
1991 වසරේදී ඔතෙලෝ වේදිකා නාට්‍ය තුළින් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වීමෙන් රංගනයට අත්පොත් තැබූ ඔහු පුංචි තිරය හා එක්වන්නේ 2000 වසරේදීය. ඒ නලීන් මාපිටියගේ “දෙරණ” ටෙලි නාට්‍යය තුළින්ය. ඔහු එදා සිට අද දක්වා වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට දායක වී ඇත. මේ දිනවල විකාශය වන සසංකාරා, මහාරාණි, රට පවුල, හිතුවක්කාරී වැනි නිර්මාණ කිහිපයක කැපී පෙනෙන චරිත කිහිපයක්ම නිරූපණය කරන්නකු බවට පත්වී සිටින ඔහු නමින් මහේන්ද්‍ර වීරරත්නයි. හදගැස්ම අපි ඔහු සමඟ කළ කතාබහයි මේ. මේ දිනවල අලුත් තොරතුරු මොනවද? ඒ ගැන කියලම මේ කතාබහ පටන් ගමු?
මේ දිනවල සසංකාරා, මහාරාණි, රට පවුල, හිතුවක්කාරී වගේ විකාශනය වන ටෙලි නාට්‍ය සහ මාර්ටින් ලූතර් කිං, චේ ගුවේරා, සුබ සහ යස, හැඬ වෙන බලු නද වැනි වේදිකා නාට්‍යවලත් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඒ නිසා මේ දිනවල තරමක් කාර්යබහුලයි.
ඒවායෙහි නිරුපණය කරන චරිත පිළිබඳ කතා කළොත්?
මෙම ටෙලි නාට්‍ය හතරෙහි මම රඟපාන චරිත එකිනෙකට වෙනස්. සසංකාරා ටෙලි නාට්‍යයේ නම් මම දරුණු සල්ලාලයෙක්. රට පවුලේ නම් බොහොම ආදරණීය සල්ලාලයෙක්. මහාරාණි එකේ ආදරණීය පියෙක් ලෙස චරිත නිරූපණයේ යෙදෙනවා. එතකොට හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ ගොඩක් හොඳ සහ ගොඩක් නරක දෙකම මිශ්‍ර තාත්තා කෙනෙක් විදිහට චරිත නිරූපණය කරනවා.
මේ චරිත සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
රංගනයෙන් දායක වෙලා ඉන්න චරිත හතරටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එයිනුත් රට පවුල සහ සසංකාරා චරිත දෙකට වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා. එම චරිත දෙක නිසාම මට කාඩ් එකකුත් වැදිලා තියෙන්නේ ‘පුංචි තිරයේ සල්ලාල පෙම්වතා කියලා’ ඉතින් ඒ තමයි මට ලැබෙන ප්‍රතිචාරවල උපරිමය. හැබැයි මම මොනතරම් සැර, දරුණු, සල්ලාල චරිත කළත් ප්‍රේක්ෂකයෝ මට කැමැතියි. ඒකත් මරු අත්දැකීමක්. සමහරු මේ මට බනිනවා. ඒත් සමඟම හොඳ කියනවා. ඒකත් වාසනාව. සමාජ මාධ්‍යවල නම් මගේ චරිතයේ දෙබස් කෑලි දාලා මට විවිධ ප්‍රතිචාර දක්වනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම මට ලැබෙන්නේ පොඩි හරි සාධාරණයක්, සාර්ථකත්වයක් මගේ චරිත නිරූපණය තුළ තිබෙන නිසානේ කියල හිතලා මම සතුටු වෙනවා.
රඟපෑමට ලැබෙන්නෙ ඒකාකාරී චරිත කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
ඔව්. එම කාරණය මම පිළිගන්නවා. එකවගේ චරිත ලැබෙන වාර ගොඩාක්ම තිබෙනවා. එහෙම ලැබෙන හැම අවස්ථාවකම මම උත්සාහ කරනවා එම චරිත එකකට එකක් අභ්‍යන්තරයෙන් හරි වෙනස් කරගෙන නිරූපණයේ යෙදෙන්න. කෙනෙක් මගේ චරිත දෙස ඕනෑකමකින් හා සියුම්ව බැලුවොත් ඒ දෙය දැනෙයි. බාහිරෙන් නම් එකවරම ඒක දැනෙන්නෙ එක වගේම චරිතවලට කොටුවෙලා කියල තමයි.
