කරන්න බැරි දෙයක් නෑ කියන හැඟීම හැමවෙලේම මගේ හිතේ තියෙනවා -නයෝමි තක්ෂිලා

gossiplanka image 2
 

පසුගියදා ‘නීල පබළු’ ටෙලි නිර්මාණයේ පූජා ලෙසින් ඉතාම ජනප්‍රියත්වයට පත්වුණු දක්ෂ රංගන ශිල්පිනියක වන නයෝමි තක්ෂිලා ‘අඳුන්ගිර’ නාට්‍යයේ ‘පත්මා‘ වෙමින් හොඳම නිළිය ලෙස සම්මානිත වූවාය. වේදිකාව ද හොඳින් හුරුපුරුදු ඇය ‘සුබ සන්ධ්‍යාවක්‘ වේදිකා නිර්මාණයේ ‘ලීසා‘ගේ චරිතය උදෙසා රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. මේ දිනවල ඇය ව්‍යාපාරිකාවකගේ භූමිකාවට පණ පොවමින් සිටින්නීය. එය රංගන භූමිකාවක් නොවීම ද විශේෂත්වයකි. නිල් මානෙල් මල තම දිවියේ අභියෝගාත්මක සාධකය බවට පත්කරගත් නයෝමී මේ දිනවල ‘නිල් මානෙල් මල‘ නමින් සමාජ මාධ්‍යයේ ඉතාම ජනප්‍රියව සිටින්නීය. නියෝමි තක්ෂිලා නම් දක්ෂ රංගන ශිල්පිනිය පරයා දක්ෂ ව්‍යාපාරිකාවක බිහිවෙමින් සිටින බව මේ වනවිටත් ඇය තහවුරු කර අවසන්ය. දේශීය නිෂ්පාදනයක් ලෝකයට ගෙන යන්නට වෙහෙසෙන ඇය දැඩි කාර්යබහුලත්වය හමුවේ වුවද අප හා කතාබහට එක්වූවාය.


මෙතෙක් පූජා ලෙසින් අතිශයින්ම ජනප්‍රිය වුණු නයෝමි මේ දවස්වල ජනප්‍රිය නිල් මානෙල් මල කියලා නේද?


ඔව්. ඔව්. මේ දවස්වල මට කවුරුත් කතා කරන්නේ නිල් මානෙල් මල කියලා. ඇත්තටම මට නිල් මානෙල් මල එක්ක තියෙන්නේ පුදුම ළෙන්ගතුකමක් සහ බැඳීමක්. මං අලුතින් පටන්ගත්ත නිල් මානෙල් ව්‍යාපාරය මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට අරන් ගියා කිව්වත් හරි. සමාජ මාධ්‍යයෙන් ලොකු සහායක් ලබා දෙනවා.


නයෝමි මේ දවස්වල අතිශයින්ම කාර්යබහුල කෙනෙක් වෙලා?


ඇත්තටම ඔව්. පහුගිය 23 වැනිදා අපේ නයෝතා නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. කියන්නත් සතුටුයි. ලංකාවේ වගේම පිටරටවලත් ගොඩක් ප්‍රචලිත වුණා. මේ වෙද්දි ලංකාවෙන් වගේම පිටරටවලිනුත් ගොඩක් ඇණවුම් ලැබෙනවා. දේශීය නිෂ්පාදනයක් ඔස්සේ ලංකාවේ ඩොලර් අවශ්‍යතාවට පිළියමක් සපයන්න ලැබීම මට ලොකු සතුටක්. ඊට අමතරව වන්දනාකරුවන් සඳහාත් නිල් මානෙල් මල් ලබාදෙන්න තරම් අපේ වගාව දැන් ගොඩක් දියුණු වෙලා තියෙනවා.


ක්ෂේත්‍රය තුළ ව්‍යාපාර පැත්තට යොමුවුණු බොහෝ අය ඉන්නවා. ඒත් ඔබට ආවේ වෙනස්ම සිතුවිල්ලක්. කොහොමද ඒක වුණේ?


