
මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සද්ධා මංගල සූරියබණ්ඩාර තිර රචනා කරන, ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ජහුටා නිර්මාණය තුළින් යළි දුශේනි මියුරංගි ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්. කෙටි කලක් නිර්මාණ තුළින් දකින්නට නොලැබුණ දුශේනි ‘ජහුටා‘ හි සමාධි ලෙස ප්‍රේක්ෂකයින් අතරට එන නිසා අපි දුශේනි මියුරංගි සමඟ කතාකළා.
ජහුටා නිර්මාණය ගැන මුලින්ම කතා කළොත්?
ජහුටා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. මෙහි තිර රචනාව කරන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාර. ඒ එක්කම මේ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ චේතනි විජේතුංග සහ ජේ. එම්. එස් ප්‍රඩක්ෂන්. විශේෂයෙන්ම සිවා අයියා, සද්ධා අයියා සහ චේතනි අක්කා කියන්නේ මට සමීප අය. ඉතින් ඒ අය එක්ක වැඩ කරන එක අලුත් දෙයක් නෙවෙයි. මට ජහුටා නිර්මාණයේ සමාධි කියන චරිතය දුන්නම මට දැනුණේ හරිම ආදරණීය චරිතයක් විදියට. හැබැයි මතුපිටින් එහෙම දැනුණාට ගැඹුරින් බලද්දී ලොකු ගැඹුරක් තියෙන චරිතයක්. මට මෙවැනි චරිතයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මගේ ගැන තිබුණු ආන්දෝලනාත්මක ගැටලුකාරී තත්ත්වයන් එක්ක නැවත මාව නිර්මාණයකට සම්බන්ධ කර ගැනීම ගැන.
සිවා – සද්ධා සුසංයෝගයෙන් හැදෙන නිර්මාණවල ඔබට නිසි ඉඩ ලැබෙනවා කියන විශ්වාසයත් තියෙනවා නේද?
අනිවාර්යෙන්ම. මම ඒ දෙන්නා එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. සද්ධා අයියාගේ තිර රචනය සහ සිවා අයියාගේ අධ්‍යක්ෂණය දැන් මට තේරෙනවා. ඒ නිසා මට පහසුයි වැඩ කරන්න. ඒ නිසා චරිතේ නිරූපණය කරන්න අවශ්‍ය ඉඩකඩ මට ලැබෙනවා කියන විශ්වාසය මට තියෙනවා.
සමාධි වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
සමාධි වෙන්න ලැබීම ගැන සංතෝෂයි. මොකද මේ චරිතය ප්‍රායෝගිකව අපිට අත්දකින්න තියෙන චරිතයක්. විශේෂයෙන්ම ඉස්සරට මෙවැනි චරිත හැම ගෙදරකම වගේ ජීවත් වෙන්න පුළුවන්. මේ තුළ තියෙන්නේ ප්‍රායෝගික දේවල්. ඒ වගේම සමාධි කියන චරිතේ මතුපිටින් පේන දේට වඩා ඇතුළාන්තයෙන් යම්කිසි දෙයක් හිතනවා. එයා බාහිරින් හරිම සෞම්‍ය චරිතයක්. නමුත් ඇතුළාන්තයෙන් හරි හයිය ශක්තිමත් කාන්තාවක්. ඒ දේවල් එක්ක සමාධි මට විශේෂයි. මේ චරිතේ පටන් ගන්නේ මම විවාහක කාන්තාවක් කියන තැනින්. ඒකත් එක්ක මෝරපු ස්වරූපයකුත් තියෙනවා. ඒ හැම දේ එක්කම මම කැමතිම චරිතයක්.
‘පාර දිගේ‘ හරහා උද්දික – දුශේනි (රෙහාන් – සරණි) ට ලොකු ආදරයක් ඇති වුණා. දැන් ‘ජහුටා‘ හරහා එන්නේ අකිල – දුශේනි (විශ්ව – සමාධි), මේ එකතුව ගැනත් කතා කළොත්?
අකිල කියන්නේ ජැක්සන් ඇන්තනි මහතාගේ ලොකු පුතා. එහෙම කියලා කිසිම ලොකු කමක් නැති ඇත්තටම දක්ෂයෙක්. එයා එක්ක විශ්ව – සමාධි සුසංයෝගය හදා ගන්න එක අලුත්ම දෙයක්. මිනිස්සු අදටත් රෙහාන් – සරණිට ආදරෙයි. ඒ ආදරේ විශේෂයි. ඒ විශේෂත්වය එක්ක අදටත් ඒ චරිත එක්ක ජීවත් වෙන අය ඉන්නවා. දැන් මේ විශ්ව – සමාධි සුසංයෝගය අලුත්. මේ අලුතට ටික කාලයක් දෙන්න වෙනවා. සද්ධා අයියමයි මේ ආදර කතාව ලියන්නේ. ඒ වගේම සිවා අයියා දන්නවා ආදරේ කොහොමද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. එයාට ඒකට වෙනම උපාධියක් තියෙනවා වගේ. ඒ නිසා විශ්ව – සමාධි සුසංයෝගයටත් මිනිස්සු ආදරේ කරයි, ඒ ආදරේ පිළිගනියි. මේ ආදරෙත් නැතුවම බැරි ආදරයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මේ කාලයේ ජහුටා නිර්මාණය පමණද කරන්නේ?
