
කැළුම් ශ්‍රී කියන්නේ ලංකාවේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දවස්වල හැමෝගෙම අවධානය ගත්ත වෙනස්ම විධියේ කතා තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක් වන මාරක සර්කස්හි ප්‍රධාන චරිතය වන පවන්ට පණ පොවන්නේ ඔහු. ඔහු මේ ටෙලි නාට්‍යයේ පෙන්නුම් කරන දක්ෂ රංගනය නිසාම මෙවර හදගැස්මෙන් අපි ඔහුගේ අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට හිතුවා. මේ දවස්වල හැමෝම කතා වෙන පවන් ගැන කියලම ඉමු?
ජාතික රූපවාහිනියේ විකාශය වන මාරක සර්කස් ටෙලි නාට්‍යයේ මගේ චරිතය තමයි පවන්. නාට්‍ය පටන්ගන්නෙම පවන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව දවස් 100යි කියන එකත් කියන ගමන්. මනුස්සයෙක්ට තමන් මැරෙන දවස දැනගන්න ලැබුණොත් ඇති වන තත්ත්වයේ තමයි මේ වෙද්දි පවන් ඉන්නේ, ඉතිරි දවස් 100 මොන විධියටද ජීවත් වෙන්නේ කියන ගැටලුව පවන්ට තියෙනවා. එතැනදි වෙනදා හිටියා වගේම ඉන්නවාද, නැත්නම් වෙන මොනවාද කරන්නේ කියන ගැටලුව ගැන ඔහු කල්පනා කරනවා. ඇත්තටම පවන්ගේ චරිතය අපිට “මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය” කියන පිරුළ සිහිපත් කරවනවා. ඒ වගේම පවන්ගේ චරිතය ඇතුළේ රංගන ශිල්පියෙක් විධියට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒකත් විශේෂයි.
කොහොමද පවන්ට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඇත්තටම මැරෙන දවස දැනගන්න ලැබුණ මනුස්සයෙක්ගේ හැසිරීම, හැඟීම් ප්‍රකාශනය පවන්ගේ චරිතයේ වගේම වෙන්න ඇති කියලත් ප්‍රේක්ෂකයෝ අදහස් දක්වලා තිබුණා.
පවන් නියෝජනය කරන්නේ හැම පැත්තෙන්ම වගකීම්වලට කොටු වුණු අපේ රටේ සාමාන්‍ය තරුණ පරපුර. කැළුම්ට පවන්ව දැනුණේ කොහොමද?
මට දැනුණ විධියට පවන් කියන්නේ එක පැත්තකින්, මවුපියන්ගේ සහෝදරියන්ගේ වගකීම්, තව පැත්තකින් විවාහ වෙන්න බලාගෙන ඉන්න පෙම්වතිය, ඇගේ ගෙදර අය, තව පැත්තකින් රැකියාවේ වගකීම් මේ හැමදේකින්ම මිරිකෙන තරුණයෙක් විධියට. ඇත්තටම අපේ සමාජයේ එවැනි චරිත සුලබයි. ඒ අතරතුර කබලෙන් ළිපට වැටුණා වගේ ඔහුට තමන් ළඟදීම මැරෙන බවත් දැනගන්න ලැබෙනවා. එතැනදි පවන්ට තමන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව දවස් 100යි කියන මොහොතෙදි පවන් කියන චරිතයට දැනුණු අසරණකම මටත් ඒ විධියටම දැනුණා.
අද වෙද්දි ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මෙගාවලින් බැහැරව කෙටි නිර්මාණ දෙසට යොමු වෙලා. ඔබ මේ කාරණය දකින්නේ කොහොමද?
