
අකිල ධනුද්දර කියන්නේ ප්‍රේක්ෂක හදවතෙහි නොමැකෙන මතක සටහන් තැබූ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සිනමාවට එක් කරන්නේ අමුතුම ආලෝකයක්. නම කියූ සැණින් සෑම ප්‍රේක්ෂකයකුගේම මතකයට එන ඔහු මේ දිනවල ජහුටා ටෙලි නාට්‍යයෙන් වෙනස්ම චරිතයකින් දකින්න ලැබෙනවා. ජහුටා ටෙලි නාට්‍යයේ ඔහුගේ රංගනයට ප්‍රේක්ෂකයන් කවුරුත් ප්‍රිය කරනවා වගේම කතාබහට ලක් කරනවා. ඉතින් මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඔහුගෙන්. මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ අවුරුද්දේ මම වැඩකටයුතු කරන හතරවැනි චිත්‍රපටය රාවණහි රූගත කිරීම් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ජහුටා ටෙලි නාට්‍යයෙත් වැඩ කටයුතු සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් හැම අවුරුද්දකම වගේ තමයි. චිත්‍රපට හතරක වැඩකටයුතු කරන්න වුණ නිසා මේ අවුරුද්දෙත් කාර්යබහුලකම වැඩි වුණා.
ජහුටා ටෙලි නාට්‍යයේ විශ්වගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාමත් ඉහළයි. මට ළඟින්ම කතා කරන්න පුළුවන් සමාජ මාධ්‍යයේ අදහස් දක්වන ප්‍රේක්ෂකයන් පිරිස එහෙම ගොඩක් හොඳ ප්‍රතිචාර ලබා දෙනවා. සාමාන්‍යයෙන් හොඳ වැඩක් යනකොට හැම තැනකින්ම සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්සර ලියුම් ගෝනි ගණන් ලැබුණා වගේ අපේ කාලයේ අපට එන්නේ දුරකථන පණිවුඩනේ. පාරේ එහෙම යන්නේ බලාගෙන දැක්කම ගහන්න හිතෙනවා, අනේ කැරැක්ටර් එක හොඳටම කරනවා කියලා කියන ප්‍රේක්ෂකයන් හමුවෙනවා. ඒ වගේම තවත් ප්‍රේක්ෂකයන් මාව කොහෙදි හරි හමුවුණාම විශ්වගේ චරිතය දිහා බලලා ඒ අය අතින් වන වැරැදි එහෙම නැවත නොවෙන්න වගබලා ගන්නවා කියලා කියනවා. ඒ වගේ සමාජයට බලපෑමක් ඇති කරන්න පුළුවන් චරිතයක් කරන්න ලැබීම ගැන සතුටුයි. මේ දේ ඉතින් තනි ප්‍රයත්නයක් නෙවෙයි. අධ්‍යක්ෂවරයා, රචකයා ඇතුළු කණ්ඩායමේ සියලුම දෙනා වගේම දුෂේනිවත් මතක් කරන්න ඕනෑ. යන යන හැමතැනකම නොබලපු කෙනෙක් වුණත් එහෙම ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා කියලා දන්න තරමට ඒක වෙනස් විධියට ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබෙනවා.
ජහුටා ටෙලි නාට්‍යය හරහා ඔබ නිරූපණය කරන ස්වාමිපුරුෂයාගේ චරිත ලක්ෂණ ටිකක් වෙනස්. චරිතය ගැන කතා කරමු?
අනූවේ අසූවේ දශකවල ඉපදුණ අපට ආදරය ගැන කතා කරනකොට වැඩිපුරම අහන්න ලැබුණේ ගැහැනු කියන්නේ දුක් විඳින කොටසක් කියලා. ඒ කාලයේ තාත්තා ගෙදර ආවම අම්මා බයයි. වැඩි කතාබහ නෑ. ඉතින් අපේ පරම්පරාවේදී අපි ඊට වඩා ආදරණීය විධියට හිතන්න පටන් ගත්තා. අපේ පෙම්වතිය, බිරිය පවා සර්ප්‍රයිස් කරන්න පටන් ගත්තා. දැන් හැම උපන් දිනයකටම සර්ප්‍රයිස් එකක්නේ. ඒ කාලයේ අපේ අප්පච්චිලා අපේ අම්මලාව මෙතරම් සර්ප්‍රයිස් කළා කියලා මම නම් හිතන්නේ නෑ. සමාජය වෙනස් වෙලා. නමුත් මේ දේවල්වල බලපෑමක් නොලබපු සමාජ මාධ්‍ය භාවිත නොකරන කෙනෙක් කොහොම හැසිරෙයිද? ඒ වගේ කෙනෙක් හිතන්නෙ මගේ බිරිය මම නැති දිනක ජීවත් වෙන්න හැමදේම දැනගෙන ඉන්න ඕනෑ කියලා. ලෝකයේ සර්ප්‍රයිස් කිරීම් දැක්කම ගැහැනුන්ගේ හිත් රිදෙනවා. එහෙම සර්ප්‍රයිස් කිරීම් නැතිව ආදරය කරන පිරිමි මේ ලෝකයේ ඉන්නවා.
