
අඬන හිනැහෙන කතා කරන තරු ඇස්වල හිමිකාර අරුන්දතිය සති අග අරුණ පිනිපලස හරි අපූරුවට හැඩ කළා. ඒ රසවත් විරාමයේදී ඇයට ආදරේ කරන ඔබ වෙනුවෙන් නොදත් විස්තර ගොඩක් අරන් එන්න අපි අමතක කළේ නැහැ. ඉතින් මේ සහෘද පිළිසඳර පුංචි තිරයේ අහිංසකාවිය සචින්ත්‍යා අරුන්දතී සමග..
ඉතින් සචින්ත්‍යා කොහොමද මේ දවස්වල ජීවිතේ?
පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක් වෙනුවෙන් මේ දවස්වල මං ඉතාම කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ හීනේ ඉටුවෙන ගමන්, හැබෑ කරගන්න ගමන් තියෙන්නෙ. ඉතින් ඒ ගැන විස්තර ඉදිරියේදී මං කියන්නම්.
මේ දවස්වල මායාවී' ටෙලිනාට්‍යයේ මන්දෝදරී කියන චරිතය කොහොමද සචින්ත්‍යාට දැනෙන්නේ?
ඇත්තටම මන්දෝදරී කියන්නෙ මං කලින් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්, අඩුම තරමේ ඒ වගේ චරිතයක් ගැන සමාජ අත්දැකීමක්වත් මට තිබුණෙ නැහැ. ඒත් ඒ වගේ දෙමව්පියන්ගෙන් ඈත්වෙලා තනියම ඉන්න සිද්ධවුණ, මානසික අවපීඩනයෙන් පීඩා විඳිමින් ඉගෙනගන්න අහිංසක හිත් මේ මහ පොළවේ ඉන්නවා නේද කියල මට හිතුණා, ඒ වගේම එහෙම අය ගැන පුදුම විදියට මට දුක හිතුණා. ඇත්තටම මන්දෝදරී කියන්නෙ හරි ඉක්මනින් හැඟීම් වෙනස් වෙන හරිම සංකීර්ණ චරිතයක්. ඉතින් ඒ චරිතය මට කරන්න පුළුවන් වේවිද කියල සමහරු සැක කරද්දි පවා මායාවී තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහතා මාව විශ්වාස කරල මට මන්දෝදරී වෙන්න දුන්නා. ඉතින් මං ඒ විශ්වාසය මගේ උපරිමයෙන් රකින්න නිතරම උත්සාහ කරනවා.
සචින්ත්‍යාගෙ පවුලෙ තොරතුරු දැනගන්න බොහෝදෙනා කැමැතියි?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, අප්පච්චියි, මල්ලියි, මමයි. අම්මා ගුරුවරියක්, අප්පච්චි විශ්‍රාමිකයි. මල්ලි ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ විද්‍යාර්ථයෙක්.
අපි සචින්ත්‍යාගෙ පාසල් කාලයත් මතක් කරමු නේද?
මගේ ඉස්කෝලේ මතක් කරන්නම ඕනි, මොකද අද මං මේ ඉන්න තැනට එන්න මගේ පාසල මට ලොකු ශක්තියක්, පන්නරයක් වුණා. ක්ෂේත්‍රයක ඉස්සරහට යන්නේ කොහොමද ක්ෂේත්‍රයක රැඳී ඉන්නේ කොහොමද කියන එක මම මුලින්ම ඉගෙන ගත්තේ මගේ පාසලෙන්. ඉතින් මගේ පාසල මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය මං ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම පාසලෙන් පස්සේ මම උසස් අධ්‍යාපනය ලබපු ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයත් මං මේ වෙලාවේදි ඉතාම ගෞරවයෙන් මතක් කරනවා, මොකද මගේ ගමනට යෝධ ශක්තියක් වුණේ මගේ පාසල සහ විශ්වවිද්‍යාලය.
සචින්ත්‍යා නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක්ද?
