සල්ලිවලට ගත්තු සම්මාන ගෙදර තියාගන්න ලැජ්ජා නැද්ද? නිල්මිණි තෙන්නකෝන්

gossiplanka image 1
 


කලාවට සම්බන්ධ වූ දා සිට මේ වෙනතෙක්ම රඟ දැක්වූ සෑම චරිතයකින්ම රසික සිත් තුළ ආදරණීයව ලැගුම් ගන්නට ඇයට හැකි වී තිබේ. ඇය අපේ කලා කෙත අස්වද්දන හරි අපූරු චරිතාංග රංගවේදිනියකි. රංගන ශිල්පිනිය යන භූමිකාවට අමතරව ව්‍යාපාරිකාවක්, මවක්, නිවේදිකාවක් වැනි විවිධ භූමිකා ඔස්සේ අප හමුවන ඇය මේ දිනවල ඔබට වඩාත් සමීප වන්නේ “හිරු කුමරු ආදරය අරන් ඇවිල්ලා” ටෙලි නාට්‍ය  තුළින්ය. අද “හදගැස්ම” අපේ කතාබහ ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන් සමඟයි. මේ දිනවල ජීවිතය ගෙවෙන විධිය ගැන කතාබහ කරමින්ම අපි කතාබහ ආරම්භ කරමු?


මේ දිනවල ඉදිරියට එන්න තියෙන නිර්මාණ කිහිපයක රූගතකිරීම් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා මේ දිනවල ඒ කටයුතු එක්ක ටිකක් අවිවේකී කාලසීමාවක් තමයි ගත කරන්නෙ.


“හිරු කුමරු ආදරේ අරන් ඇවිත්” හි රංගනය ගැන කතා කරමුද?


“හිරු කුමරු ආදරේ අරන් ඇවිත්”හි චරිතය පුතාල තුන්දෙනෙක් ඉන්න සල්ලිකාර අම්ම කෙනෙක්. එයා වැඩිපුර ආදරය කරන්නෙ එක දරුවකුට විතරයි. එහිදී අනෙක් දරුවන්ගේ හිත් රිදෙනවා. නමුත් බාලයාට අම්මා ආදරය දෙන්න හැදුවට ඒ ආදරය භාර ගන්න පුතා කැමැති නැහැ. එතැන සැඟවුණු රහසක් තියෙනවා. ඒ රහසත් එක්ක පුතා අම්මට වෛර කරනවා. ඒ පුවතත් සමඟින් තමයි මේ කතාව ගොඩනැඟෙන්නෙ. ඉස්සරහට මේ කතාව මීට වඩා ලස්සන වෙයි. මේ චරිතයත් මම රඟපෑ අනෙක් චරිතවලට වඩා වෙනස්. අම්මගේ චරිත ගොඩක් කරල තිබුණට පුතාල තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතය කළ පළමු අවස්ථාව මේ.


මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ තෘප්තිමත්ද?


අම්මෝ ඔව්… ගොඩක් සතුටුයි. ජීවිතයට ලැබුණු කිසිම දෙයක් දුකක් කියලා හිතල නැහැ. ලැබෙන දේ සතුටින් භාර ගන්න ඕනෑ. හොඳ වුණත්, නරක වුණත්. නරක දෙයක් නම් අපිට ලැබුණේ එය හොඳ පැත්තට යොමු කර ගන්න ඕනෑ. මම ජීවිතයේ හැම දේම භාර ගන්නේ එහෙමයි. ලැබෙන්න තිබුණු දේ ලැබුණා සහ ලැබෙනවා කියල තමයි හිතන්නෙ.


ඇතැම් ප්‍රවීණයන් ඇයි මේ තරම් නවක පරපුරට දොස් කියන්නෙ?


වර්තමාන තරුණ පරපුර ගොඩාක් දේවල් පිළිබඳ විමසිල්ලෙන් ඉන්නේ. ඒ විමසිලිමත් බව නිසා එක විදිහට එකම දෙයක රැඳිලා සිටීමේ දුර්වලකමක් ඔවුන් තුළ තියෙනවා. ඒ වගේම එයාල අපි වගේ නොවෙයි නිතර ෆෝන් එකත් එක්ක තමයි ගනුදෙනු කරන්නෙ. මෑත වකවානුවේ මමත් ගොඩක්ම නවකයන් සමඟ වැඩ කළා. එහෙත් මට නම් එහෙම කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒ හැමෝම වගේ මට ආදරෙයි. දැනට ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙලා ඉන්න බොහෝ දෙනෙක් මමම යෝජනා කරපු අය. ඒ අය අද හොඳින් රඟපෑමේ නිරත වෙලා ඉන්නවා. ඒ ගැනත් මට සතුටුයි. ප්‍රවීණයන් විධියට අපිත් දැන ගන්න ඕන. ගරුත්වය ලබාගන්න.


නවක පරපුරෙන් නොදැනුවත්ව හෝ වරදක් වෙනවා නම් එය නිවැරැදි කළ යුත්තේ කොහොමද?


ඉස්සර අපි රඟපාන විටදී ප්‍රවීණ නවක කියලා නැහැ. හැමෝම කතා කරනවා. විහිළු තහළු කරනවා. එකමුතුයි. එදා එහෙම කරන්න වෙලාවක් තිබුණා. දැන් එහෙම වෙලාවක් නැහැ. දැන් විවේකයක් ලැබුණු ගමන් හැමෝගෙම අතේ ජංගම දුරකථනය. ඉතින් ඔවුන් ඉන්නේ ඔවුන්ගේ ලෝකවල. මේ ක්‍රියාවලියේදී එකිනෙකාට එකිනෙකා දැනෙන විධිය වෙනස් වෙනවා. ඒ වගේම සමහර අය පිටපත කියවන්නෙ නැහැ. අදාළ දෙබස් ටික ෆෝන් එකට ගෙන්වගෙන බලනවා මිසක්. ඊට කලින් දර්ශනයේදී මොකද වුණේ, ඊට පසුව මොකක්ද වෙන්නෙ කියලා කිසිම අවබෝධයක් නැහැ. ඉතින් පරණ අය වැඩ කරපු සිස්ටම් එකක් තිබෙනවා. ඒ සිස්ටම් එක අවුල් වීම තමයි නවක පරපුරට ඇතැම් ප්‍රවීණයන් දොස් කියන්න හේතුව විදිහට මම දකින්නෙ.


