හාස්‍යයට යටින් ඉමෝෂනල් ස්ටෝරියක් යනවා - අමන්දා සිල්වා

gossiplanka image 1
 


නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව මෙරට වැසියන් තුළ එතරම් අවබෝධයක් නොතිබුණු සමයක, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගනිමින් ඒ ආකල්ප වෙනස් කිරීමට සමත් වූ ඇය, නිරූපණයට පමණක් නොව රංගනයට හා නර්තනයටද එකසේ දස්කම් පෙන්වන සුරූපිනියකි. නමින් අමන්දා සිල්වා වූ ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ එළද බ්‍රා චිත්‍රපටය හේතුවෙනුයි. 


ඔබේ අලුත්ම චිත්‍රපටය එළද බ්‍රා ගැන කියලම ඉමු?


එළද බ්‍රා කියන්නේ පූජිත ගුණතිලක අයියගේ දෙවැනි චිත්‍රපටය. ඒ වගේම ඒක මගෙත් දෙවැනි චිත්‍රපටය. ඇත්තටම ඒ නම නිසා මම මුලින්ම ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කැමැති වුණේ නැහැ. මොකද ඒ නමත් එක්ක ප්‍රේක්ෂකයන්ගේ ඔළුවට යන්නේ වෙන අදහසක් නිසා. නමුත් චිත්‍රපටය බැලුවට පස්සේ දැන් හිතෙනවා ඒ නමත් ගැටලුවක් නැහැ කියලා. චිත්‍රපටය බලන්න කලින් ඒකේ නම නිසා ප්‍රේක්ෂකයෝ එක වෙනස් විධියකට තේරුම් ගත්තත්, චිත්‍රපටය බැලුවට පස්සේ ඔවුන්ටත් වැටහෙනවා මේක කොමඩියක් විතරක් නෙවෙයි කියන එක. මොකද මේ චිත්‍රපටය ඇතුළේ හාස්‍යයට යටින් ලස්සන ඉමෝෂනල් ස්ටෝරියකුත් තියෙනවා. මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට ආදරයෙන් මතක් කරනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා.


ලැබෙන ප්‍රතිචාර ගැනත් කියලම ඉමු?


ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. බලන අය හැමෝම වගේ කියන දෙයක් තමයි මේක කොමඩියක් වුණත් ආසාවෙන් බලන්න පුළුවන් හොඳ කතාවක් තියෙනවා කියන එක.


ඔබ බොහොම කාලයකට පස්සේ තමයි මේ විධියට කලාවත් එක්ක සම්බන්ධ වුණේ, ඒ ගැනත් කියමු?


ඇත්තටම මම මුලින්ම රඟපෑවේ මීට අවුරුදු දහතුනකට විතර කලින්. මගේ පළමු වැනි ටෙලි ඩ්‍රාමා එක විසුළ අහස යට. කැළුම් පාලිත මහීරත්න අයියා තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. එක මගේ පළමු නිර්මාණය වුණත් එහි මම දායක වුණේ ප්‍රධාන චරිතයට. ඉතින් ඒකට මම බලාපොරොත්තු නොවුණු තරම් හොඳ ප්‍රතිචාර හිමිවුණා. ඇත්තටම මගේ පළමුවැනි චිත්‍රපටයත් කරලා ගොඩක් කාලයකට පස්සේ තමයි මම මේ ආපහු රංගනය පැත්තට යොමු වුණේ. වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් විධියට ගොඩක් වෙලාවට නිරූපණ වැඩකටයුතුවලට තමයි දායකත්වය දෙන්නේ.


ළඟදි තව අලුත්ම වැඩකටත් සම්බන්ධ වුණා කියලා ආරංචියි?


ඔව්, ඇත්තටම තුෂාර තෙන්නකෝන් අයියගේ රාවණ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා මේ දවස්වල. ඒ චිත්‍රපටයේ කවුරුත් නොහිතන විධියේ වෙනස්ම  චරිතයකට තමයි මම පණපොවන්නේ.


රාවණ වගේ ඓතිහාසික ශානරයේ නිර්මාණයකට දායක වීම මොන වගේ අත්දැකීමක්ද?


