
2024 වසරේ Future Top Models by ThrikalaDharani තරගයෙන් ජයග්‍රාහකයා වුණේ ඔහුයි. මේ දිනවල විකාශය වන ‘සිනාවේ කතාවේ‘ ටෙලි නාට්‍යයේ ‘නිවේන්’ගේ චරිතයෙන් ඔබ හමුවන්නේද මේ අපූරු පොඩිත්තායි. නමින් බුසද බෝමෙත් වන මේ ළමා රංගන ශිල්පියා සමඟ රසඳුන කළ පිළිසඳරයි මේ.
මේ දවස්වල බුසදගේ වැඩකටයුතු කොහොමද?
ඉස්කෝලේ වැඩ කටයුතු වගේම ‘සිනාවේ කතාවේ‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා.
බුසදගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්නකෝ?
දැන් මගෙ වයස අවුරුදු හතයි. මං ඉන්නේ ගොඩගම. Linfileld International College එකේ දෙක වසරේ ඉගෙන ගන්නවා. ඉස්කෝලෙනුත් මගේ මේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.
බුසද රඟපාන්න පටන් ගත්තේ කොහොමද ?
මගේ අයියත් රඟපෑෙම් යෙදෙනවා. ඒ හරහා තමයි මටත් රඟපාන්න අවස්ථාව ලැබුණේ. මම රඟපාන්න පටන් අරන් මේ වෙනකොට අවුරුදු දෙකක් විතර වෙනවා. මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ ඉන්ෂුවරන්ස් කොම්පැනියක වෙෙළඳ දැන්වීමකට.
මේ වෙද්දි ඔයා කරලා තියෙන ටෙලි නිර්මාණ ගැන අපට කියන්නකෝ?
හිරු නාළිකාවේ ටෙලි සිනමා සිත්තම් කීපයකට සම්බන්ධ වුණා. ඒ තමයි ‘සියපතකි සෙනෙහස‘, ‘දියඹෙන් හසුනක්‘, ‘අමිල වත්කම්‘,‘අකාලික එළියක්‘, ‘සංවේදනා’ කියන ඒකාංගික නාට්‍යවලට දායක වෙලා තියෙනවා. මේ දවස්වල තිරගත වෙන ‘සූර්යා’ චිත්‍රපටයේ පුංචි කොටසක් මටත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මම තමයි ඒ චිත්‍රපටයේ ඉන්න එකම ළමයා.
ප්‍රේක්ෂකයෝ බුසද ගැන හොඳටම දැන හඳුනා ගත්තේ කුමන නාට්‍යයෙන්ද ?
දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිනාවේ කතාවේ‘ ළමා ටෙලිනාට්‍යයේ නිවේන්ගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ටෙලි නාට්‍යවලට අමතරව ඔයා සම්බන්ධ වුණු වෙෙළඳ දැන්වීම් ගැන මතක් කරමු.
වෙෙළඳ දැන්වීම්වල රඟපෑමට අමතරව මම වෙෙළඳ දැන්වීම් හඬ කැවීමත් සිදු කරනවා. මේ වෙද්දි වෙෙළඳ සන්නාම ගණනාවක් එක්ක වැඩ කරලා තියෙනවා.
බුසදගේ පවුලේ කවුද ඉන්නේ ?
අම්මයි, තාත්තයි, අයියයි, මමයි. මගෙ අම්මා තමා මාව රූගත කිරීම් වලට එක්ක යන්නේ. ගෙදර හැමෝම මට රංගන වැඩවලට ගොඩක් උදවු කරනවා.
රඟපානකොට ඔයාට හරි හරි වැඩත් වෙලා ඇති නේද ?
අපොයි… ඔව්. දැන් රූගත කරන ‘සිනාවේ කතාවේ‘ නාට්‍යයේ දී යාළුවෝ මාව ගැහැනු ළමයෙක් විදියට අන්දනවා. ඒ ගවුමත් පෝර බෑග් ගවුමක්. ඔළුවේ මල් ගහලා, තව මට ලිප්ස්ටික් එහෙමත් ගාලා තමයි යාළුවෝ මේ වැඩේ කරන්නේ. මෙහෙම ඇඳගෙන කෑ ගහගෙන නියරක් උඩ දුවන්න තමා මට තියෙන්නේ. කොහොම හරි එක සැරයක් දුවනකොට මාව වැටුණා.
ඒක මට අමතක වෙන්නේ නැති මතක් වෙද්දි හිනා යන අවස්ථාවක්. මොකද මට ගෑනු ළමයෙක්ට අඳින්න වුණානේ. තාම ඒ කොටස විකාශය වුණේ නෑ.
ඉස්සරහට රඟපාන්න ආස විදියේ චරිත තියෙනවද බුසද ?
සම්බන්ධ වුණු හැම නිර්මාණයකම මට රඟපාන්න ලැබුණේ දුප්පත් පවුලක, අහිංසක, අසරණ ළමයගේ චරිතය. මං ආසයි හාමුදුරුවෝ කෙනෙක්ගේ චරිතයක් කරන්න ලැබෙනවා නම්.
ඔයා කැමතිම විෂයය මොකක්ද ? විනෝදාංශ එහෙමත් තියෙනවද ?
ගණිතය තමයි කැමතිම විෂය. විනෝදාංශ විදියට කරන්නේ චිත්‍ර අඳින එක. ඊට අමතරව හඬ කවනවා.
අනාගත බලාපොරොත්තු ?
හොඳට ඉගෙන ගෙන නීතිඥයෙක් වෙලා රඟපෑමත් දිගටම කරගෙන යන්න තමයි කැමති.
බුසදට ස්තුති කරන්න ඉන්න පිරිස ගැනත් කියමු.
මගෙ අම්මයි, තාත්තයි, අයියයි, අධ්‍යක්ෂක මයුර කාරියවසම් මාමා, සසංකා දිල්ශානි නැන්දා, ප්‍රගීත් මලින්ද, ධනුෂ්ක රත්නායක මාමලාට වගේම මට අවස්ථාව ලබා දීලා උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