ඇත්තටම ඔව්. මට මතක විදිහට, මං පුංචිම කාලේ ඉඳන් තිබුණ හීනයක් තමයි කවදමහරි දවසක නිළියක් වෙනවා කියන එක. අවුරුදු පහේ හයේ විතර ඉඳන් තිබුණු හීනයක් ඒක. ඉතින් ඒ නිසාම පාසලේදී වේදිකා නාට්‍ය මම ම ලියලා මගේ යාළුවොත් එක්ක එකතු වෙලා රඟපාලා තියෙනවා, ඒ වගේම නාට්‍ය හා රංග කලාව විෂයක් විදියටත් හැදෑරුවා පාසලේදී. මං හිතන්නේ ඒ හැමදේම කළේ පුංචි කාලේ ඉඳන් මගේ තිබුණු ඒ නිළි හීනය වෙනුවෙන්.
සචින්ත්‍යාගේ රංගන ජීවිතය තුළ ඔයා විසින්ම හදාගත්ත සීමා මායිම් තියෙනවද?
ඇත්තටම ඔව්. නමුත් මං දන්නවා නිළියක් විදිහට ඒක අවාසි සහගතයි කියලා. ඒත් මං මගේ ප්‍රතිපත්ති තුළ ඉන්නවා, මං චරිත භාරගන්නේ තෝරා බේරගැනීම් එක්ක සහ මං මට ම පනවගත්ත සීමා මායිම් එක්ක තමයි වැඩ කරන්නේ.
පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමුද?
ඇත්තටම එයාලගෙන් මට ලැබෙන සහයෝගය ගැන කියන්න වචන මදි, ඒ තරමට එයාල මට ලොකු සහයෝගයක් ලබලා දෙනවා, මගේ මේ ගමනේ ශක්තිය එයාලා. ඉතින් මං හරිම වාසනාවන්තයි කියල මට දැනෙනවා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහ සමකාලීනයන්ගෙන් ඔයාගෙ ජීවිතයට ලැබෙන ගුරුහරුකම් සහ සහයෝගය මොන වගේද දැනෙන්නේ?
ඒ ගැනත් මතක් කරන්නම ඕන. මට මායාවී ටෙලි නාට්‍යය තුළ මගේ චරිතය ගොඩනගාගන්න මගේ මවගේ චරිතය කරන ශාලිකා අක්කගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි අතර තිරයෙන් පිටුපසත් ලොකූ බැඳීමක් තියෙනවා. ඒක මට මන්දෝදරී චරිතය ජීවමාන කරන්න ලොකු ශක්තියක්. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ක්ෂේත්‍රයේ ඉන්න මගේ හොඳම යාළුවා සචින්තනී කෞශල්‍යා ගැන. එයා තමයි මාව ගයිඩ් කරන්නේ, මට ඉදිරියටම යන්න ලොකු ශක්තියක් වෙන්නේ. එයා එයාගෙ ගමන තනියම යන කෙනෙක් නෙවේ අපිවත් ඇදගෙන තමයි එයා ඉස්සරහට යන්නේ. ඒ වගේ හොඳ යාළුවෙක් ලබන්න ඇත්තටම මං ලොකූ පිනක් කරල ඇති. අපේ අම්මා කියන්නෙත් ඒක. මොකද අපේ ගමන තීරණය වෙන්න, යාළුවොත් අනිවාර්යයෙන්ම බලපානවා. ඒ අතින් බැලුවාම මට ඉන්නෙ මාව ඉස්සරහටම අරන් යන මට ශක්තියක් වෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳම යාළුවෝ.
රංගන ජීවිතයේදී වුණ අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති නේද?
මගේ රංගන ජීවිතේ අමතක නොවෙන සිදුවීමක් තමයි මායාවී රූගත කිරීම් අතරේදී මං මුලින්ම අම්මට "අම්මා" කියල කතා කරන මොහොත. ඇත්තටම ඒක හරිම සංවේදී හැඟුම්බර අවස්ථාවක්. හරි පුදුම සිදුවීම තමයි ඒ සීන් එක ෂූට් කරද්දී හදිසියේම වැස්සකුත් ආවා. අපේ අධ්‍යක්ෂතුමාට ඒ සිද්ධිය කොයිතරම් වැදගත් වුණාද කියනව නම් එතුමා වැස්සෙත් ඒ සීන් එක රූගත කළා. තිර පිටපතේ වැස්සක දර්ශන නොතිබුණත් ඒ අවස්ථාවේදී ස්වභාවික වැස්සත් ඒ සංවේදී හැඟුම්බර දර්ශනය සමග එකතු වුණා. ඉතින් ඒ දර්ශනය හරිම සංවේදී හැඟුම්බර එකක්, ඒක තමයි මගේ රංගන ජීවිතේ අමතක නොවෙන අත්දැකීම.