මම ගමේ හැදුණු වැඩුණු කෙනෙක්. පුංචි කාලෙ ඉඳන්ම වෙලේ දුවපැන ඇවිද්දා. පිදුරු ගොඩවල්වල නටලා, වැවේ පැනලා මේ සුන්දර පරිසරය අත්වින්ද කෙනෙක්. ගහකොළට පරිසරයට මං හරිම ආසයි. මගෙ අම්මා තාත්තා වුණත් ඉස්සර ඉඳන්ම මහා පරිමාණයෙන් මේ පොළොවත් එක්ක ගැටුණා. මට ඕන වුණේ ඔවුන්ගේ මහන්සියට ප්‍රතිඵලයක් දෙන්න. මේ පරිසරයත් එක්ක තියෙන බැඳීමත් එක්ක මට නිතරම හිතුණු දෙයක් තමයි ඇයි අපි මේ දේශීය දේවලට වටිනාකමක් දෙන්නෙ නැත්තේ කියන එක. ක්ලියෝ පැට්රා කාලෙ ඉඳන්ම රූපලාවණ්‍ය කටයුතු සඳහා නිල් මානෙල් මල යොදා ගත්තා. ග්‍රීක උත්සවවලට කාය ශක්තිය වර්ධනයට යොදාගෙන තිබුණා. එතැනදි තමයි මට හිතුණේ එහෙනම් ඇයි දැන් අපි මේකෙන් වැඩක් ගන්නෙ නැත්තෙ කියලා. ඒ සිතුවිල්ලත් එක්ක තමයි කවුරුත් නොහිතුව පැත්තක් මට හිතෙන්න ගත්තේ. මුලින්ම මගේ අම්මා ගෙදර පූජා කරන්න නිල් මානෙල් පැළයක් දෙකක් හදා ගත්තා. පස්සේ තාත්තා අක්කර දහයක් තරමට වගා කළා. නමුත් කොරෝනත් එක්ක ඒක අඩු වුණා. දැන් අක්කර හයක් පුරා අපි වගා කරනවා. මේ පරිශ්‍රමයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මගේ අම්මටයි තාත්තටයි. ඔවුන් දෙන්නගේ මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ.


ඉතාම කාර්යබහුල රංගන ශිල්පිනියක් වන ඔබ මේ වගේ භාරධූර කටයුත්තකට කාලය වෙන්කර ගන්නේ කොහොමද?


කාලය කළමනාකරණය ගැනීමේදී නම් මට ගොඩක්ම සහාය වෙන්නේ මගේ අම්මයි තාත්තයි. මං තමයි නිල් මානෙල් මල ගැන අප්ඩේට් එක දෙන්නේ. අලුත් අදහස් දෙන්නේ. ලංකාවට, ලෝකෙට මේ ගැන කියමින් ව්‍යාප්ත කරන්නේ. ඒ නිසා ලොකුවටම මට ගැටලුවක් වෙන්නෙ නැහැ.


නයෝතා ලෝකෙට ගෙනිහින් නයෝමිත් දැන් රටට ආඩම්බරයක් වෙලා නේද?


ඒ ගැන නම් හරිම සතුටුයි. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒකට හොඳම උදාහරණය මං. ගමක සාමාන්‍ය පවුලක, පුංචි ඉස්කෝලෙකට ගිය ගෑනු ළමයෙක් වුණු මං ජීවිතේ හදාගත්තෙ මට කරන්න බැරි දෙයක් නෑ කියන හැඟීම හිතේ තිබුණු නිසා. ගමෙන් නගරෙ ඉස්කෝලෙට ගිහින්, එතැනින් ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට ගිහින්, උසස් අධ්‍යාපනය හදාරලා උපාධියක් අරගෙන, රටේ තියෙන හොඳම සම්මාන උලෙළවල හොඳම සම්මානයෙන් පිදුම් ලබපු තරුණියක් වුණා. මට කරන්න බැරි දෙයක් නෑ කියන හැඟීම හැමවෙලේම අපේ හිතේ තියෙන්න ඕන.


ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ දෙකක් මේ දිනවල විකාශය වෙනවා?


ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් පැබ්ලෝ සහ රාග ටෙලි නිර්මාණ දෙක මේ දිනවල විකාශය වෙනවා. රාග නම් දැන් අවසානයට ළං වෙලා. එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ඉස්සර ඉඳන්ම කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන කෙනෙක්. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන ව්‍යාපාර කටයුතුත් ටෙලි නාට්‍ය වැඩත් දෙකම සමබරව කරගෙන යනවා.


නයෝමි මේ තරම්ම කාර්යබහුල වෙද්දි දුක සැප බෙදාගන්න කෙනෙක් හිටිය නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?


මට දැන් සහකාරයෙක් ඉන්නවා. මේ හැම දෙයකටම උදවු කරන්නෙ එයා. කිසිවකුගේ සහායක් නැතුව මේ සියල්ල කරගෙන යන්න අමාරුයි. මගේ අම්මට තාත්තට වගේම ඔහුටත් මං මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post