මට වෙච්ච දේවල් ප්‍රේක්ෂකයො දන්නෙ නෑ-දසුනි සෙනෙත්මා

gossiplanka image 1
 

දසුනි සෙනෙත්මා කියන්නේ රසික ආදරය නොඅඩුව දිනාගත් නවක පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ බව පෙන්වමින් මෙවර හිරු මෙගාස්ටාර් හි කිරුළද හිමි කර ගත්තා. ඉතින් ඇයගේ සුන්දර සිනහවත් හුරුබුහුටි පෙනුමත් දක්ෂ රංගන විලාසයත් නිසාම ඇයව පුංචි තිරයේ නොදන්නා කෙනකු මේ දිනවල නැති තරම්. ඉතින් මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඇයගෙන්. පසුගිය දිනක හිරු මෙගා ස්ටාර්ස් හි කිරුළ ඔබට හිමිවෙද්දී දැනුණ හැඟීම කොහොමද?


ඇත්තටම මට එදා කියාගන්න බැරි සතුටක් දැනුණේ. මොකද ඒක මම කුඩා කාලයේ ඉඳන්ම තාත්තා මගෙන් දැකපු ලොකු හීනයක්. ඉතින් තාත්තාගේ හීනය මට කුඩා කාලයේ හැබෑ කරන්න බැරි වුණත් මම ආර්ටිස්ට් කෙනෙක් වෙලා ආර්ටිස්ට්ලාගේ තරගයකින් ජයග්‍රහණය කරලා ඒක හැබෑ කරන්න ලැබුණු එක ගැන සතුටුයි. නමුත් අද මගේ තාත්තා ජීවතුන් අතර නෑ.


තරගය පුරා ඔබ විවිධ බාධක අභියෝග හමුවේ වුවත් ඉදිරියට පැමිණීම ගැන මොකද හිතෙන්නේ?


තරගය මැදදී මගේ කකුල කැඩෙනවා. ඇත්තටම හවස තරග කරන්න තිබෙද්දී අපි එදා පුහුණුවීම් කරපු වෙලාවේ තමයි මගේ කකුල කැඩෙන්නේ. නමුත් ඒ වෙලාවේ මම මගේ කකුල කැඩිලා කියලා දන්නේ නෑ. මොකද අයිස් බකට් එකක දාගෙන හිටියා. මම පසුව පුහුණුවීම් කරන්න උත්සාහ කළත් මට ඒක කරන්න බැරි වුණා. නමුත් මම ඒ කැඩුණු කකුල පිටින්ම හවස තරගයේදී ඇක්ට් එක ඉදිරිපත් කළා. මම කොහොමහරි ඒ වේදනාව, අමාරුව දරාගෙන එදා තරග කළා. නමුත් තරගයේ මම ඉදිරිපත් කිරීම කරලා විනිසුරු මඬුල්ලේ තීරණය ලැබෙන්න කලින් වේදිකාවේ ඇදගෙන වැටුණා. ඊට පස්සේ දිනේෂ් තරංග අයියා, ඔහුගේ බිරිය සහ මගේ පාට්නර් එකතු වෙලා මාව රෝහලට ගෙනාවා. එවෙලේ ස්කෑන් කරලා බැලුවට පස්සේ මට වෛද්‍යවරු කීවේ ඔයා සති හයක් විතර ගල් බැන්ඩේජ් දාගෙන ඉන්න ඕනෑ කියලා.


ඒ වෙලාවේ මොකද හිතුණේ?


ඒ වෙලාවේ තමයි මම ගොඩක්ම කඩාගෙන වැටුණේ. ඊට පස්සේ මම ඇඬුවා. ඉතින් ඒ වෙලාවේ මගේ වයසත් එක්ක මට තව කල් තියෙනවා, කකුලට මොනවා හරි වෙයි කියලා වෛද්‍යවරු මට කිව්වේ තරගය අත්හරින්න කියලා තමයි. නමුත් මම අඬන එක නවත්වන්නේ නැති නිසා සති දෙක හමාරකින් නැවත එන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ මම කල්පනා කර කර ඉද්දී ලලිත් සර්, දිනේෂ් තරංග අයියලා එහෙම හැමෝම මාව මෝටිවේට් කළා. අපි රෝද පුටුවෙන් හරි ඇක්ට් එක කරමු කීවා.


එහෙම වුණත් ඔබ තරගය අතහැරියේ නැහැ?


ලලිත් සර් ආමි ඇක්ට් එකක් කරමු කිව්වා. ඇත්තටම ඒ හැමෝම වචනෙන් වචනේ මාව මෝටිවේට් කරපු නිසා තමයි මට ඒ ඇක්ට් එක කරන්න පුළුවන් වුණේ. අනිවාර්යෙන්ම මේ කිරුළ මම හිමිකර ගන්නවා කියලා මගෙත් ඉලක්කයක් තිබුණා. මගේ කකුල තරගයේ සෙමි ෆයිනල් එකට කලිනුත් නැවතත් කැඩුණා. ඊට පස්සේ මම සිංහල වෙදකම් කළා. ඒ අතරේ මට චිකුන්ගුන්‍යා  රෝගයත් වැලඳුණා. ඉතින් මට තරගයේ සෙමි ෆයිනල් එකට පුහුණුවීම් කරන්න වුණෙත් නෑ. හොස්පිට්ල් ඉඳලා ඇවිත් වමනෙ දදා තමා මම එදා තරගයට ඇක්ට් එක ඉදිරිපත් කළේ. ඉතින් ඒවා ප්‍රේක්ෂකයෝ දන්නේ නෑ. මොකද ඒවා රෙකෝඩින් නිසා. ඉතින් ඇත්තටම ලොකු ප්‍රශ්න ගොඩකට මම මුහුණ දීලා තමයි ඉදිරියට ආවේ.