ඇත්තටම තුෂාර තෙන්නකෝන් අයියා රාවණ නාට්‍යයත් හරිම ලස්සනට කරලා තිබුණා. ඔහු ඒ නාට්‍යය එච්චර ලස්සනට කළා නම් ඒ කතාව එයා ෆිල්ම් එකක් විධියට කොයි තරම් ලස්සනට කරයිද කියන එක මගේ ඔළුවේ හැම වෙලාවෙම තිබුණා. ඒත් එක්කම මට චිත්‍රපටයට ආරාධනා ලැබුණම මම බොහොම කැමැත්තෙන් ඒකට දායක වුණා. මේ චිත්‍රපටය විශාල කණ්ඩායමක් එකතු වෙලා කරන දැවැන්ත නිර්මාණයක්. මේ වෙද්දි මගේ කොටස් රූගත කිරීම් කරලා අවසන්. ඇත්තටම එක මට වෙනස්ම විධියේ හොඳ අත්දැකීමක් වුණා.


ඔබ මෙරට ප්‍රධානම පෙළේ නිරූපිකාවක්, නිරූපණය හා රංගනය මේ දෙක සමානද?


නිරූපණ ශිල්පිනියක් රංගනයට යොමු වුණාම, ගොඩක් අය බලාගෙන ඉන්නේ මෙයාලට රඟපාන්න පුළුවන්ද කියලා. ඇත්තටම රංගනය කියන්නේ රූපය නෙවෙයි. රංගනය සඳහා පෙනුම වැදගත් නැහැ. ඒ සඳහා රංගන හැකියාව තමයි වැදගත්. නමුත් නිරූපණය කියන එකත් පහසු දෙයක් නෙවෙයි. ඒ සඳහාත් විශාල මහන්සියක් දරන්න සිද්ධ වෙනවා.


නිරූපණ ක්ෂේත්‍රයේ මේ තරම් සුදුසුකම් තියාගෙන නිරූපණ පාසලක් ආරම්භ කරන්න අදහසක් නැද්ද?


ඇත්තටම ගොඩක් අය මගෙන් ඔය ගැන අහනවා. මොකද මට තියෙන සුදුසුකම්, මම අරගෙන තියෙන අවෝර්ඩ්ස්, දිනලා තියෙන පැජන්ට් එක්ක බැලුවම මට හැමෝම කියන දෙයක් තමයි මොඩ්ලින්ග් ස්කූල් එක්ක පටන් ගන්න කියන එක. මගේ යූටියුබ් එකටත් ගොඩාක් අය කමෙන්ට් කරලා ඒ ගැන අහනවා. නමුත් ඇකඩමියක් පටන් ගන්නවා කියන්නේ විශාල වගකීමක්. ඒක ආරම්භ කළොත් දිගටම පවත්වාගෙන යන්න වෙනවා. ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මට හරියටම පටන්න සුදුසුයි කියලා කාලයක් ආවොත් මම අනිවාර්යයෙන් ඒ සම්බන්ධයෙන් හිතලා බලනවා.


පහුගිය දිනක ඔබේ සැමියාටත් ජාත්‍යන්තර සම්මානයක් හිමි වුණා.

ඒ ගැනත් කියමු?


පහුගිය දිනවල තායිලන්තයේ පැවැති IFBB මිස්ටර් යුනිවර්ස් තරගයට ඔහු සහභාගි වුණා. ඒක බොඩි බිල්ඩිංග් කම්පෙටිශන් එකක්. ඔහු ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරලා තමයි ඒ තරගයට සහභාගි වුණේ. ඔහුට ඒකෙන් ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් මෙඩ්ල් තුනක්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. මීට කලින් ඔහු ශ්‍රී ලංකාවේ පැවැති එවැනි තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ නිසාමයි අපි හිතුවේ මේ වගේ ජාත්‍යන්තර තරගයකටත් සහභාගි වෙලා බලන්න. හිතුවා වගේම ඔහුට ඒ තරගයෙන් රටට ජයග්‍රහණ අරගෙන එන්න හැකි වුණා. ඇත්තටම මට ඔහු ගැන ආඩම්බරයි.


අවසන් වශයෙන් දිගටම රංගනයට දායක වෙනවාද කියලාත් කියමු?


හරි විධියට, සුදුසු විධියට ලස්සන විධියට නිර්මාණ ලැබුණොත් දිගටම රංගනයට දායක වෙනවා. එහෙම නැතුව නිරූපණය, රංගනය හෝ නර්තනයවත් දිගටම කරනවා කියලා අදහසක් නැහැ. මට ගැළපෙන සුදුසු දේවල් ලැබුණොත් දිගටම ඒ දේවල්වලට දායක වෙනවා.

gossiplanka image 2
Previous Post Next Post