ඇත්තටම ඒක හොඳ ප්‍රවණතාවක්. මෙගා නාට්‍ය ඇතුළෙත් ආර්ට් එකක් තියෙනවා. නමුත් කතාව දිගට ඇදෙද්දි ප්‍රේක්ෂකයන්ට ඒ කතාවට තියෙන කුතුහලය, කතාව ඇතුළේ ඔවුන් බලාපොරොත්තු වෙන රස නැති වෙලා යනවා. නමුත් සීමිත කොටස් කිහිපයක් තියෙන නිර්මාණයකදී කතාවේ රස, කුතුහලය මුල සිටම අවසානය වෙනකම්ම රඳවා පවත්වාගන්න පුළුවන්. නමුත් කෙටි හෝ දීර්ඝ වුණු පමණින් අපිට නිර්මාණයක ගුණාත්මක බව මනින්න බැහැ. සමහර කෙටි නිර්මාණ තියෙනවා එතරම් ගුණාත්මක නොවන. ඒ වගේම සමහර දීර්ඝ නිර්මාණ තියෙනවා ගුණාත්මක. ඒක සාපේක්ෂයි.
බහුතරයක් කියන විධියට කලාකරුවට කලාවෙන් පමණක් යැපෙන්න බැහැ මේක ඇත්තද?
ගෙවීම් හොඳ වුණත්, ඒක එකිනෙකාට සාපේක්ෂයි. කරන ගෙවීම් ප්‍රමාණවත්ද නැද්ද කියන දේ ඒ ඒ අයගේ ජීවන රටාවන් මත තීරණය වෙනවා. නමුත් මම දකින විධියට ලංකාවේ නම් කලාකරුවෙක්ට අමතර ආදායමක් තියෙන එක හොඳයි. ලංකාවේ එහෙම වෙන්න හේතුව තමයි හොඳ නිර්මාණවලට මුදලක් වැය කරන්න මැළි වීම. වෙන රටවල නිර්මාණ පස්සේ සල්ලි ගියාට, අපේ රටේ සල්ලි පස්සේ නිර්මාණ යන එක සිදු වෙන්නේ.
අද රටේ ජනප්‍රියම නළුවෙක්, පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ මේකටද?
ඇත්තටම මට පුංචි කාලේ ඉඳන් මිනිස්සු මාව හඳුනගන්නවාට කැමැත්තක් තිබුණා. මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න, ඔවුන්ගේ ආදරය දිනාගන්න ආසාවක් තිබුණා. මොකක් හෝ හේතුවකට මට ඒ සඳහා මාර්ගය විවෘත වුණා.
ඔබේ ව්‍යාපාරය ගැනත් කියමු?
මම මගේ ක්ලෝතිංග් බ්‍රෑන්ඩ් එකක් කරගෙන යනවා. මේ වෙද්දි ඩෙමින්, ටී ෂර්ට්, ෂර්ට් වගේ ඒවා තමයි කරන්නේ.
තාත්තා කෙනෙක් විධියට කවදාහරි පුතාව නළුවෙක් කරන්න කැමැති නැද්ද?
ඇත්තටම මට එහෙම අදහසක් නැහැ. නමුත් එයාට හිතුණොත් නළුවෙක් වෙන්න ඕන කියලා මට ඒක ගැටලුවක් නැහැ. කවදාහරි පුතාට අවශ්‍ය මාර්ගය තෝරාගෙන ඒ මාර්ගයේ හරියට යන්න මගෙන් අවශ්‍ය සියලු සහාය මම ලබා දෙනවා. ඇත්තටම මම පෞද්ගලිකව පුතා රංගන ශිල්පියෙක් වෙනවා දකින්න කැමැත්තක් නැහැ.
අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?
අලුතෙන්ම ටෙලි නාට්‍යයක් කළා. ඒකෙ නම CID. එහි මම දායක වෙන්නේ මීට කලින් නොකරපු ආකාරයෙ චරිතයකට. කොටස් විස්සක් වගේ සීමිත කොටස් ප්‍රමාණයක් තියෙන ටෙලි නාට්‍යයක්. ඇත්තටම ඒක එළියට එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඊට අමතරව සමන් කුමාර ලියනගේ මහත්මයාගේ චංචල රේඛා කියන කෙටි ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් ආරම්භ වුණා. ඒකත් බොහොම ලස්සන නිර්මාණයක්.
අක්ෂි මාපා වීරසිංහ
