
පුංචි තිරයේ අහිංසකාවිය විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු ටනාශා හතරසිංහ මේ වෙද්දි දුෂ්ට නපුරු චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් සිටිනවා. එලෙස රංගන ජීවිතයේ වෙනස් පියවරක් තැබීම ගැන සහ ටනාශාගේ අලුත් විස්තර ගැන දැනගන්න ඇයත් එක්ක කතා කරන්න අපි හිතුවා.
ටනාශාගේ රංගන කටයුතු මේ දවස්වල කොහොමද වෙන්නෙ?
Tv දෙරණ නාලිකාවෙ විකාශය වන "හිතාගන්නම බැරි කතාවේ" ගෞරි වෙලා නපුරු ප්‍රහසන ආකාරයේ රංගනයක් මේ දවස්වල ඉදිරිපත් කරන ගමනුයි ඉන්නෙ. සැබෑ ජීවිතයේදි මම සරලව අහිංසකව ජීවිතය ගතකරන නිසා නිර්මාණකරුවො ඒ මිම්මෙන් මගේ රංගන හැකියාව මැනීමත් සමග රංගනයේදී අහිසංක චරිතවලට කාලයක් තිස්සෙ කොටුවෙලා ඉන්නවුණා. නමුත් දැන් මම විවිධ චරිත රඟපාන චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යනගමනුයි ඉන්නෙ. සමාජයේ ජීවත්වන විවිධ පුද්ගලයන් ගැන සහ රංගනය ගැන අධ්‍යයනය කරලා සෑම රංග පරාසයකම චරිත රඟපාන්න පුළුවන් විදිහට රංගන හැකියාවක් ගොඩනගාගෙන නිර්මාණ සඳහා උපරිම සාධාරණය මම ඉෂ්ට කරනවා. මම අහිංසක චරිත රඟපාපු කාලෙට වැඩිය නපුරු චරිත රඟපානකොට ප්‍රේක්ෂකයොත් මගේ රංගන හැකියාව අගය කරලා නිතරම හොඳ ප්‍රතිචාර ලබාදෙනවා.
රංගනය වෙනුවෙන් සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට සැමියයි එයාගේ පවුලෙ අයයි ගොඩක් කැමැතියි. අහිංසක චරිතවලට කොටුවෙලා ඉඳලා වෙනස් විදිහෙ චරිත රඟපාන්න පටන්අරන් රංගන ජීවිතයේ පියවරක් ඉදිරියට තියනකොට සැමියයි එයාගේ පවුලෙ අයයි මාව ගොඩක් අගය කරලා දිරිමත් කළා. රංගන වෘත්තිය ගැන සැමියයි එයාගේ පවුලෙ අයයි තේරුම් අරගෙන තියන නිසා මට කොන්දේසි මුකුත් දාන්නෙ නැතුව මගේ පාඩුවෙ නිදහසේ රංගන කටයුතු කරන්න ඉඩදීලා තියනවා.
ටනාශා දැන් නිරූපණ වෘත්තිය අමතක කරලද?
ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය නිසි ප්‍රමිතියකට තියන කාලයේදි මම ජාතික සහ ජාත්‍යන්තර නිරූපණ තරගවල තරගවැදිලා ශ්‍රී ලාංකීය නාමය බබළවන්න උත්සාහ කළා. නමුත් වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රයේ තත්ත්වය ගැන මට ඒ තරම් පැහැදීමක් නැති නිසා නිරූපණයෙන් ඈත්වෙලා රංගන කටයුතු වෙනුවෙන් මම කාලය වෙන්කළා.
නිරූපණ ක්ෂේත්‍රයේ ඉඳලා රංගන ක්ෂේත්‍රයට ආපු අත්දැකීම කොහොමද ?