සචින්ත්‍යා පුංචි තිරය වගේම රිදී තිරය බෙදාගන්න හීන දකින රංගන ශිල්පියා සහ ශිල්පිනිය කවුද?
මං ආසයි ශලනි තාරකා අක්කා එක්ක රඟපාන්න වගේම හේමාල් රණසිංහ අයියා එක්ක රිදී තිරය බෙදා ගන්න.
සචින්ත්‍යාගේ අනාගත බලාපොරොත්තු වෘත්තිමය රංගන ශිල්පිනියක් විදියට ඉදිරියේදී කටයුතු කිරීමද?
නැහැ. මගේ අනාගත වෘත්තිය, මං පුංචි කාලෙ ඉඳන් හීන දැකපු වෘත්තියක්. නමුත් මං ඉතාම ළෙංගතුකමින් රංගනය ඉදිරියටත් සිදුකරාවි. නමුත් රංගනය වෘත්තිය විදියට තෝරගන්නෙ නැහැ.
ඔබ මෙතෙක් ආ ගමන් මගේදී ස්තූති කරන්න, මතක් කරන්න විශාල පිරිසක් ඇතිනේද?
අනිවාර්යයෙන්ම. මුලින්ම මතක් කරන්න ඕනෑ, මට රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් වුණේ 2022 දී මම සිරස කුමරිය විදියට කිරුළු පැලඳි නිසයි, ඒ වගේම රංගන ක්ෂේත්‍රයට මුලින්ම මාව යොමු කළේ වීණාවි රංග පාසල හරහා ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂතුමා. එතුමාවත් ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. ඊට පස්සෙ මගේ ලොකුම ශක්තිය වුණ මගේ පවුලෙ අය සහ යාළුවෝ.
පුංචි තිරයේ අහිංසකාවියට රිදී තිර හීනයක් තියෙනවා නේද?
ඇත්තටම ඔව්, ඒක හැම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක්ගෙම හීනයක්. මටත් ඒ හීනේ තියෙනවා.
සචින්ත්‍යා ආදරය සහ ජීවිතය දකින්නේ මොන විදියටද?
ආදරය සහ ජීවිතය කියන දේ පිළිබඳව අපි හැමෝම ගාව එකිනෙකාට අනන්‍ය වුණ අදහසක් තියෙනවා, ඒක ඇත්තටම සාපේක්ෂයි. ඉතින් ජීවිතය ගැන මගේ අදහස තමයි අපේ ජීවිතය අයිති අපට. ඉතින් ඒ ජීවිතේ ගොඩනගා ගන්න ඕන, ඒ ජීවිතේ හැඩගස්සවා ගන්න ඕන අපිමයි. එහෙම නැතිව අපේ ජීවිතේ ගොඩ නගන්නවත් අපේ ජීවිතය හැඩ ගස්සවන්නවත් වෙන කෙනෙක් එන්නේ නැහැ, එහෙම වෙන කෙනෙක් අපේ ජීවිතේ මේ විදිහට ගොඩ නගන්න ඕන, හැඩගස්සවන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ. අපි තනියම අපේ ජීවිතය හරි ලස්සනට, අපිට ඕන විදිහට ගොඩනගා ගන්න ඕන කියන එක තමයි ජීවිතේ සම්බන්ධයෙන් මම හිතන්නේ.
ආදරය ගැන කතා කළොත් ඇත්තටම මම තාම ආදරවන්තියක් නෙවෙයි, මොකද ඊට මෙහා මට මගේ ජීවිතේ ඉටු කරගන්න අරමුණු ගොඩක් තියෙනවා. දැන් මං කැපවෙන්නෙ ඒ වෙනුවෙන්. නමුත් මම ආදරය කියන දේ දකින්නේ අවංකකම කියන පදනමත් එක්ක, එතනදී එක්කෙනෙක් විතරක් අවංක වෙලා මදි, ආදරේ කරන දෙදෙනාම එකිනෙකාට උපරිම අවංක විය යුතුයි, එතන තමයි ආදරයේ සැබෑම වටිනාකම තියෙන්නේ