නැහැ. තව කෙටි එපිසෝඩ් ප්‍රමාණයක නිර්මාණයක් භාර ගත්තා. ජැෆ්නාදරය තමයි නාට්‍යය. ඒක රංග ප්‍රේමරත්නගේ අලුත්ම අධ්‍යක්ෂණය. අරුණ ප්‍රේමරත්න තමයි එහි තිර රචනය කරන්නේ. ප්‍රිසිලා ගොඩහේවා නිෂ්පාදනය කරන්නේ. මේ කතාව ගොඩනඟන්නෙත් ඇය ලියූ ජැෆ්නාදරය පොත හරහාමයි. ඒක වෙනම ශානරයක නිර්මාණයක්. එහි රූගත කිරීම් කරන්න තියෙනවා. හරි ආසාවෙන් ඉන්නවා ඒ නිර්මාණය හරහාත් ප්‍රේක්ෂකයන් අතරට එන්න.
සිනමාව ගැන කතා කළොත්
මේ වෙද්දී සිනමා නිර්මාණ තුනක් කරලා තියෙනවා. ඉන් දෙකක් තිරගත වුණා. ‘සිංහබාහු‘ සහ ‘සිහින නෙළුම් මල්‘ තමයි ඒ නිර්මාණ දෙක. ‘සිංහබාහු‘ කියන්නේ මෙවර ලක්ස් සම්මාන උලෙළේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය. ‘සිහින නෙළුම් මල්‘ වෙනුවෙන් සරසවි සම්මාන උලෙළේ දී මම හොඳම නිළියට නිර්දේශ වුණා. මම කරපු නිර්මාණ වෙනුවෙන් කළ කැපකිරීමට ඒ විදියට වටිනාකමක් ලැබුණු එක ගැන බොහෝම සංතෝෂයි.
පටන් ගත්ත වෙලාවෙත් කිව්වා ආන්දෝලනාත්මක ගැටලුකාරී තත්ත්වයන් එක්ක නැවත නිර්මාණයකට සම්බන්ධ කරගැනීම ගැන, හැබැයි දුශේනිව ප්‍රේක්ෂකයන් අතහැරියේ නැහැ නේද?
ඒක මම හිතන්නේ බොහොම කලාතුරකින් ලැබෙන ආදරයක්. මටත් හිතාගන්න බැරි වුණා. මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොටත් ඒ අය මාව ඉල්ලුවා. ඒ කියන්නේ මාව පෙනුණාම විතරක් නෙවෙයි මට ආදරේ කරන්නේ. මම එයාලගේ හදවතේ ඉන්නවා. ඒක නිසාම මම හිතුවේ ටෙලි නිර්මාණයකින් නැවත එන්න. ටෙලි නිර්මාණ තමයි මිනිසුන්ගේ ගෙදරට එන්නේ. ඒ ආදරේ බොහොම වාසනාවක්. මට තියෙන ලොකුම ධනය ප්‍රේක්ෂකයන්.
සමාජ මාධ්‍යවල දක්වන ප්‍රතිචාර බලනවද?
ඔව්.. මම ඒ දේවල් බලනවා. දැන් නම් මම කරන චරිත ගැන නරකක් නොකියන තරම්. හැබැයි මම කැමතියි මගේ අඩුපාඩුත් පෙන්වලා දෙනවට.
සමාධි නම් මග දාලා යන්න එපා කියලා තිබුණා, දකින්නත් ඇති ඒ ප්‍රතිචාර. මොන වගේ උත්තරයක් ද දෙන්නේ
පළමුවැනි දේ තමයි මම නිර්මාණය දාලා ගියේ නැහැ. යම්කිසි හේතු කාරණා නිසා ඒ දේ ඒ විදියට සිද්ධ වුණා. මගේ ප්‍රේක්ෂකයින්ට වුණු අසාධාරණයට මම සමාව ඉල්ලනවා. ජහුටා නිර්මාණය තුළින් සමාධි ලෙස දුශේනිව අහිමි වෙන්නේ නැහැ. ඒ වගකීම මම ගන්නවා..