තරගයේ ඉදිරියට පැමිණීමේදී ඔබගේ සහායකයාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඔහු වෙලාවට වැඩ කරනවා. මම එන්න විනාඩි 10ක් පරක්කු වුණත් ඔහු කලින් ගිහින් හැමදේම බලලා කරනවා.


අඩු වයසකින්ම මෙතරම් දක්ෂ නර්තන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වීමට ඔබට හීනයක් තිබුණද?


ඇත්තටම මට එහෙම මේ පැත්තට හීනයක් තිබුණේ නෑ. තාත්තාගේ හීනය තමයි. තාත්තා නැති වුණාට පස්සේ අම්මා මාව කොළඹට එක් කරගෙන ආවා. කොළඹට ආවාට පස්සේ මට ගියවර මෙගා ස්ටාර්ස් තරගයේ පාට්නර් කෙනකු විධියට නටන්න ආරාධනාවක් ලැබුණා. ඒ කාලයේ මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය එකයි විකාශය වෙලා තිබුණේ. ඒ කාලයේ මිනිසුන් මාව ආර්ටිස්ට් කෙනකු විධියට දන්නේ නෑ. ඉතින් මෙවර මම ආර්ටිස්ට් කෙනකු විධියට මෙගා ස්ටාර්ස් තරගයේ ඉදිරිපත් කිරීම් කළා.


පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර ගැන මතක් කරමු?


ඇත්තටම රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයෙන් පසුව මට ගොඩක්ම රසික ආදරය ලැබුණේ පිරිමි ළමයි ටෙලි නාට්‍යයෙන්. පිරිමි ළමයි ටෙලි නාට්‍යයෙන් මම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඉතින් ඒ තරම් ආදරයක් ලබන්න මම හරිම වාසනාවන්තයි. මම ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. සද්ධා මංගල සූරියබණ්ඩාර සර්, සිවගුරුනාදන් සර් එක්ක වැඩ කරන්න මම හරිම ආශාවෙන් හිටියේ. නමුත් මගේ කාර්යබහුලත්වය එක්ක මට කලින් ලැබුණු ආරාධනාවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ වෙලාවේ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගේ බිරිය චේතනී මිස්වත් ආදරෙන් මතක් කරන්න ඕනෑ. ඇය තමයි රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයෙන් මාව දැකල සර්ට මම ගැන කියලා තිබුණේ. ඉතින් මම මේ වෙලාවේ පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ කණ්ඩායමටම ස්තූතියි කියන්න ඕනෑ.


නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් කෙටි කාලයකින් ජනප්‍රිය වුවත් ක්ෂේත්‍රයේ රැඳෙන්නේ නෑ නේද?


 මම පිටපතක් ලැබුණම ඒක මට කරන්න පුළුවන් ද මට එයට ලබා දෙන්න දෙයක් තිබෙනවාද බලලා තමයි භාර ගන්නේ. ඕවර් රොමෑන්ටික් දේවල් මම කරන්නේ නෑ. මට කරන්න බැරි දෙයක් ස්ක්‍රිප්ට් එකේ තිබෙනවා නම් ඒවා පවා මම ඩිරෙක්ටර් එක්ක කතා කරලා කලින් දැනුවත් කරනවා. ඉතින් රංගන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් අලුතෙන් ක්ෂේත්‍රයට එනවා තමයි. මම මගේ සම්පූර්ණ සහයෝගය මම කරන වැඩ කටයුතුවලට ලබා දෙනවා. මම කෙටි කාලයකින් ක්ෂේත්‍රයට ඇවිත් මෙහෙම රැඳිලා ඉන්නේ මම හැමදේම හොයලා බලලා කරන නිසා වෙන්න ඇති. ඉදිරියට මොනවා වේවිද දන්නේ නෑ.


ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?


හැම කෙනෙක්ටම ආදරය කියන දේ අවශ්‍යයි. ඒක සුන්දර ද කියලා අපට හමුවන අප තෝරා ගන්නා කෙනා මත තමයි තීරණය වෙන්නේ. ආදරය ගොඩක් ලස්සන දෙයක් විධියට මම දකිනවා.


ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?


චිත්‍රපටයක් ඉදිරියට රිලීස් වෙන්න නියමිතයි. ඒකෙ රූගත කිරීම් කරලා ඉවරයි. තව ටෙලි නාට්‍ය දෙක තුනකින් ආරාධනා කරලා තිබෙනවා. තවම සම්බන්ධ වෙනවද කියලා හිතලා නෑ. තව චිත්‍රපට දෙක තුනකිනුත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවා ගැනත් තවම හිතන ගමන් ඉන්නේ.


රුවිනි අමරකෝන්

gossiplanka image 2
Previous Post Next Post