සල්ලාල චරිතවලින් මිදිලා වෙනස් චරිත කරන්න කැමැත්තක් නැද්ද?
වෙනස් චරිත කරන්න ලොකු පිපාසයක් තියෙනවා. එහෙම වෙනස් චරිත මාව හොයාගෙන එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා. රඟපාපු අලුත් ඒවත් තියෙනවා. ඉදිරියේදී වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයන්ව පිනවන්න පුළුවන් වෙයි.
ඔබ මෙතෙක් ආ ගමන් මඟ දෙස බලද්දි ලැබූ අත්දැකීම් ගැන මොකද හිතෙන්නෙ?
රංගන ශිල්පියෙක් පරිපූර්ණත්වයට පත් කිරීමේ ප්‍රධාන සාධකය බවට පත්වන්නේ ඔහු ලබාගත්ත ජීවන අත්දැකීම් පොතපත ඇසුරෙන් වැඩමුළු සඳහා සහභාගි වීමෙන්, නිතර නිතර රංගත අභ්‍යාසයන් කිරීමෙන්, වගේම වැඩ කිරීමේ පළපුරුද්ද හා සමාජ ගවේෂණයේ අත්දැකීම් යන මේ සියලු දේවල්හි සම්මිශ්‍රණයෙන් චරිතයක පරිසාධනීය මට්ටම ළඟා කර ගන්න පුළුවන්. මම නම් මේ වන තෙක්ම ඒ හැම අත්දැකීමක්ම අත්දකිමින් ඉන්නෙ.
මෙවැනි එකම රාමුවකට සිරවුණ කළු චරිතම රඟපෑමේදී බියක් දැනුණෙ නැද්ද ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරයි කියලා?
දැන් ඉන්න ප්‍රේක්ෂකයෝ හරි බුද්ධිමත්. ඒ නිසා කෙනෙක් රළු චරිත එහෙම නැතිනම් කළු චරිත කළා කියලා රංගන ශිල්පියාගේ සාමාන්‍ය ජීවිතයත් එහෙම ඇති කියලා හිතන්නේ නැහැ. එහෙන් තමන්ගේ රංගන ජීවිතය තුළ මොන වර්ගයේ චරිතයක් කළත් ඒ සඳහා සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ. එහෙම අවස්ථාවලදී ප්‍රේක්ෂකයා එම ශිල්පීය ප්‍රාමාණික බව ගැන ප්‍රශ්න මතු කරමින් කතා කරනවා. අන්න එහෙම වුණාම ප්‍රේක්ෂකයාට රංගන ශිල්පියාගේ චරිතයේ රළු, කළු ස්වභාවය මූලික වෙන්නෙ නැහැ කියලා තමයි මට හිතෙන්නෙ. එහෙම තැනකදී එම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය ප්‍රතික්ෂේප වෙන්නෙ නැහැ.
ඔබට හිතෙන්නෙ නැද්ද ඔබේ රංගනය ඇගයීමට ලක්විය යුතුයි කියලා?
මම කරලා තියෙන චරිතවලට සම්මාන ලැබෙන්න ඕනෑ කියලා හිතුණු වාර අනන්තයි. ඒත් සම්මාන උළෙලකදී කොළ කෑල්ලක්වත් නොලැබෙද්දී නම් හිතුණේ මට මාව හොඳයි කියලා හිතුනට මම කරපු චරිතවලින් මේ සමාජයට, ප්‍රේක්ෂකයන්ට ගන්න තරම් ආදර්ශයක් නැතිව ඇති. බලමු ඉතින් කවද හරි මගේ රඟපෑම් හොඳයි කියලා හිතුණු දවසක මට සම්මාන ලැබෙයි. එහෙම නොලැබුණා කියලා මගේ හිතේ දුකක් කනගාටුවක් නැහැ. මොකද මේ වෙද්දි මම රසිකයන්ගෙන් ලැබෙන සම්මානය ඒ කියන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර භුක්ති විඳිනවා. වේදිකාවේදි මොන සම්මානය නොලැබුණත් මට ලැබෙන රසික සම්මානයට මම හැමදාමත් ආදරෙයි.
ලංකාවේ පැවැත්වෙන සම්මාන උළෙල පිළිබඳ ඔබේ අදහස?
