
බොහෝ සිත් සංවේදී කරමින් ගීතමය ස්වරයෙන් ඇසෙන දික්කසාද නඩුවක් ගැන මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත. ‘ආලවන්ත හීනයේ’ නමින් සමාජ මාධ්‍යවල ඉතාම වේගයෙන් සංසරණය වන මෙම අවනඩුව ගැන අප හට කියන්නේ ජනප්‍රිය ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු ද වන නිසල් සත්සරය. මෙය දැනටමත් ඔබ නෙත ගැටී ඇතුවාට සැකයක් නැත. සචින් චතුරංග සහ දසුනි නවෝද්‍යා ප්‍රධාන රංගනයෙන් හැඩවන ‘ආලවන්ත හීනයේ’ සිනමාපටයක ට්‍රේලර් එකක්දැයි සිතෙන තරම්ම අපූරු නිමාවකින් යුතු ගීතමය රූප රචනාවකි. ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ දුලාන්ගේ චරිතයට පණ පොවන නිසල් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගායකයකු ලෙසිනි. මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය ‘ආලවන්ත හීනයේ’ අත්දැකීම ඔහු මෙසේ අප හා බෙදා ගත්තේය.
‘ආලවන්ත හීනයේ’ මගේ අලුත්ම මියුසික් වීඩියෝ එක මේ දවස්වල හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලබනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඇත්තම කිව්වොත් මීට අවුරුද්දකට විතර කලින් තමයි මේකෙ ඕඩියෝ එක කරන්නේ. සංගීතය සහ තනුව රවීන් තාරුකගේ. ස්වර සංයෝජනය නිමේෂ් කුලසිංහ. පද රචනය ආසිරි පෙරේරා. අපි ගොඩක් කල් මේකෙ විෂුවල් එක ප්ලෑන් කළා. සචින් චතුරංග, දසුනි නවෝද්‍යා ප්‍රධාන චරිත මවන ‘ආලවන්ත හීනයේ’ සුදත් ඇන්තනී, සුදර්ශි ගැලනිගම, නිශාන්ත සඳභරණ, අවන්ත පෙරේරා, ධම්මිකා හෙට්ටිගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. වීඩියෝ දායකත්වය රෙඩ් ෆිල්ම්ස්. අධ්‍යක්ෂණය ලහිරු තිවංක දේව්. කැමරා අධ්‍යක්ෂණය යොහාන් රෝෂිත. මේ හැමෝගෙම දායකත්වයෙන් තමයි ‘ආලවන්ත හීනයේ’ මේ තරම් ලස්සනට හැඩවුණේ.
‘ආලවන්ත හීනයේ’ සැබෑම සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූ ගීතයක් බව පැවසූ නිසල් ඊට අදාළ තරුණයා ඒ සිදුවීමත් සමඟම සියදිවි නසාගෙන ඇති බව පැවසුවේ ද සංවේදී ස්වරයෙනි.
‘ආලවන්ත හීනයේ’ තිර පිටපත රචනා කරන්නේ මගේ මිත්‍ර නිරෝද් කළුකෝට්ටගේ. ඕඩීයෝ එක කරලා අපි වීඩියෝ එක ප්ලෑන් කරමින් ඉන්න අතරේ තමයි නිශාන්ත සඳභරණ කියන නීතිඥවරයාගේ නීතිඥ දිවියේ අත්දැකීම් අලළා කරපු සම්මුඛ සාකච්ඡාවක වීඩියෝ එක නිරෝද් මට එවන්නේ. ඔහු වඩාත් සංවේදී කළ අත්දැකීම විදිහට තමයි මේ දික්කසාද නඩුව ගැන කියන්නේ. ඒක අවුරුදු දහයකට කලින් වුණු සිදුවීමක් වුණත් මේ ඉන්ටවීව් එක කෙරෙන්නේ ඊට අවුරුදු හතරකට පස්සේ. කොහොමහරි මේ ඉන්ටවීව් එක ගොඩක් වයිරල් වෙලා. නිරෝද් කිව්වා මේක නම් සුපිරියි කියලා. මටත් බලපු ගමන්ම ඒක හිතට වැදුණා.