මෙවැනි චරිත සමාජය තුළ ඔබටත් හමුවී තිබෙනවාද?
දෙදෙනාගේම චරිත ලක්ෂණ එකතු වුණාම තමයි විශ්ව කියන චරිතයත් සමාධි කියන චරිතයත් බිහිවෙන්නේ. ගුප්තයි නෙවෙයි. මේ වගේ මිනිසුන් සමාජයේ ඉන්නවා. මටත් ඔය වගේ මිනිසුන් හමුවෙලා තිබෙනවා. මම ඇත්තටම රඟපාද්දි මට සමාජයේ හමුවෙලා තිබෙන මිනිසුන්ගේ චරිත රඟපාන්න කල්පනා කරනවා. බොහෝ වෙලාවට මම ආපහු ටෙලි නාට්‍යය බලද්දිත් සද්ධාමංගලසූරිය ලියලා එවපු දේ ඇතුළේ මේ චරිතයට මට හමුවුණ මම අධ්‍යයනය කළ චරිතවල ලක්ෂණ ඔබ්බපු හැටිත් මට මතක් වෙනවා. ඒක හරි ලස්සන භාවනාවක්. ඇත්තටම ඒ වගේ හොඳ ලියවිල්ලකට හොඳ අධ්‍යක්ෂණයක් මැද හොඳ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්.
එකගෙයි සොකරි, දේවි සම්බුලා ඔබේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ළඟදීම තිරගත වෙයිද?
එකගෙයි සොකරි තමයි මුලින්ම තිරගත වෙන්න නියමිත. අවුරුද්දට සොකරි බලන්න එන්න කියලා උදාන වාක්‍යයට ලියලා තියලා ඒකට මාර්කටින් එකක් අප්පච්චිම හදලා තිබෙනවා. ඊළඟ අවුරුද්දට සොකරි බලන්න එන්න ලංකාවටම අඬගහන්න තමයි තියෙන්නේ. ඊළඟට එළැඹෙන අවුරුද්දට සොකරි බලන්න ලෑස්ති වෙලා ඉන්න.
දේවි සම්බුලා කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි චිත්‍රපටයක්. ඒ ගැන මොනවගේ බලාපොරොත්තුවක්ද තිබෙන්නේ?
ඒ චිත්‍රපටය ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් නැවත නැවත ෂූට් කරලා තිබෙනවා. ඒක වෙනම හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නේ ඒක ත්‍රීඩී නිර්මාණ එහෙම තිබෙන ෆැන්ටසි චිත්‍රපටයක්. ලංකාවේ තවම එහෙම චිත්‍රපටයක් නිර්මාණය කරලා නෑ. අවුරුද්දට සොකරි බලලා ටික කාලයකින් තමයි දේවි සම්බුලා එළියට දාන්න බලාගෙන ඉන්නේ. ඒ වැඩකටයුතු ඉවර වෙද්දී තුන්වැනි චිත්‍රපටයකුත් නිර්මාණය කරලා තබන්න තමයි අපේ බලාපොරොත්තුව.
සමහර ප්‍රේක්ෂකයන් ඔබව සිනමාවේ ඓතිහාසික ශානරයේ චරිතවලට කොටු කරන්න හදනවා කියනවා?
සංඛ්‍යාලේඛන ගෙන බැලුවොත් මාව ඉතිහාස චරිතයකට දාලා ගහපු හැම චිත්‍රපටයක්ම අනෙක් චිත්‍රපටවලට වඩා ආදායමක් ලබලා තිබෙනවා. ඉතිහාසයේ චිත්‍රපටයක් හැදුවම ප්‍රේක්ෂකයන් ආශාවෙන් බලන්න එනවා. මෙතැන තිබෙන ප්‍රශ්නය මගේ කොණ්ඩය. මගේ කොණ්ඩෙ එක්ක ඉතිහාස චරිත කරගෙන යද්දි මට වෙන නිර්මාණයකට මගේ කොණ්ඩය කපන්න කිව්වොත් මට බෑ කියන්න සිද්ධ වෙනවා. මොකද මම තව භාරගත් චරිත තිබෙනවා නේ. මට ආරාධනා එනවා. නමුත් කොණ්ඩය කපන්න පුළුවන්ද අහනවා. එතකොට කොණ්ඩය එක්ක ඉදිරියට මම පොරොන්දු වෙලා තිබෙනවා කිව්වම ඒ වැඩේ මඟ ඇරිලා රජ කතාව කෙරෙනවා. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයි. පහුගිය නිර්මාණ තුනකම මම කොණ්ඩෙට විග් එකක් දැම්මා. දැන් ඒ ප්‍රශ්නෙ ඉවර නිසා ඉදිරියට එහෙම කොටුවෙලා නෑ කියලා කියයි.