මේ විධියට ගියොත් මේ ක්ෂේත්‍රය ඉදිරියට යන්නෙ නැහැ කියලා දැනෙද්දි නම් වේදනාවක් ඇති වෙනවා.


අද කාලේ සම්මාන උළෙලක් ගැන මොනවද හිතන්නෙ?


එදා දැන් වගේ කූපන් දැම්මෙ නැහැ. අද තමන්ට මුදල් හදල් තියෙනවා නම් ජනප්‍රිය නිළිය, නළුවා වෙන්න ඒ තරම් අමාරු නැහැ. අපේ කාලේ එහෙම සිද්ධි වුණේ නැහැ. එහෙම සල්ලි දීලා සම්මාන අරගෙන ගෙදර තියාගන්න ලැජ්ජයිනේ. අර සම්මානය දකින දකින වෙලාවට මතක් වෙනවා නේ මම මේ සම්මානය ගත්තෙ සල්ලි දීලා කියලා. අනෙක ඉස්සර ජනප්‍රියම නිළිය, හොඳම නිළිය සම්මාන ගත්තම වැඩ ලැබෙනවා. දැන් එහෙම ගණන් ගන්නෙවත් නැහැ. සල්ලි නිසා සම්මාන හෑල්ලුවට ලක්වෙලා. මට නම් හිතෙන්නෙ අපේ රටේ තිබෙන සම්මාන උළෙලවල් ප්‍රමිතිගත කරන්න රජයෙන් කුමන හෝ වැඩපිළිවෙළක් යොදනවා නම් හොඳයි.


වර්තමානයේ තිරගත වෙන සිනමාපට සහ ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ අදහස?


වර්තමානයේ හොඳ තරුණ අධ්‍යක්ෂවරු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් ඉන්නවා. ඒ හරහා හොඳ නිර්මාණ බිහි වෙනවා. ඒ වගේම බිහි වෙමින් පවතිනවා. සිනමාව, වේදිකාව නම් හොඳ නිර්මාණ රැසකින්ම සමන්විතයි. ටෙලි නාට්‍යවලත් දීර්ඝ කාලීනව විකාශය වෙන ඒවා තුළ නම් ගුණාත්මක බවක් තියෙනවාද? යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. කොටස් හැටෙන්, සීයෙන් වගේ ඉවර වෙන නාට්‍යවල යම් ගුණාත්මක බවක් තිබෙනවා.


දුව රඟපාන්න එනවට අකැමැතිද?


දුව රංගනයට එනවට මම අකැමැති නැහැ. රඟපෑම තරම් උතුම් වෘත්තියක් තවත් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එයා කැමැති නැහැ. එයා ඉගෙන ගන්නවා. එයාට රඟපාන්න ගොඩාක් ආරාධනාත් ලැබුණා. එයා කියන්නේ අම්මගේ ඇඟේ තියෙන රිදම් එක මගේ ඇඟේ නැහැ. ඒ නිසා රඟපෑම මට ගැළපෙන්නෙ නැහැ කියලයි. එයා සංගීතයට හරිම කැමැතියි. අධ්‍යක්ෂණය, රඟපෑම, නිෂ්පාදනය ඒ දේවල් ගැන එයා ඉගෙන ගන්නවා. මගෙන් කිසිම බලපෑමක් නැහැ එයා කැමැති දෙයක් අනාගතයේ කරයි.


දුව කලාවට එක්වුණොත් එයාට දෙන හොඳම අවවාදය කුමක්ද?


මගේ දුවට විතරක් නෙවෙයි. මගේ දුවගෙ, වයසෙ ඉන්න හැම කෙනකුටම මම කියන්නෙ ජනප්‍රිය වෙන්න බලාගෙන නම් මේ ක්ෂේත්‍රයට එන්න එපා. කට්ට කාගෙන වැඩ කරන්න බලාගෙන එන්න කියලයි. හැබැයි එන්න කලින් හොඳින් කලාව ගැන ඉගෙනගන්න. රංගනය ගැන ඉගෙනගෙන එන්න. එහෙම නැතිව ඇවිත් කාගෙවත් රූකඩයක් වෙන්න එපා. හොඳ අවබෝධයෙන්, නුවණින් ඉන්න. එහෙම හිටියොත් කවදාවත් වරදින්නෙ නැහැ. හරියට ඉගෙන ගෙන සිහි නුවණින් හිටියොත් මේ තරම් හොඳ වෘත්තියක් තවත් නැහැ.


අනාගත බලාපොරොත්තු ගැන කතා කරලාම මේ කතාබහ අවසන් කරමු?


ඉදිරියේදී නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. දැන් ඉස්සර වගේ ගොඩක් නිර්මාණවලට යන්නෙ නැහැ. හොඳ චරිතයක් ආවොත් විතරයි රඟපාන්නෙ. නිතර නිතර විදේශගත වෙනවා දුව ඉන්න නිසා. ඒ නිසා වැඩිපුර නිර්මාණ භාරගන්නෙත් නැහැ.


අරුණි ජයසේකර

gossiplanka image 2
Previous Post Next Post