
සමීර පියරත්නගේ අධ්‍යක්ෂණයෙන් සිරස නාළිකාවේ විකාශය වන ‘රොකී‘ ටෙලි නිර්මාණය මේ දිනවල කාගේත් අවධානය දිනාගන්නට සමත්වී ඇත. එහි සමාජ අසාධාරණයට විරුද්ධව නැඟී සිටින මාලන්ගේ භූමිකාවට පණ පොවනු ලබන්නේ රජීව් මලින්දය. මේ වනවිට ඔහු එහි සටන් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. කුඩා කල සිටම සටන් නළුවකු වීමේ සිහිනයක සිටි රජීව් එම සිහිනය සැබෑකර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව බොහෝ සතුටින් පසුවෙයි.
“පුංචි කාලෙ ඉඳන්ම මට ඕන වුණේ සටන් නළුවෙක් වෙන්න. මගේ අම්මගෙ ආසාව වුණෙත් මාව නළුවෙක් වෙනවා දකින්න. ඒ දවස්වල විකාශය වුණු නිලංජනා ටෙලි නාට්‍යයේ වසන්ත කුමාරවිල කියන සටන් නළුවා දැකලා මමත් කවදහරි සටන් නළුවෙක් වෙනවා කියන ආසාව ඇති වුණා. 7 වසරේ ඉඳන්මයි මං වුෂූ, කිට් බොක්සිං එක්ක මාෂල් ආර්ට් කලාව ඉගෙන ගත්තේ. මල්ලි අපි ෆයිටින් ඉගෙන ගමු කියලා මාව අමිල අයියා ළඟට යොමු කළේ බ්‍රදර් පිලිප්. මං ෆේස්බුක් දාපු ෆයිටින් වීඩියෝ එකක් දැකලා තමයි සමීර පියරත්න අයියා මට මාලන්ගේ චරිතයට ආරාධනා කළේ. ඒ වීඩියෝ එක සෑහෙන්න වයිරල් වුණා.“
රජීව්ගේ සටන් නළුවකු වීමේ සිහිනය එසේ සැබෑ වෙද්දී අහඹු ලෙස එහි සටන් අධ්‍යක්ෂවරයා වීමට අවස්ථාව ලැබීම ද දෛවෝපගත සිදුවීමකි.
“මගේ හැකියාව ගැන විශ්වාසයක් ඇති වුණු නිසා වෙන්න ඇති සමීර අයියා මට සටන් අධ්‍යක්ෂණයත් භාර දුන්නේ. ඒ අභියෝගයත් මං ජය ගත්තා කියල හිතනවා. මේ දිනවල රොකී නරඹන ඔබට එය සාධාරණීයකරණය කරන්න හැකි වේවි. මාලන් කියන්නේ ඉක්මන් තීරණ අරන් රණ්ඩුවලට පැටලෙන කලබලකාරී චරිතයක් විදිහටයි ගොඩනඟලා තියෙන්නේ. මාලන් මට අභියෝගයක් නොවුණේ මං මාෂල් ආර්ට් කලාව ප්‍රගුණ කරලා තිබුණු නිසා වෙන්න ඇති. ප්‍රදීප් ධර්මදාස සර් යටතේ මං රංගනයත් හැදෑරුවා. ඔහුගේ නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.“
මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන මගේම දෝ ටෙලි නිර්මාණයේ ගෝවින්ද මාලන්ට හාත්පසින්ම වෙනස් භූමිකාවකි. ජනප්‍රිය ෆුට්බෝල් ක්‍රීඩකයකු වන ගෝවින්ද රජීව්ගේ රංගනයේ වෙනස්ම පැතිකඩක් නිරාවරණය කරයි. විුත් ජම්මාල් සහ ටයිගර් ෂෙරෝෆ් යන ඉන්දීය කලාකරුවන්ට බොහෝ සේ ඇළුම් කරන රජීව් ජැකී චෑන් අනුගමනය කරන්නෙකි.
“මගේම දෝ කුෂාන් සමීරගේ ටෙලි පිටපතක්. අධ්‍යක්ෂණය ජී. නන්දසේන. ගෝවින්ද කියන්නේ ජනප්‍රිය ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. මට ඒ චරිතයට අවස්ථාව ලබාදෙන්නේ තිරපිටපත් රචක කුෂාන් සමීර. ඊට අමතරව සියත නාළිකාවේ විකාශය වුණු සඳ එළිය, මෝදර බඔරු, දෙරණේ විකාශය වුණු දෙවිලියෝ කියන ටෙලි නිර්මාණවලටත් මං රංගනයෙන් දායක වෙලා තියෙනවා.“
ප්‍රේක්ෂක හදවත් වඩාත් හොඳින් ස්පර්ශ කිරීමට සමත් වූවේ මාලන්ගේ භූමිකාවෙන් වුවද රජීව් ප්‍රධාන භූමිකාවෙන් දායක වුණු මියුසික් වීඩියෝ ගණනාවකි. නිලංග ද සිල්වාගේ ‘මේ විදියේ’ ගීතය ඒ අතරින් බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. අම්බලන්ගොඩ ඉපිද බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ රජීව්ට මෙතෙක් ආ දුර රෝස මල් මාවතක් නොවුණු බවද සැබෑවකි. රෙඩ් ඕකිඩ් රෙස්ටුරන්ට්හි සේවය කරන රජීව් තම කලා කටයුතුවලට සහාය දක්වන එහි හිමිකරු සාගර පලිහවඩන ඇතුළු සැවොම ගෞරවපූර්වක සිහිපත් කිරීමට ද අමතක නොකළේය.
