
මේ දිනවල විකාශය වන ‘සිනාවේ කතාවේ’ ටෙලි නාට්‍යයේ නපුරු, දුෂ්ට මිකීව ඔබට මතකද?. ඇය සැබෑ චරිතයෙන් සෙව්මිණි හේවාවිතාරණ. ගුවන් සේවිකාවක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු සෙව්මිණී අහම්බයකින් වගේ රංගන ශිල්පිනියක් වෙනව. මේ ගැන වැඩි විස්තර අපි ඇයගෙන්ම දැනගනිමු.
සෙව්මිණි, ‘සිනාවේ කතාවේ’ ටෙලි නාට්‍යයේ මිකීට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මම නපුරු චරිතයක් කළාට, ඒක හොඳට රඟපානව කියල ගොඩක් දෙනෙක් කියනව.
සෙව්මිණි කියන්නෙත් සැබෑවටම ඒ වගේ චරිතයක්ද?
මම නපුරු චරිතයක් නෙමෙයි. හැමෝම එක්ක සුහදව ඉන්න කැමති කෙනෙක්.
මිකී වෙන්න ආරාධනාව ලැබෙන්නෙ කොහොමද?
මම මේ අවුරුද්දෙ දෙරණ අවුරුදු කුමරි තරගයට සහභාගි වෙනව. එහිදී අවසන් පස්දෙනා අතරට තේරීපත් වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඒ හා සමගම තමයි මට මේ චරිතය සඳහා ආරාධනා ලැබෙන්න.
එකවරම ලැබුණ මේ ආරාධනය මොන විදිහටද ඔබට දැනුණෙ?
මින් පෙර මම රංගනය පැත්තෙන් දෙයක් කරල නැති නිසා නුහුරු බවක් දැනුණා. නමුත් මම, මම විදිහටම ඇක්ට් කළ නිසා චරිතය සාර්ථකව කරගන්න ලැබුණ කියල මම විශ්වාස කරනව.
සෙව්මිණිගෙ විස්තර ටිකක් කියමු?
මගේ උපන්ගම මීරිගම. නමුත් දැන් පදිංචිවෙලා ඉන්නෙ කොළඹ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, නංගියි.
ඔබ මීරිගමින් කොළඹ එන්නෙ?
මම පාසල් කාලෙ මීරිගමින් කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයට එනව. ඒ 8 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා. ඒ හේතුව නිසයි කොළඹ එන්නෙ. උසස් පෙළින් පස්සෙ පෞද්ගලික බැංකුවක අවුරුද්දක් රැකියාව කළා. ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් රැකියාවෙන් ඉවත්වෙලා ඉන්න අතරතුර තමයි අවුරුදු කුමරි තරගයට අයැදුම් කරන්නෙ. ඒ තරගයම මගේ හැරවුම් ලක්‍ෂ්‍යය වෙලා රංගන ක්‍ෂේත්‍රයට යොමු වෙන්න අවස්ථාව ලැබෙනව. ඒ අවස්ථාව නොලැබෙන්න මම මේ වන විට ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න බොහෝ දුරට ඉඩ තිබුණා.
වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නද අදහස් කරන්නෙ?
ඔව්, එහෙම අදහසකින් තමයි ඉන්නෙ. නමුත් ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුවට අදාළ වැඩකටයුතු කරන ගමන් රංගන ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට එන්න අදහස් කරනව.
මුලින්ම කැමරාව ඉදිරියේදී දැනුණ හැඟීම මොන වගේද?
අලුත් අත්දැකීමක් නිසා පොඩි බයක් තිබුණ. ඒ වුණත් එයාලගෙ උපදෙස් එක්ක බය නැතිවෙලා මට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වුණා.
මිකී මොන වගේ චරිතයක්ද?
මිකී කියන්නෙ නිතරම තරහින් ඉන්න, උද්දච්ච, හැමෝටම නපුරුකම් කරන චරිතයක්.
සෙව්මිණි ටැටූවලට කැමතියි?
ඔව්, මම ටැටූවලට කැමතියි. නමුත් මේ ඉන්න ෆීල්ඩ් එක නිසා සහ ඉදිරියේදී ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුව නිසා ඒ ආසාව ටිකක් බ්‍රේක් වෙලා තියෙනව.
රඟපාන්න කැමති චරිතයක් තියෙනවද?
එහෙම විශේෂයක් නැහැ. මට ඕන එකම රාමුවකට කොටු වෙන්නෙ නැතිව චරිතාංග නිළියක් විදිහට ඉදිරියට යන්න.
මේ වන වට අධ්‍යාපන කටයුතු අවසන් වෙලාද?
මේ දවස්වල මම ගුවන් සේවිකාවන් වෙනුවෙන් තියෙන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් ඉන්නවා.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
පවුලේ අයගෙන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනව. ඔවුන්ගේ සහයෝගය නිසයි මට මේ ගමන යන්න පහසුවෙලා තියෙන්නෙ. එයාල මාව තේරුම් අරගෙන මේ ක්‍ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලබල දුන්න නිසා මගේ හීන, බලාපොරොත්තු ඉටුකරගන්න පුළුවන් වුණා කියල මම විශ්වාස කරනව.
සිනමාවට එන්න කැමැත්තක් ඇති?
සිනමාව ගැන ලොකු කැමැත්තක් තියෙනව. අපි බලමු ඉදිරියේදී ආරාධනයක් ලැබුණොත්.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. මගේ චරිතය සාර්ථකව කරගෙන යන්න ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයත් පිටිවහලක් වෙලා තියෙනව.
ගමේ යාළුවො කතා කරනවද?
ඔව්, ඔවුන් මගේ නාට්‍යය බලනව කියල කියනව. ඔවුන්ටත් සතුටුයි මම ඉන්න තැන ගැන.
රඟපෑම හදාරන්න අදහසක් නැද්ද?
රඟපෑම වගේම නර්තනයත් හදාරන්න කැමැත්තක් තියෙනව. ඉදිරියේදී ඒවාට යොමු වෙන්න අදහස් කරගෙන ඉන්නව.
පාසල් කාලයේදී මේ දේවල්වලට සම්බන්ධ වුණේ නැද්ද?
ඇත්තටම පාසල් කාලයේදී රංගනය, නර්තනය, ක්‍රීඩා හෝ වෙනත් කිසිම දේකට මම සහභාගි වුණේ නැහැ. එහෙම හිටපු මම තමයි අද මේ විදිහට රංගනයට යොමු වෙලා ඉන්නෙ.
ක්‍ෂේත්‍රයේ ඔබ කැමති රංගන ශිල්පීන් ශිල්පිනියන් මතක් කළොත්?
නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මියට සහ උදාරි වර්ණකුලසූරිය අක්කට මම ගොඩක් කැමතියි. ඒ වගේම රංගන ශිල්පීන්ගෙන් හේමාල් රණසිංහ අයියටත් කැමතියි.
මහේෂ් එදිරිසිංහ
