මට අභියෝග හරිම ආකර්ෂණීයයි – සැන්ඩ්‍රා මැක්

gossiplanka image 1
 



එළැඹෙන 02 වැනිදා සිට තිරගතවීමට නියමිත චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ජෙනරාල් දයා රත්නායක සහ යසස් රත්නායක නිෂ්පාදනය කළ ආයු චිත්‍රපටය තුළින් අපට ඇයගේ ප්‍රථම චිත්‍රපට රංගනය ද දැකගැනීමට හැකිවනු ඇත. තවත් විටක ඇය අපට දුනු විදින්නියක් ලෙසත් හමුවන්නීය. ඇය නමින් සැන්ඩ්‍රා මැක් ය.


එක අරමුණකට හෝ සීමාවකට කොටුනොවුණ සැන්ඩ්‍රාගේ හඬයි මේ.


සැන්ඩ්‍රාට ආයු හි නිශ්මි මුණගැසුණේ කොහොමද?


ආයු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිශ්මි. චත්‍ර වීරමන් මගෙන් මේ චරිතය රඟපාන්න ඉල්ලූ විට මට ගෞරවයක් දැනුණා. ඒක අභියෝගයක් වුණා. ඒ වගේම ඒ එක්කම අලුත් අත්දැකීමක්.



නිශ්මි වෙනුවෙන් මොන වගේ කැපකිරීම්ද සිදු කළේ?


අපි විවේකයක් නැතුව දවස් 38 ක් රූගත කිරීම් කළා. ලංකාව පුරා ලස්සන තැන් අටකට වඩා රූගත කළා. මට දිගු කාලයක් ගෙදරින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. ඒ කාලෙ මම මගේ අම්මව බලාගත්ත නිසා ඒක අභියෝගයක්. නමුත් ආපසු හැරී බලන විට, ප්‍රධාන චරිතය වන නිෂ්මිට ජීවය දෙමින් රූගත කිරීම් කළ සෑම මොහොතක්ම මම භුක්තිවින්දා.



නිශ්මි වගේ චරිත වර්තමාන සමාජයේදී මුණගැසී තිබෙනවා ද?


ඔව්. අපි අතරේ නිෂ්මිලා ගොඩක් ඉන්නවා. අපි ඇතුළෙත් නිෂ්මිලා ඉන්නවා.


ආයු මාධ්‍ය දර්ශනයෙන් පසුව ඔබට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?


චිත්‍රපට විචාර ඉතා හොඳ සහ දිරිගන්වනසුලුයි.


සැන්ඩ්‍රා, නිශ්මිගේ ජීවිතය දකින්නේ මොන විදිහටද?


නිෂ්මි, දුක සහ සතුට හමුවේ ඇගේම කොන්දේසි මත ජීවිතය ගතකරයි. ඇය දැනුවත්භාවයෙන් ජීවත් වේ. ආදරය කිරීමේ හැකියාව ඇගේ ශක්තියයි.


ජගත් සහ අෂාන් එක්ක රඟපාන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඔවුන් දෙදෙනාම පළපුරුදු ඉහළ පෙළේ නළුවන්. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මට නම් තිරයේ ගැළපුම තිබීම වැදගත් වුණා. ඒ දෙන්නත් එක්ක මට දැනුණේ එහෙමයි. ඒ වගේම, මම අලුත් නිළියක් කියලා එයාලා කවදාවත් මට සැලකුවේ නැහැ. චිත්‍රපටයට අපි එක්එක්කෙනා දායක වුණු දේට අන්‍යොන්‍ය ගෞරවයක් තිබුණා.


මේක ටිකක් අභියෝගාත්මක චරිතයක්. පිටපත කියවනකොට චරිතය භාරගන්න බය හිතුනේ නැද්ද?


ඇත්තටම මට අභියෝගය හරිම ආකර්ෂණීයයි කියලා හිතුණා.


නිෂ්මි, සැන්ඩ්‍රාට සමානද?


නිෂ්මි අපි හැමෝම වගේ. ඇගේ චරිතය අපේ ජීවිත ඇතුළේ ගෙතී තියෙනවා. චිත්‍රපටිය බැලුවම ඔයාට තේරෙයි.


එහෙනම් කියමු බලන්න සැන්ඩ්‍රාගේ විස්තර?


