
තිසර ඉඹුලානයි, තිසර මංගල බණ්ඩාරයි එකතුවෙලා ලියපු පිටපතෙන් තමයි අපිට සොපියව හම්බවෙන්නේ. සොපියා මේ එළැඹෙන 10 වැනිදා ඉඳලා ඔයාලගේ ගමේ එහෙමත් නැත්නම් නගරයේ තියෙන හෝල්වලට එනවා. සොපියා එන්නේ නිකම්ම නෙමෙයි. තව පොඩි කොල්ලෙකුත් එක්ක. එයාගේ නම ‘මෝඩ තරිඳු’. මෝඩ තරිඳුයි සොපියයි එකතුවෙලා මෙදාපාර හෝල් ඇතුළට ගිහිල්ලා මොකක්ද මේ කරන්න හදන්නේ? එතකොට කවුද මේ සොපියා?
සොපියා කවුද කියලා දන්නවාද?
නෑනේ. සොපියා තමයි මම. මම කිව්වේ ෂෙහානි කහඳවල. මෙතැනින් එහාට තියෙන්නේ සොපියාගේ විතරක් නෙමෙයි මගෙත් කතාව. මම ලබන සිකුරාදා ඉඳලා සොපියා විදිහට මෝඩ තරිඳුත් එක්ක ඔයාලගේ ගමේ නගරයේ හෝල්වලට එනවා. මැරිච්ච කෙනෙක් විදිහට තමයි සොපියා ඔයාලා ගාවට එන්නේ. ෂෙහානි විදියට මට හම්බවුණ වෙනස්ම චරිතයක්.
මේ දවස්වල ඉන්නේ මේ ලෝකේ නෙමෙයි යම ලෝකෙද?
මම ඉන්නේ මෝඩ තරිඳුගේ යම ලෝකේ.
කවුද සොපියාව භාරගන්න කියලා කිව්වේ?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන තමයි මට මුලින්ම කතා කරලා කිව්වේ. මුලින්ම කිව්වේ මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා. මම හරි ආසාවෙන් හිටියා තිසරත් එක්ක වැඩක් කරන්න. මම මීට කලින් චිත්‍රපටවල ලොකු චරිත වගේම විවිධ පරාසයන්වලට යන්න පුළුවන් විදිහේ චරිත මුණගැසිලා නැහැ.
සොපියා නිසා විවිධ පරාසයන්වලට යන්න හම්බවුණාද?
ඔව්. ඔව්. සොපියා නිසා මට විවිධ පරාසයන්වලට එක චරිතයක් හරහා යන්න පුළුවන් වුණා. ඒක ලොකු දෙයක්. මම ඇත්තටම තිසරට ස්තූතිවන්ත වෙනවා. අවුරුදු 14ක් ගිහිල්ලා හරි හොඳ නිර්මාණයකින් එළියට ආපු එක ගැන සතුටුයි.
මාධ්‍ය දර්ශනයේදී ලැබුණ හොඳම ප්‍රතිචාරය මොකක්ද?
ගොඩක් දෙනෙක් කිව්වේ මේක තමයි මගේ හැරවුම් ලක්ෂය කියලා. මට මේ වගේ හැකියාවක් තිබෙනවා කියලා කවුරුවත් මේ වෙනකම් දැකලා තිබුණේ නැහැ.
කොහොමද අනෙක් රඟපෑම් වැඩකටයුතු?
මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු චුට්ටක් නතර වෙලා තියෙන්නේ. එකක් හොඳ නිර්මාණයකට තවම මට ආරාධනාවක් ලැබුණේ නැහැ. මේ දවස්වල මම කොන්සර්ට්වලට ටිකක් විතර කාර්යබහුල වෙලයි ඉන්නේ.
විදේශීය ප්‍රසංගවලදී ඔබ හරි ජනප්‍රියයි?
මම හිතන්නේ මම මාර වාසනාවන්තයි. රංගන ශිල්පිනියක් විදිහට ඉන්න ගමන් තමයි මම ගායන ශිල්පිනියක් වෙන්න කටයුතු කරන ගමන් ඉන්නේ. ඒක මාර භාග්‍යයක් විදිහටයි මම සලකන්නේ. ගායනය මගේ ජීවිතයේදී මට හම්බ වෙච්ච තෑග්ගක්.
සින්දු කියන්න ගත්ත එක ගැන මොකද හිතෙන්නේ?
එක එක්කෙනාගේ විවිධ මත තියෙනවා. මට විශ්වාසයක් තිබෙනවා මට මේක කරන්න පුළුවන් කියලා. කොච්චර මිනිස්සු මට මේ දේ කරන්න බැහැ කියලා කිව්වත් මම අනිවාර්යයෙන්ම කරනවා. අනික මම දන්නවා මගේ හැකියාව මොකක්ද කියලා. කිසිම වෙලාවක මට වේදිකාවට බය හිතෙන්නේ නැහැ.
ප්‍රසංග වේදිකාවේදී තරුණයන් අතර ඔබ හරි ආකර්ෂණීය ගායිකාවක්?
