
ඔබ නළුවෙක්! නළුවා කියන කෙනා කොහොමද සුරන් අර්ථකථනය කරන්නේ?
මට දැනෙන්නෙ නළුවෙක් කියන්නෙ වීරයෙක් වෙන්න ඕනෑ. මිනිස්සුන්ගේ හිත්වල වීරයෙක් වෙන්න ඕනෑ. මැරුණත් හිත්වලින් නොමැරි පරම්පරා ගණනාවක් හදවත් ඇතුළේ ජීවත් වෙන්න ඕනෑ. අද හුඟාක් නළුවන්ගේ මම ඒ ගුණය දකින්නෙ නෑ. මම ආසා මම ප්‍රාර්ථනා කරන්නෙ මිනිසුන්ට දැනෙන සහ ඕනෑම මනෝභාවයක් සංසිද්ධියක් මිනිස්සුන්ට දනවන්න පුළුවන් නළුවෙක් වෙන්න දවසක සුරන් දසනායකටත් ලැබේවා කියලා.
මම ඔයාගෙන් මෙහෙම ඇහුවොත්... නළුවෙක් කියන්නෙ මිනිස්සුන්ගේ වීරයෙක් විතරද? මිනිස්සුන්ගේ ආදරවන්තයෙක් නෙවෙයිද?
වීරයෙක් කියන්නෙත් මට හිතෙන්නේ ආදරවන්තයෙක් තමයි. ඒ ආදරවන්තයාට පුළුවන් කිසිදු බෙදීමකින් කොන්දේසියකින් නිර්ණායකයකින් තොරව ඕනෑම කෙනෙක්ගේ හදවතේ ආදරවන්තයෙක් වෙන්න, වීරත්වයට පත්වෙන්න. ඒ විතරක්ද නෑ පරමාදර්ශී මුමුණන්නෙක් වෙන්න. වීරයකුට පුළුවන් හුඟාක් අයගේ ආධ්‍යාත්මික පෙම්වතා වෙන්න.
ලෝක සිනමාව හා අපි අපේ සිනමාව සංසන්දනය නොකර ඉමු. ඒත් අපේ සිනමාමය දුප්පත්කම ඔයාට දැනිලා තියෙනවද?
ඔව්. හුඟාක් දැනිලා තියෙනවා. මට මගේ සිනමා ජීවිතයේදී ලොකු වාසනාවක් ලැබුණා ඉන්දියාවේ සිනමා උළෙලවල් කිහිපයකටම යන්න. අරුණ ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ මා රඟපෑ මාරියා චිත්‍රපටය නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඒ සිනමා උළෙලවල්වලට ගියාම මට දැනුණා අපි ඉන්නෙ කොතැනද කියලා. මට දැනෙන දේ හුඟාක් විදේශීය සිනමා ක්ෂේත්‍රයන් තුළ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණයට අවංකයි ආදරෙයි. නළුවා නිළිය රංගනයට අවංකයි ආදරෙයි. කැමරා අධ්‍යක්ෂවරයා කැමරාවට අවංකයි ආදරෙයි. ඒ විදිහට හැම කෙනාම තමන්ගේ කාර්යයට අවංකයි ආදරෙයි. ඒත් අපේ හුඟාක් අය? අපේ අය තුළ සහ අපේ සිනමාවේ ඒ ආදරය හා අවංකත්වය දකින්න හරි අඩුයි. හුඟාක් වෙලාවට නැත්තටම නැති තරම්.
සුරන් මම දකින විදිහට ලංකාවේ කැමරාව ඉස්සරහ දෙබස් කියන එක රංගනය විදිහට දකින බොහෝ නළු නිළියන් අතරේ ඕනෑම චරිතයක් එක්ක හුස්මක් ගන්න පුළුවන්, රංගනයත් එක්ක ආත්මයෙන්ම දියවෙන්න පුළුවන් නළු නිළියන් ඉතාම ටික දෙනකුත් ඉන්නවා. ඒත් ඒ අයට ඒ විදිහට හුස්ම ගන්න, දියවෙන්න සිනමා නිර්මාණ, හොඳ ප්‍රස්තුත කේන්ද්‍ර කරගත් තිර පිටපත් නිමා වෙන්නෙම නැති තරම්. මොකක්ද ඔයාගේ උත්තරය?
