24 ලව් ස්ටෝරි ලව් ස්ටෝරි එකක් විතරක්ම නොවෙයි -තරුෂි පෙරේරා

gossiplanka image 1
 රංගන ශිල්පිනියක ලෙස කලාවට පිවිසි තරුෂි පෙරේරා මේ වනවිට ටෙලි අධ්‍යක්ෂණයට යොමුවී සිටින්නීය. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන 24 LOVE STORY ඇයගේ දෙවැනි ටෙලි අධ්‍යක්ෂණයයි. පළමු අධ්‍යක්ෂණය සත් වර්ෂාය. රංගන ශිල්පිනියක ලෙස පෙම්වතිය, බිරිය, මව යන සෑම භූමිකාවකටම පණ පෙවූ ඇය රෑනගල වලව්ව රචනා කරමින් යොවුන් වියේදීම තිරපිටපත් රචනයට ද යොමු වූවාය. සත් වර්ෂා මෙන්ම මේ 24 LOVE STORY ද ඇයගේ තිර රචනාය. තම සිතැඟි එලෙසින්ම ටෙලි තිරය මතට ගෙන ඒමේ නොනිම් ආසාවකින් පෙළුණු ඇය සත් වර්ෂා අධ්‍යක්ෂණය කළාය. කලාවේ පැතිකඩ කිහිපයකම දස්කම් දක්වන තරුෂි දැඩි කාර්යබහුලත්වය හමුවේ වුවද අප හා කතාබහට එක්වූවාය.

මේ දිනවල තරුෂිගෙ අලුත්ම ටෙලි නිර්මාණය විකාශය වෙනවා. කොහොමද ඒ අත්දැකීම?


ජාතික රූපවාහිනියේ රාත්‍රී 7.30ට 24 LOVE STORY විකාශය වෙනවා. ඒ මගේ දෙවැනි ටෙලි අධ්‍යක්ෂණය වගේම තුන්වැනි තිරපිටපත. ගොඩක් කාලෙකට පස්සෙ මං නිර්මාණයකට සම්බන්ධ වුණේ. මට ඕනෙ වුණා කාලීන මාතෘකාවකට නිර්මාණයක් කරන්න. ලව් ස්ටෝරියක් කිවුවම බොහෝ අය දකින්නේ එක පැත්තයි. මුල් කොටස් ටිකේ තියෙන්නෙ ලව් ස්ටෝරිය විතරයි වගේ පෙනුණට කොටස් හය හත පහුවෙද්දි තමයි නියම අර්ථය එළියට එන්නේ. කොටස් හය හත බලද්දි වැඩිහිටියන්ගේ තිබුණු අදහස පස්සේ සහමුලින්ම වෙනස් වෙනවා. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් ආදර්ශවත් කතාවක් විදිහටයි මං මේක ලියල තියෙන්නේ.


සහභාගි වුණු පිරිස මතක් කරමු?


කණ්ඩායම ගැන කතා කළොත් මට හරිම දක්ෂ කැමරා ශිල්පීන් දෙදෙනෙක් ලැබිල තියෙනවා. නිශාන්ත ප්‍රදීප් සහ මහේෂ් කරුණාරත්න. ඒ වගේම ඇසිස්ටන් ඩිරෙක්ටර්, ආර්ට් ඩිරෙක්ටර් ඇතුළු හැමෝම මුල ඉඳන්ම මේ වැඩේට ආදරේ කරන්න ගත්තා. කොහොමත් මට අලුත් විදිහට වැඩක් කරන්න ඕනෙකම තිබුණා. ඔවුන් උපරිම සහයෝගය ලබාදෙනවා වගේම ඔවුන්ගේ ලොකු බැඳීමක් තිබුණා. යෂ් වීරසිංහ, නයනා කුමාරි, සචින්තනී කෞෂල්‍යා, සවිනි යකුපිටිය ඇතුළු හරිම සපෝටිව් දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා දායකත්වය ලබාදෙනවා. ඉදිරියේදී තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් එකතු වෙනවා. කොටස් දහයෙන් දහයට අර්ථය වෙනස් වෙනවා. මං වෙනස්ම වැඩක් කරනවා කියන එක බලාගෙන ඉද්දි තේරේවි.