මට කියන්න තියෙන්කේ සතුටුයි කියලා තමයි. ගොඩක් ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ මට සංගීත පසුබිමක් තිබෙනවා කියලා. මගේ තාත්තා සංගීතය කරන කෙනෙක්. ඔහු සංගීතඥයෙක්.
තාත්තත් සංගීත කණ්ඩායමක් නියෝජනය කළා නේද?
ඔව්. ඔව්. මගේ තාත්තත් සංගීත කණ්ඩායමක් නියෝජනය කළා. එයා ගායකයෙක්. මගේ අම්මත් ගායනය පිළිබඳ හදාරලා තියෙනවා.
ප්‍රසංග වේදිකාවට ගොඩවුණාට පස්සේ කැපිලි කෙටිලිවලට වගේම ලොකු තරගයකට මුහුණදෙන්නත් වෙනවා?
මම එදා ඉඳලා ඕවාට මුහුණ දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සංගීතය පැත්තට එනකොට මට කැපිලි කෙටිලි ගොඩක් වැඩිවුණා. මම ප්‍රසංග වේදිකාවේදී කෙනෙක්ගේ ගීතයක් ගායනා කරනවා නම් මුල් ගායකයා හෝ ගායිකාවගේ අවසරය අනුදැනුම අනුවයි ඒ දේවල් කරන්නේ. අවසරයක් නැතිව ගීත ගායනා කරන්නේ නැහැ. මට හම්බවෙලා තියෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ මම. කිසිම කෙනෙක් කියන දේවල් මට අහන්න බැහැ. මම ගැන විශ්වාස කරලා පසුබහින්නේ නැතිව මා වෙනුවෙන් වැඩ කරනවා.
ඉස්සරහට ගායිකාවක් විදිහටමද වැඩ කරන්න සූදානම?
ගායිකාවක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් මම වැඩකටයුතු කරගෙන යනවා.
ගායනය සහ රංගනය අතර වෙනස දැනෙන්නේ කොහොමද?
වේදිකාවේ තියෙන්නේ ගීත ගායනා කරන්න. රඟපෑම මට අලුත් අත්දැකීමක් නෙමෙයි. නමුත් ගායනය මට අලුත් අත්දැකීමක්. හරි වෙනස් අත්දැකීමක්.
මෝඩ තරිඳු සොපියා වෙනුවෙන් මොන වගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?
මට ඒ චරිතය ටිකක් අභියෝගයක් වුණා. මට පෙර පරම්පරාවක චරිතයක් තමයි මට නිරූපණය කරන්න තිබුණේ. එතකොට මට ඒ කාලයට යන්න ඕනෑ වුණා. මට පැරණි චිත්‍රපට බලන්න ඕනෑ වුණා.
ඔබේ ජීවිතයේ විලාසිතාවලට ලොකු ඉඩක් වෙන් වෙනවා නේද?
විලාසිතා කියන්නේ මගේ ලයිෆ් එකේ එක කොටසක්. විලාසිතාව මට හරි ගියේ නැතිනම් මම දවසම අප්සෙට් එකේ වගේ ඉන්නේ. මම හරියට අඳින කෙනෙක්. මම හිතන්නේ තමන්ට සරිලන පරිදි විලාසිතා කරන එක තමයි සුදුසුම දේ. අනවශ්‍ය විදිහට කරන්න ගියොත් ඒක විකෘති වෙනවා.
ටැටූ විලාසිතාවලට වැඩි නැඹුරුවක් දක්වනවා නේද?
ඔව්. ඔව්. මම ටැටූවලට හරි ආසයි. තව ඉදිරියට තව ටැටූ කරන්න පුළුවන්. මම මේ වෙනකොට ටැටූ 13ක් කරලා තියෙනවා.
ජීවිතය ගැන පසුවිපරමක් කළොත් මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ පුංචි කාලෙ ඉඳලම ගොඩක් ප්‍රශ්නවලට මුහුණදීපු කෙනෙක්. මම මාවම අභියෝගයක් කරගෙනම තමයි මේ ක්ෂේත්‍රයට එන්නේ. අනික මම දන්නේ නැහැ මගේ ජීවිතය මොන පැත්තකට හැරේවිද කියලා. මොන විදිහට ගමනක් යනවාද කියලත් අදහසක් තිබුණේ නැහැ. මම ක්ෂේත්‍රයට එනකොට මට අවුරුදු දහනවයයි. නමුත් මම හරි ආසාවෙන් හිටියා මිනිස්සුන්ගේ ආදරය කියන එක ලබාගන්න. මම මගේ පෞද්ගලික ජීවිතයේදී පුංචි කාලෙදී ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. ඒ පුංචි කාලේ දුක්විඳපු ගැහැනු ළමයා ගැන මම දැන් ගොඩාක් සතුටු වෙනවා. ඕනෑම ගැහැනු ළමයකුට ජීවිතයේ එළිය එන දවසක් එනවා. හැබැයි ඒක වෙනුවෙන් තමන්ව විශ්වාස කරලා කැපවෙලා වැඩ කරන්න ඕනෑ.
