දර්ශනයක්. ඒ වෙලාවෙදි මගේ නොදැනුවත්කමින් යකඩ පොල්ල සමහර අයගෙ ඇඟේ වැදිල පුංචි අනතුරු සිදු වුණා. නමුත් වාසනාවකට කාටවත් ලොකු අනතුරක් වුණේ නැහැ.


අචිනිත් සාරාගේ චරිතයට සමානද?


සමහර අයනම් කියනව වෙලාවකට මමත් ඒ වගේ කියල. ඒ වුණාට මම සැර නැහැ. ටිකක් තරහ නම් යනව. කොහොම වුණත් මට සංවේදි හිතක් තියෙනව.


ඔබ නිරූපණයෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනව?


ඔව්, මම 2023 අවුරුද්දෙ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රී ලංකා තරගයේම කොටසක් වන ක්වීන් ඔෆ් ද අයිලන්ඩ් ශ්‍රි ලංකා තරගයෙන් මම ජයග්‍රහණය කරනව.


අචිනිගෙ හීනය වුණේ?


මම පුංචි කාලෙ ඉඳන්ම හීන දැක්කෙ මොඩල් කෙනෙක් වෙන්න. ඒ වගේම පුළුල් තිරයේ මාව දකින්න ආසාවකුත් තිබුණා.


නිරූපිකාවක් විදිහට මෙතෙක් ආපු ගමන ඔබට දැනෙන්නෙ කොහොමද?


මම නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් දැනට අවුරුදු තුනහමාරක් විතර වෙන්නෙ. මේ කෙටි කාලය ඇතුළත මට ප්‍රවීණයක් රැසක් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම පැජන්ට් එකක් වින් කළා. ඇත්තටම සතුටුයි මම අද ඉන්න තැන ගැන.


නිරූපණ ක්‍ෂේත්‍රය ඔබ දකින්නෙ කොහොමද?


මම පොඩි කාලෙ දැකපු නිරූපණ ක්‍ෂේත්‍රය අද වන විට ටිකක් වෙනස් වෙලා. ක්‍ෂේත්‍රය ගැන හැදෑරීමක් නැති ගොඩක් දෙනෙක් ක්‍ෂේත්‍රයට ඇවිත් අඩු මුදලට වැඩකරන නිසා මේ ක්‍ෂේත්‍රයට තියෙන වටිනාකම අඩුවෙලා කියල දැනෙනව. ඒ වගේම අපේ ප්‍රවීණයන් ගොඩක් ආදරෙන් ගෞරවයෙන් රැකගත්ත නිරූපණ ක්‍ෂේත්‍රයට මෙහෙම වෙනකොට දුකක් දැනෙනව.


ඇතැම් වෙලාවට සමාජය නිරූපණ ක්‍ෂේත්‍රය වැරදි විදිහට දකිනව?


මොඩල් කෙනෙක් වුණාම අපිට කොටට ඇඳුම් අඳින්න සිදු වෙනව. ෂෝස්වලදි ඇඟ නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින්න සිදු වෙනව. එහෙම වෙන්නෙ අවශ්‍ය තැනදි විතරයි. එහෙමයි කියල සමාජය මොඩල්ස්ල දිහා වැරදියට දකින්න හොඳ නැහැ. මොඩ්ලින් කියාගෙන වෙන වෙන වැඩ කරන කිහිප දෙනෙක් නිසා තමයි මොඩ්ලින් ක්‍ෂේත්‍රය දිහාම සමාජය වැරදි විදිහට බලන්නෙ.


අචිනිගෙ බලාපොරොත්තුව?


මගේ බලාපොරොත්තුව වෙන්නෙ මොඩ්ලින් ෆීල්ඩ් එකේ දිගු කාලයක් රැඳී ඉන්න එක. ඒ වගේම සිනමාවේ හෝ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ වෙනස් ආකාරයේ චරිත ලැබුණොත් භාරගන්න කැමැත්තෙන් ඉන්නව. ඊට අමතරව ලොකු ලොකු බලාපොරොත්තු මට නැහැ.


නිරූපණයේදී සීමා මායිම් තියෙනවද?


ඔව්, ගොඩක් දුරට මම ඇඳුම් අඳින්නෙත් ලිමිට් එකක් තියාගෙන. ෆොටෝ ෂූට් එකක් කරද්දි වුණත් ෆොටෝග්‍රැපර් කවුද කියන එක ගැන වගේම ලොකේෂන් එක ගැනත් මම සැලකිලිමත් වෙනව. ෂෝ එකක් වුණත් ඒ ගැන හොයල බලල තමයි සහභාගි වෙන්නෙ.


නිරූපණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අවසානයේ නවතින්නෙ රංගන ක්‍ෂේත්‍රයේ?


තමන්ට ටැලන්ට් එකක් වගේම කැමැත්තක් තියෙනව නම් රංගන ක්‍ෂේත්‍රය තෝරාගැනීමේ වරදක් මම දකින්නෙ නැහැ. නමුත් සමහර අය මොඩල්ස්ල වෙනව නිළියො වෙන්න බලාගෙනම. අවසානයේ ඔවුන්ට දෙපැත්තම බැලන්ස් කරගන්න බැරිවෙන වෙලාවල් අපි දැකල තියෙනව.


අචිනිටත් කැපිලි කෙටිලි තිබුණද?


ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ කැපිලි කෙටිලි තිබුණා. සමහර අය මට විරුද්ධව කේළාම් කියල තියෙනව. නමුත් මම ඒවා ගණන්ගත්තෙ නැහැ. දැන්නම් ඒ තත්ත්වය ගොඩක් දුරට අඩුවෙලා.


පවුලේ විස්තර ටිකක් කියමු?


අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි.


අචිනි පෙම්වතියක්ද?


නැහැ. සියයට සියයක්ම සිංගල්.


ආදරයක් ගැන හිතන්නෙ නැද්ද?


මට ගැළපෙන කෙනෙක් හමුවුණොත් ඒ ගැන හිතනව. බලමු ඉදිරියේදී මගෙ අදහස්වලට ගැළපෙන කෙනෙක් ලැබෙයිද කියල.


මහේෂ් එදිරිසිංහ 

gossiplanka image 1
Previous Post Next Post