ඇයි මේ වගේ සංකල්පයක් මතු කරන්න හිතුවේ?


ආදරය කරන හැටි, රැවටෙන හැටි, මවුපියන්ගේ ප්‍රශ්න, ඔවුන් වෙන්වුණාම දරුවන්ට ඇති වන ප්‍රශ්න මේ හැමදේම අද සමාජයේ අපි දකිනවා. සමහරුන්ගෙ ජීවිතවලට මේක කෙළින්ම සම්බන්ධ වේවි. මං මේකෙ ලව් ස්ටෝරි එකක් විදිහට යූටියුබ් වගේ පොඩි සීමාවකට ලියපු කතාවක්. කතාවේ අර්ථය, මම ඒකට මහන්සි වුණු විදිහ දැකලා අපේ ටීම් එකේම අදහස වුණේ මේක චැනල් එකකට දෙන්න කියලා.


තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කරනවා කියන එක අභියෝගයක් නේද?


ඔව්. හරිම මහන්සියි. ෂර්මිලා කියන දක්ෂ තිර රචිකාවිය මං මේකට යොදාගන්නේ ඒ නිසා. එයාට ලස්සනට ලියන්න පුළුවන්. මං එයාට දරුවෙක්ට වගේ පැහැදිලි කරලා මට ඕන දේ ලියව ගන්නවා. කොටස් 25න් පස්සේ වගේ මං එයාව සම තිරපිටපත් රචනය විදිහට යොදා ගන්නවා. එයාගෙන් ලැබෙන සහායත් එක්ක කරගෙන යනවා. හිතපු වෙලාවට කලින් චැනල් එකකින් ආරාධනා ලැබුණු නිසා කිසිම ප්‍රමෝෂන් එකකට යන්න බැරි වුණා.


ඔබ තිරචනයට පිවිසෙන්නේ යොවුන් වියේදී?


මගේ මුල්ම තිර පිටපත රෑනගල වලව්ව ලියන්නේ අවුරුදු විස්ස විසිදෙක වගේ වයසෙදී. රූපවාහිනියේ විකාශය වුණා. කොටස් දහඅට විස්ස වෙද්දි මං ලියාගෙන ආව කතාව ඉවර වුණු නිසා වෙන වෙන පැතිකඩ ඔස්සේ ලියන්න වුණා. එහෙම කරන්න මං කැමැති වුණේ නැති නිසා හරිම සුහදව මං වෙන කෙනෙකුට ඒක පැවරුවා. අදටත් මං ආදරේ කරන පිටපතක්. සත් වර්ෂා තමයි අභියෝගාත්මකම නිර්මාණය වුණේ. තිරපිටපත, අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන චරිතය නිරූපණය කළෙත් මම. එතැනදිත් කොරෝනා ගැටලුවත් එක්ක අතරමඟදි අධ්‍යක්ෂණය වෙන කෙනෙකුට භාර දෙන්න වුණා. ඊටත් කාලෙකට පස්සේ තමයි 24 LOVE STORY නිර්මාණය වෙන්නේ.


තරුෂීගේ කලාවට පිවිසීම ගැනත් සිහිපත් කරමු


උසස් පෙළ කරන කාලෙම මං රංගන පාඨමාලාවක් වගේම අධ්‍යක්ෂණය පිළිබඳවත් හැදෑරුවා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ක්‍රම ක්‍රමයෙන් තමයි රංගනයට පිවිසුණේ. මුලින්ම ආදරවන්තිය විදිහට දායක වුණා. පුතා ලැබුණටත් පස්සේ තමයි අම්මා කියන චරිතය රඟපෑවේ. මවගේ භූමිකාවට මුලින්ම දායක වුණේ නීල පබළු ටෙලි නිර්මාණයේ කුරුලුගේ අම්මා විදිහට. මේ හැමදේම කරගෙන යන්න මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පුතා අකේන් තෙන්නකෝන් තාම අවුරුදු දහයක දරුවෙක්. බොහෝ අවස්ථාවල මං පුතාවත් පසුතලවලට එක්කගෙන ගිහින් ඒ අත්දැකීම ලබා දෙනවා.

gossiplanka image 2
Previous Post Next Post