උදාහරණයක් විදිහට මලයාලම් චිත්‍රපටයක්, දමිළ චිත්‍රපටයක් ගත්තම ඒ භාෂාව දන්නැති වුණත්, (ඇත්තටමනම් සිනමාවට භාෂාවක් ඕනෑ නෑ. සිනමාවට තියෙන්න ඕනෑ සිනමා භාෂාව විතරයි). අපි චිත්‍රපටයක් වැළඳගන්නේ හැඟීම්වලින්. භාෂාවක් දන්නැතුව, නළු නිළියන් කවුද දන්නැතුව අපි චිත්‍රපටයක් බාරගන්නවනම්, වැළඳගන්නවනම් ඒ හා හදවතින් කතා කරනවනම්, හදගැස්ම හා යා කරනවනම් ඒ ඇයි? තිර පිටපතේ, කැමරාකරණයේ, අධ්‍යක්ෂණයේ, රංගනයේ, වේෂ නිරූපණයේ, ප්‍රස්තුතයේ ප්‍රබලත්වය නිසා නොවෙයිද? අන්න එතැනදි අපි හුඟාක් අසමත් සහ අපි හිස්.
ලංකාවේ හුඟාක් නිෂ්පාදකවරු සරලවම කියනවනම් මෙලෝ රහක් නැති චිත්‍රපට වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරනවා. ඒත් ලෝක සිනමාවේ තත්ත්වය වෙනස්. නිෂ්පාදකවරුන් සවිඥානික නොවීමත් ලාංකික සිනමාවේ පිරිහීමට හේතුවක් වෙනවද?
එතැන අපේ රටේ සිනමාවේ හුඟාක් වැරදුණු තැනක්. අපේ රටේ සිනමාවේ සිනමා නිෂ්පාදකවරුන් එක චිත්‍රපටයකින් පසුව තවත් චිත්‍රපටයක් කරනවනම් ඒ සීයට එකක් විතරයි. ඒ අය සල්ලි යොදවන්නේ කොයිවගේ චිත්‍රපටයකටද කියලවත් හුඟාක් සිනමා නිෂ්පාදකවරුන්ට අවබෝධයක් නෑ. ඒත් සිනමා නිෂ්පාදකවරුන් රැකුණොත් තමා මේක කර්මාන්තයක් විදිහට රැකෙන්නෙ සහ ගොඩනැගෙන්නේ. සිනමා නිෂ්පාදකවරයාට දැනුමක් සහ වගකීමක් තියෙන්න ඕනෑ. අධ්‍යක්ෂවරයා ඇත්තටම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ කලාව දන්න අධ්‍යක්ෂවරයෙක්ද, නළු නිළියන් රඟපාන්න පුළුවන් අයද, කැමරා අධ්‍යක්ෂවරයාගේ ධාරිතාව මොකක්ද කියන එක ගැන.
තුට්ටු දෙකේ ඇතැම් සිනමා අධ්‍යක්ෂවරුන් ගැන සුරන්ට අත්දැකීම් තියෙනවද?
ඔව්... නම් ගම් නොකියා එක කතාවක් විතරක් කියන්නම්. ටෙලිනාට්‍යකවත් දැකලා නැති චිත්‍රපටයක රඟපාන්න ආව නළුවෙක් අන්තිමට අධ්‍යක්ෂවරයෙක් වුණා. ඒ අධ්‍යක්ෂවරයා ඩිරෙක්ටර් සීට් එකේ ඉඳන් ටික් ටොක් කරනවලු. ටික් ටොක් අධ්‍යක්ෂවරුන්ගෙන් මොකක්ද සිනමාවට වෙන සේවය?
සිනමා අධ්‍යක්ෂවරුන් විසින් සිනමා නිෂ්පාදකවරුන් වංචනික ලෙස සූක්ෂම ලෙස සූරාගෙන කෑම සහ සිනමා නිෂ්පාදකවරුන්ට ක්ෂේත්‍රයේ ලැබිය යුතු ගෞරවය ලබා නොදීම ඔබ දකින්නෙ කොහොමද?