මගේ පෙනුම, උස සහ හැකියාව මත රංගන ක්ෂේත්‍රයට එන්න මට අවස්ථාව ලැබුණා. රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙම ක්ෂේත්‍රය ගැන සහ ක්ෂේත්‍රයේ කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් මට ලැබුණා. සමහරු කියනවා ප්‍රවීණයො එක්ක අලුත් අයට රංගන ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න අමාරුයි සහ ප්‍රධාන චරිත ලබාගන්න නම් අයුතු යෝජනාවලට අවනත වෙන්න ඕන කියලා. නමුත් ක්ෂේත්‍රයට ආපුදා ඉඳලා ප්‍රවීණයෙක්ගෙන්වත් සමකාලීනයෙක්ගෙන්වත් මට කිසිම අභියෝගයක් එල්ලවුණේ නැහැ. චරිත ලබාදෙනවා කියලා කිසිම අයුතු යෝජනාවක් මට මේ වෙනකන් ක්ෂේත්‍රයේ කාගෙවන්වත් ඇවිත් නැහැ. නිදහස්ව සුන්දරව නිර්මාණශීලීව කටයුතු කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් විදිහටයි මම රංගන ක්ෂේත්‍රය දකින්නෙ.
හැඩකාර සිහින් සිරුරක් තිබෙන රංගන ශිල්පිනියක් විදිහට ටනාශාව රසිකයො අතර ප්‍රසිද්ධයි...
ඔව්. උස සිහින් සිරුරක් තියන නිසා රසිකයො ගොඩක් දෙනෙක් මගේ ඇඟ ලස්සනයි කියලා කියනවා. උපතින් ස්වභාවිකව සිහින් විදිහට මට හිමිවුණ ඇඟ කැතවෙන්න දෙන්නෙ නැතුව දිගටම ලස්සනට සිහින්ව තියාගන්න මම ව්‍යායාම කරනවා. ඒ වෙනුවෙන් ගෙදරම මම පොඩි ජිම් එකක් හදාගෙන නිදහස් වෙලාවට ව්‍යායාමවල නිරතවෙනවා. හැබැයි මේ දවස්වල රංගන කටයුතු එක්ක ව්‍යායාම කරන්න කාලය නැති නිසා ඇඟ ටිකක් මහත්වෙලා තියනවා. බිරිඳක් සහ මවක් වුණහම සමහර කාන්තාවො රූපය සහ ඇඟ ගැන හිතන්නෙ නැති අවස්ථා මම දකිනවා. නමුත් තමන්ට සහ පවුලට ආඩම්බරයක් සතුටක් දැනෙන විදිහට තමන්ව නඩත්තු කිරීම කළ යුතුයි කියන අදහසේ මම ඉන්නවා.
නිදහස් වෙලාවට ජීවිතය ගෙවන්න කැමැති මොන විදිහටද ?
රඟපෑම ඇරුණහම ජීවිතයේ මම කැමැතිම දේ පවුලෙ වැඩකටයුතු කරගෙන ගෘහණියක් විදිහට කටයුතු කිරීම. රංගන කටයුතු නැති හැම අවස්ථාවකදිම උයලා පිහලා ගෙවල් අස් කරලා පිළිවෙළට පිරිසුදුව තියාගැනීම මම කරනවා.
ටනාශා මේ දවස්වල ලොකු අම්මා කෙනෙක්වෙලා දරු සුරතල් බලනවා කියලා ආරංචියි?
ඔව්. මගේ චූටි නංගි අම්මා කෙනෙක් වුණා. ඒත් එක්ක මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා.
ටනාශගේම දරුවෙක්ව සුරතල් කරන්නෙ කවදද?
සැමියත් මමත් දැන්මම දරුවෙක් හදන්න සූදානම් නැහැ. දරුවෙක් හදනවානම් දරුවා වෙනුවෙන් කාලය සහ අවධානය සම්පූර්ණයෙන් ලබාදෙන්න ඕන. එවැනි වාතාවරණයක් නැතුව දරුවෙක් ලෝකෙට ගේන එක දරුවෙක්ට කරන අසාධාරණයක් විදිහටයි මම දකින්නෙ. ඒ නිසා අපේ කාර්යබහුල ජීවිතයේ වැඩකටයුතු අඩු කරගෙන තව අවුරුදු තුනකින් විතර දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා.
