එකම විදිහේ චරිත දෙපාරක් කරන්න කැමති නැහැ -චන්දිමා කරුණාදාස

gossiplanka image 1
 


චන්දිමා කරුණාදාස ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල චන්දිමා කරුණාදාස අපිට හමුවෙන්නේ ජහුටාහි සකුන්තලා ලෙසින්. මේ කතාබහ ඒ ගැන

සකුන්තලා වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?


මම ප්‍රේක්ෂකයන් අතරට එන අලුත්ම චරිතය සකුන්තලා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන, සද්ධා මංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ‘ජහුටා‘ නාට්‍යයේ මගේ චරිතය. වියළි නාට්‍යයෙන් පස්සේ මම රංගනයෙන් දායක වෙන නිර්මාණය. ඒ එක්කම දුව ලැබුණාට පස්සේ විවේකිව ඉඳලා රංගනයෙන් දායක වන නිර්මාණය.


පාර දිගේ ‘ඩාලිං‘ අක්කට නම් තවමත් ප්‍රතිචාර ලැබෙනවා නේද?


මම හිතන්නේ මම රඟපෑ චරිත අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු චරිතයක්. ඒ එක්කම කාන්තිටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. පාර දිගේ ඩාර්ලිං අක්කට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒක මම හිතනවා රංගන ශිල්පිනියක් විදියට නිහතමානී සතුටක් ලැබිය හැකි අවස්ථාවක්. නාට්‍යය අවසන් වෙලා කාලය ගත වුණත් ප්‍රේක්ෂකයින් තුළ තවමත් ඒ චරිතය නොමැකී තියෙන නිසා.


සකුන්තලා කියන්නෙ මොන වගේ චරිතයක් ද?


ඇය එක් දරු මවක්. ඇය ජිවත් වෙන්නේ සැමියා සහ සැමියාගේ නැඟණියත් එක්ක. ඒ වගේම දුවගේ වැඩ එක්ක ඇය කාර්යබහුල චරිතයක්. ඇය වැඩි අවධානය දෙන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට. 4 වසරේ දරුවෙක් නිසා ශිෂ්‍යත්ව විභාගය නිසා පන්ති යවනවා. ඇය උත්සාහ කරන්නේ තමන් ඉන්න තත්ත්වයට වඩා උසස් තැනකට දරුවාව යවන්න. මෙවැනි අම්මලා මේ සමාජයේ ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ සමාජ යථාර්ථය තමයි සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා තිර රචනාවෙන් මතු කරන්නේ. පෞද්ගලිකව මගේ ජිවිතේ මම එහෙම අම්මා කෙනෙක් වෙන එකක් නැහැ. හැබැයි සමාජ යථාර්ථයක් පිළිබිඹු කරන චරිතයක් නිසා ප්‍රේක්ෂකයින් ජහුටා නිර්මාණය එක්ක ආදරෙන් එකතු වෙයි කියන විශ්වාසය තියෙනවා.


චන්දිමා චරිතයක් භාර ගන්න කලින් මොනවාද බලන්නෙ?


මම කැමතියි මට යමක් කළ හැකි චරිතයක් නම්. ඒ එක්කම මගේ දක්ෂතාවන් ඒ චරිත හරහා ප්‍රේක්ෂකයින්ට දිය හැකි නම් මම ඒ චරිතය භාර ගන්නවා. එකම විදිහේ චරිත දෙපාරක් කරන්න කැමති නැහැ. උදාහරණයක් විදියට ඩාර්ලින් අක්කා විදියෙම චරිතයක් නැවත මම කරන එකක් නැහැ. මම කැමතියි විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න.


සද්ධා – සිවා සුසංයෝගයක් නම් දෙපාරක් හිතන්න දෙයකුත් නැහැ නේද?


ඔව්. සද්ධා අයියා සහ සිවා අයියා කියන්නේ මට හුරු පුරුදු අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක්. ඒ නිසා ඔවුන්ගේ ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. අග්නි පියාපත් තුළින් ආරම්භ කරපු ගමනේ අලුත්ම නිර්මාණය තමයි ජහුටා. ඉතාම සතුටුයි සද්ධා අයියා සහ සිවා අයියා එක්ක වැඩ කරන්න ලැබීම ගැන.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


මේ දිනවල නම් ජහුටා නාට්‍යයේ විතරයි ඉන්නේ. ඉදිරි මාස දෙකකින් විතර ආරම්භ වෙන්න නියමිත මෙගා නොවන නිර්මාණයක් එන්න තියෙනවා. මට ලැබුණු යම් යම් ඇරයුම් ප්‍රතික්ෂේප කරන්න වුණා.


සිනමාවේ ඇරයුම් ලැබුණේ නැද්ද?


මම අලුත් සිනමා නිර්මාණයක් වන බ්‍රර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ ‘දරී‘ සිනමා නිර්මාණයට දායක වුණා. එහි මගේ චරිතය වුණේ ආරියවතීගේ චරිතය. ඉදිරියේදී එයත් ප්‍රේක්ෂකයින්ට දැක ගන්න ලැබෙයි. ඒ හරහා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. බ්‍රර්ට්‍රම් නිහාල් මහතාව ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔහු ක්ෂේත්‍රයේ බොහෝ පළපුරුදු සුන්දර අධ්‍යක්ෂවරයෙක්. ඒ එක්කම තව සිනමා නිර්මාණයකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ දේවල් ගැන පසුව වැඩි විස්තර කියන්නම්.


පුංචි දෝණි එක්ක ගතවෙන ජීවිතය ගැනත් කියමු


දුව දැන් ටිකක් ලොකුයි. එයා ටික ටික ලොකු වෙනවා දකිද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. මොන තරම් මහන්සි වෙලා ගෙදරට ආවත් දුවව දකිද්දී අලුතින් ජීවයක් ලැබෙනවා. කොළඹ ඉන්නේ මමයි සැමියයි දුවයි විතරයි. ඒ නිසා තරමක වෙහෙසකාරී ජිවන රටාවක් තියෙන්නේ.

gossiplanka image 2
Previous Post Next Post