සම්මාන උළෙලකින් ඇගයීමක් ලැබෙනවා කියන්නෙම ඕනෑම රංගන ශිල්පියකුගෙ ඊළඟ නිර්මාණයට මනා උත්තේජනයක් ලැබෙනවා කියන එකයි. ඒ වුණාට අපේ රටේ සම්මාන උළෙලවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා කාටද මොකටද සම්මාන ලැබුණේ කියලා සතියක් යනකොට කාටවත්ම මතක නැහැ. ඒ කොහොම වුණත් සම්මාන උළෙලවල් පවත්වන එක ගැන සතුටුයි.
ඔබට ලැබෙන චරිතය ගොඩනඟා ගැනීමේදී අනුගමනය කරන්නේ මොනවගේ උපක්‍රමද?
චරිතය ලැබුණු පසු මම නම් පළමුව කරන්නෙ එම පිටපත සහ චරිතය අදාළ කෘතියට අනුව කියවා ගැනීමයි. දෙවැනියට එම චරිතය පොදු සමාජ වේදිකාවේ තබා කියවා ගැනීම අන්වාර්යයෙන්ම කරනවා. ඉන්පසුව අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමඟ සාකච්ඡා කරමින් චරිතය ගොඩනඟා ගැනීම සිදුකරනවා.
මේ ක්ෂේත්‍රයේ සිටින නවකයන්ට ඔවුන්ගේ රංගන කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ ලබාදෙන සහයෝගය කෙබඳුද?
මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමේදී නම් මමත් තවම නවකයෙක් කියලා තමයි මට කියන්න වෙන්නෙ. නවක කියන වචනය සාපේක්ෂයි. එහෙම වුණාට අලුතෙන් මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක් මගෙන් යමක් ඇහුවොත් මම දන්න දෙයක් නම් එය කියලා දෙනවා. මම නොදන්නා දෙයක් නම් මුලින්ම මම ඒ පිළිබඳව හොයලා බලනවා. එහෙම සොයා බලලා මමත් ඒ ගැන ඉගෙන ගෙන ඔවුන්ටත් ඒ ගැන කියලා දෙනවා. අතීතයේ අපි යම් යම් දේවල් කියලා දීපු නවකයෝ අද ප්‍රවීණයන් බවට පත්වෙලා ඉන්නවා. ඒ ගැන නම් මාරම සතුටුයි. ඊටත් වඩා සතුටු හිතෙන කාරණය තමයි අනේ මේ මනුස්සයා ඒ දවස්වල මට මෙහෙම කියලා දුන්නනෙ කියන කාරණය ඔවුන්ට අමතක වීම.
ඔබ සිනමාව තුළ දකින්නට නැහැ. ඒ ඇයි?
සිනමාවට මාව කවුරුවත් ගත්තෙ නැහැ. ඒක තමයි ඉතින් හේතුව. මට ලොකු සිනමා පිපාසයක් නම් තියෙනවා. එම පිපාසය මම යම් තරමකින් හෝ නිවා ගන්නේ වේදිකාව තුළිනුයි. මගේ සිනමා ආගමනයේ ගුරුවරයා කේ.ඒ. විජේරත්න මහතායි. ඒ වගේම සිනමා කැමරාව, කාච සහ පටලපට භාවිතය පිළිබඳ බොහෝ දැනුම සුමින්ද වීරසිංහ මහතාගෙන් ලබා ගත්තා. මම සහාය අධ්‍යක්ෂ ලෙස වැඩ කරපු පළමු සිනමා නිර්මාණය ‘නිසලගිර’යි. එහි අධ්‍යක්ෂ ටනුජ් නවරත්න. නිෂ්පාදිකාව නීටා ප්‍රනාන්දු. මට ඒ අවස්ථාව ලබාදුන්නට ඒ දෙදෙනාට ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියලම මේ කතාබහ අවසාන කරමු?
මම සහභාගි වූ ටෙලි නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ අතර අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනාත් ලැබිලා තියෙනවා. ඒ වගේම වේදිකාවෙත් සුපුරුදු පරිදි වැඩකටයුතු කරනවා. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා මම ප්‍රධාන චරිත නිරූපණය කරන වේදිකා නාට්‍ය දෙකක් වේදිකාගත වීමටත් නියමිතයි. එහි නම් වශයෙන් සඳහන් කළොත් පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ‘හැඩ වෙන බලු නද’ සහ බුද්ධික දමයන්ත මහතාගේ ‘මට සිහිනයක් ඇත’ නාට්‍ය දෙකයි.
අරුණි ජයසේකර