මට රංගන අත්දැකීම ලැබෙන්නේ ඉංග්‍රීසි නාට්‍ය කලාවෙන්, පල්ලියේ නාට්‍යවල සිට පාසල් නාට්‍ය දක්වා. මම කුඩා කාලයේ නාට්‍ය කලාවට ආදරය කළා. නාට්‍ය ලිවීමටත් මම ප්‍රිය කළා. මගේ පාසල් කාලයේ බි්‍රතාන්‍ය කවුන්සිලයේ රූඩි කොරන්ස් සහ ස්කොට් රිචඩ්ස් විසින් මෙහෙයවන ලද නාට්‍ය වැඩමුළුවලට මම සහභාගි වෙලා තියෙනවා. මම ඔවුන් විසින් මෙහෙයවන ලද නාට්‍ය නිෂ්පාදනවල කොටසක් වෙලා තියෙනවා. බූඩි කීර්තිසේන මට මහේන්ද්‍ර පෙරේරා සමග ‘සත්‍ය’ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලබාදුන්නා. ඒක මගේ පළමු ටෙලි නාට්‍යය. ඒක නිෂ්පාදනය කළේ එච්. ඩී. ප්‍රේමරත්න. මගේ වෘත්තිය ප්‍රචාරණයයි.


ඔබ දක්ෂ දුනු විදීමේ ක්‍රීඩිකාවක් නේද?


මම දුනු ශිල්පයට ආදරෙයි. මම පුහුණුවීම් කරන තාක් කල් මට දක්ෂ වෙන්න පුළුවන්. මේ දවස්වල පුහුණුවීම් කරන්න බැරි වුණා.


කොයි කාලෙ වගේ ඉඳල ද දුනු විදීමේ ක්‍රීඩාවට යොමුවුණේ?


මම හිතන්නේ මම දුනු ශිල්පය පටන් ගත්තේ 2013 දී.


ඉලක්කයට මනස හසුරුවන්නට හොඳ පුහුණුවක් අවශ්‍යයි නේද?


ඔව්. දුනු ශිල්පය කියන්නේ සන්සුන්ව සිටීම ගැනයි. ඔබ සන්සුන්ව සිටියොත් සහ ඔබ පුහුණුවීම් කළහොත් ඔබට දුනු ශිල්පයේ දක්ෂ විය හැකියි. එය භාවනාවක් වැනි ය. ක්‍රීඩාවක් ලෙස ඔබ තරග කරන්නේ ඔබ සමග පමණි.


නර්තනයටත් දක්ෂයි කියලා ආරංචියි?


මම බෝල්රූම් සහ ලතින් ඇමෙරිකානු නැටුම් ඉගෙනගෙන තියෙනවා. නර්තනය කියන්නේ ගොඩක් ආස කරන දෙයක්.


කාලයක් ඔබ වේදිකාව සමගත් ලොකු ගනුදෙනුවක් සිදුකළා නේද?


රූඩි කොරන්ස් විසින් පවත්වන ලද වැඩමුළු අතරතුර මට ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වේදිකා නළු නිළියන් කිහිපදෙනකු සමග රඟපාන්න අවස්ථාව ලැබුණා. පසුව ජනප්‍රිය වේදිකා නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන ලද තවත් වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වීමට අවස්ථාව ලැබුණා.


අද වෙනකොට ඔබේ වෘත්තිය මොකක්ද?


මම ජීවත්වෙන්න කෙටිකතා ලියනවා කිව්වොත් නිවැරදියි. මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. හැම දැන්වීමක්ම කෙටි කතාවක්.


ගැහැණියක් වුණාම සීමාවල් තියාගන්න ඕනෑ කියලා ඔබ හිතනවද?


පිරිමින් සහ කාන්තාවන් සමානයි. මිනිසුන්ට සීමාවන් පවත්වා ගැනීමට අවශ්‍ය නැහැ. ජීවිතය ඉතා කෙටියි. සීමාවන් ජීවිතය කෙටි කරනවා පමණයි.


ඔබ සීමාවන් ඇතුළේ ජීවත්වන චරිතයක්ද?


නැහැ.


ඉදිරියේදී රඟපෑමට ආරාධනා ලැබුණොත් භාර ගන්නවද?


ඔව්. හොඳ නිර්මාණයකට ආරාධනයක් ලැබුණොත් භාර ගන්නවා.


දැන් වේදිකා කටයුතුවලින් ඈත් වෙලා ද?


මට අවස්ථාවක් ලැබුණොත් මම ඒක ගන්නවා.


ඇත්තටම, සැන්ඩ්‍රා මැක් කියන්නේ කවුද?


මම තවමත් ඇයව සොයනවා.


ජීවිතය, ආදරය, විවාහය කියන මාතෘකා දිහා මොන විදිහට ද බලන්නේ?


ආදරය සැමවිටම මගේ ජීවිතයේ කොටසක්.


දිනේෂ් විතාන

gossiplanka image 2
Previous Post Next Post