නිෂපාදකවරයකුටත් වගකීමක් තියෙනවා තමන් යම් දෙයකට මුදලක් යොදවනවනම් ඒ ගැන සොයා බලන්න. කාටද සල්ලි දෙන්නෙ, කීයක් යනවද කියලා බලන්න. සමහර අධ්‍යක්ෂවරු චිත්‍රපට නිර්මාණය මාෆියාවක් කරගෙන. නිෂ්පාදන වියදම කියන්නෙ තමන්ට ගාණක් තියාගෙන. ඇත්තටම මේවා සිදුවෙන දේවල්. මේ ඔක්කොම අස්සෙ සිනමාවට ඇත්තටම ආදරය කරන පිරිසක් සුබවාදී නිර්මාණශීලී අපූරු සිනමාවක් වෙනුවෙන් හීන දකිනවා.
තිර රචනය සහ අධ්‍යක්ෂණය බහුතරයක් ලාංකික චිත්‍රපටකරණයේදී දුර්වල වීමට මම දකින හේතුවක් තමා ‘දැනීම’ (සෙන්ස් එක) නැති එක. සමාජය දැනෙන්නේ ජීවිතය පහුරුගාන මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ හැඟීම් දැනෙන්නේ ජීවිතය පහුරුගාන මිනිස්සුන්ට. අනිත් එක සිනමාව කියන්නේ ව්‍යාපාරයක් විතරක් නෙවෙයි, සිනමාමය රසයට ව්‍යාපාරික ඥානය ඇති පදම් මුහුකරන එකට.
මම දකින දේ තමා හුඟාක් අය සිනමාව ව්‍යාපාරයක් විතරක් කරගෙන තියෙනවා. සමහරු ඉන්නවා චිත්‍රපටයට යන්නෙ කෝටි දෙකනම් නිෂ්පාදකවරයාට කියන්නේ නිෂ්පාදන වියදම කෝටි දෙකහමාරක් කියලා. මේක හරි කැත ව්‍යාපාරයක් කරගෙන තියෙන්නෙ. අපි මොන දේ කළත් අවංකව ආසාවෙන් ඒ වැඩේ කරන්න බැරිනම් ඒ වැඩේ අවුල්. ඒ වැඩේ අසමත්. ඒ වගේම Team work එකක් හරියට කරන්න බැරිනම් අපි අසමත්. අපේ රටේ හොඳ නිර්මාණ බිහිවුණා. එක උදාහරණයක් කියනවනම් පුරහඳ කළුවර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම සර්ගේ රඟපෑම.
එහෙව් නළුවන් කියපු ගමන් මේ මොහොතේ ඔබට මතක්වෙන ලංකාවේ නළුවන් කිහිපදෙනෙක්ගේ නම් මට කියන්න?
ජෝ අබේවික්‍රම සර්, ප්‍රියන්ත සිරිකුමාර සහ ශ්‍යාම් ප්‍රනාන්දු.
සුරන් ඔබ නළුවෙක් වග ඔබට දැනෙනවද?
නෑ. ඇත්තටම නෑ. අවංකවම නෑ. මම තාම නළුවෙක් කියලා මට හිතෙන්නෙවත් දැනෙන්නෙවත් නෑ.
ඇයි එහෙම කියන්නෙ?
නළුවෙක් කියන්නේ හරි ගැඹුරක් තියෙන කෙනෙක්. ඕනෑම දෙයක්, ඕනෑම මනෝභාවයක්, ඕනෑම සමාජ සංසිද්ධියක් සවිඥානිකව තේරුම්ගන්න පුළුවන් කෙනෙක්. ඕනෑම මනුස්ස හැඟීමක්, ඕනෑම මනුස්ස ජීවිතයක් පහුරු ගාන්න කියවන්න පුළුවන් කෙනෙක්. හොඳ ගවේෂකයෙක්. හොඳ සොයා යන්නෙක්. කොන්දේසි විරහිතව ඕනෑම චරිතයක් අස්සට රිංගන්න පුළුවන් කෙනෙක්. මට ඒ ගැඹුරට යන්න තාම ඉගෙනගන්න බැරි වුණා. ඒ තරම් ‘සෙන්ස්’ එකක් මට තාම නෑ කියලා මට හිතෙනවා.
• සංජීවිකා සමරතුංග