ඉන්ටර්වීව් එක වයිරල් වීමත් එක්ක ඒ සිදුවීම හා සම්බන්ධ අතීත තොරතුරු හෙළිවෙන්න පටන් අරන්. අදාළ තරුණයා හඳුනන අයගෙන් කමෙන්ට් වැටිලා. නීතිඥවරයාට කතා කරලත් තොරතුරු කියලා. ඒ සිදුවීමෙන් පස්සේ අදාළ තරුණයා වස පානය කරලා ජීවිතය නැති කරගෙන. ඔහු දුප්පත් ධීවර තරුණයෙක්. පොහොසත් පවුලක තරුණියක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන දෙන්නගෙ කැමැත්තට කසාදත් බැඳලා. දෙන්නට දෙන්නා කොතරම් ආදරෙන් හිටියත් තරුණියගේ ගෙදරින් මේක දැනගෙන විරුද්ධ වෙලා දික්කසාද නඩුවක් දාලා. පියාගේ බලපෑම මත තරුණිය දුන්න කටඋත්තරය නිසා තරුණයා නඩුවෙන් පරාද වෙලා. මේ සිදුවීමෙන් මේ නීතිඥවරයාත් ගොඩක් සංවේදී වෙලා.
ඒ නීතිඥවරයාම තමයි ‘ආලවන්ත හීනයේ’ රූප රචනයේ ඉන්නෙත්. ඉන්ටවීව් එක දැකලා මං ගිහින් ඒ නීතිඥවරයා හමුවෙලා ඇහුවා හරියටම ඔහු මියගිහින් කියලා දන්නෙ කොහොමද කියලා. ඔහුත් දැනගෙන තියෙන්නේ අර ඉන්ටවීව් එක වයිරල් වීමත් එක්ක ලැබුණු ප්‍රතිචාරවලින්. ඒකත් ඒ සිදුවීමෙන් වසර හතරකට පස්සේ. එවෙලෙම මං ඔහුට ආරාධනා කළා මගේ මියුසික් වීඩියෝ එකේ ඒ කැරැක්ටර් එකට පෙනී ඉන්න කියලා. ඔහු බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුණා. ගීතය රූගත කරද්දි ඔහුට ඒ සිදුවීම් මතක් වෙලා ගොඩක් සංවේදී වුණා.”
ආලවන්ත හීනයෙන් කියැවෙන අත්දැකීම ලබපු බොහෝ දෙනා ඔවුන්ගේ අත්දැකීම් පෞද්ගලිකව ද තමා හා බෙදා ගන්නා බව පැවසූ නිසල් ඇතැම් ප්‍රතිචාර තම නෙතු කඳුළින් තෙත් කළ බව ද පැවසුවේය.
“ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. ගීතය රිලීස් කරලා දවස් දෙක යද්දි ලක්‍ෂ දෙකහමාරක් බලල තිබුණා. කමෙන්ට්ස් ඊට දෙවෙනි නෑ. හරිම ලස්සනයි. හරියට ෆිල්ම් එකක් වගෙයි කියන අයත් ඉන්නවා. රූප රාමුවයි ගීතයයි දෙකම එකම ලෙවල් එකක තියෙන ගීතයක් කියලත් සමහරු අගය කරල තිබුණා. ගොඩ කාලෙකින් හිතට දැනුණු මියුසික් වීඩියෝ එකක් දැක්ක කියලත් තිබුණා. කමෙන්ට් කරපු බොහෝදෙනා අතර හිටියේ මේ හා සමාන අත්දැකීම් ලබපු අය. සමහරුන්ගේ කතා හරිම සංවේදීයි. මේ කියන්නෙ මගේම කතාව නේද කියලත් සමහරු අහනවා. තවත් සමහරු කියල තිබුණා මේ මට හෙට වෙන දේ තමයි දකින්නේ කියලා. තවත් අය වෙන් වෙන්න කලින් කියාගන්න බැරිවුණු දේ කියල තිබුණා. සමහරු මවුපියන්ගෙන් ඉල්ලීම් කරල තිබුණා මෙහෙම කරන්න එපා කියලා. ඇත්තටම මේව දකිද්දී මේක සමාජයේ කතාබහට ලක්විය යුතු කරුණක් නේද කියලත් හිතෙනවා. ලැබෙන අසීමිත ප්‍රතිචාරත් එක්ක මිනිස්සුන්ට දැනෙන දෙයක් කළා කියන සතුට දැනෙනවා.“
‘ආලවන්ත හීනයේ’රසවිඳීමට පමණක් නිර්මාණය වූවක් නොව යම් පණිවුඩයක් සමාජගත කිරීමට ගන්නා උත්සාහයකැයි ද සිතේ. එය නිවැරැදිව වටහාගන්නේ නම් ආදර සබඳතාවල පැටලෙන තරුණ තරුණියන්ට මෙන්ම ඒවා ඉදිරියේ දැඩි තීරණවල එල්බ සිටින මවුපියන්ට ද සතුටුදායක දිවියක් උරුම වනු ඇත.
