ක්ලැරාගේ රම්‍යා වීම හරිම සුන්දරයි - ඉෂන්කා ජහන්වී

gossiplanka image 1
 


මීට වසර කිහිපයකට කලින් සිනමාවට පායා ආ පුංචි තාරකාවියක් අද වන විට රටේම අවධානය දිනා ගනිමින් හෙළ සිනමා අඹරේ දීප්තිමත්ව බැබළෙමින් හිඳින්නීය. සිනමාවටම ඔබින රූපයද ඊට නොදෙවැනි රංගන කුසලතාවද සහිත ඇය මේ දිනවල ‘මගේම දෝ’ ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයටද එක් වෙමින් සිටී. ඇය අන්කවරකුවත් නොව ඉෂන්කා ජහන්වී ද කොස්තායි. මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දවස්වල හරිම කාර්යබහුලයි. මොකද මගේ රැකියාවයි කලා කටයුතුයි දෙකම සමබරව කරන එක අමාරු වැඩක්. නමුත් මම ඒ දෙකටම හරිම ආදරෙයි. ඒ නිසා මම උපරිම ට්‍රයි කරනවා ඒ දෙකම බැලැන්ස් එකේ කරගෙන යන්න. කලාව පැත්තෙන් ගත්තොත් මේ දවස්වල මගේ රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයත් අලුත්ම ටෙලි නාට්‍යය මගේම දෝ එක්ක ගොඩක් කාර්යබහුලයි. ඊට අමතරව තව අලුත් වැඩ කිහිපයකුත් කරගෙන යනවා.


මගේම දෝ ගැන විස්තර ටිකක් කියමු?


මගේම දෝ ටෙලි නාට්‍යයට ගොඩාක් හොඳ, ගොඩාක් ආදරණීය ප්‍රතිචාර තියෙනවා. මගේම දෝ නිෂ්පාදක කුශාන් සමීර අයියා, අධ්‍යක්ෂ ජී. නන්දේසේන මහත්මයා සහ ධනුක අයියා, සජිනි ඇතුළු මුළු කාස්ට් එක වගේම මේ නිර්මාණයට දායකවන සියලු දෙනාම  මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඔවුන් සියල්ලගේම සහාය මට ලැබෙනවා. මේක මගේ පළමු ටෙලි නාට්‍යය. මීට කලින් මම වෙළෙඳ දැන්වීම් සහ චිත්‍රපටවලට පමණයි දායක වෙලා තියෙන්නේ. මේක එපිසෝඩ් සීයක වගේ ටෙලි සීරිස් එකක්. ඉතිං මගේ පළමු ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.


රම්‍යා ලෙස ඔබේ චරිත නිරූපණයට විචාරකයන්ගෙන් විශාල වශයෙන් පැසසුම් ලැබුණා. ඒ ගැනත් කතා කරමු?


රම්‍යා කියන්නේ මට ලැබුණු ටිකක් අභියෝගාත්මක චරිතයක්. මොකද රම්‍යාගේ භූමිකාව ඇතුළේ හරි ඉක්මනට එක එක ඉමෝෂන්ස්වලට මාරු වෙන්න සිදු වුණා.  ඉරිසියාව, ආදරය, තරහව කියන මේ හැම හැඟීමකටම හරි ඉක්මනට මාරු වෙන්න තිබුණා. නමුත් රම්‍යා කියන්නේ මම හරිම ආසාවෙන් භාරගත්ත චරිතයක්. හැබැයි ඒක අභියෝගාත්මක චරිතයක් වුණත් ඒ වෙනුවෙන් මට ප්‍රේක්ෂකයන්ගෙන් වගේම විචාරකයන්ගෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.


ක්ලැරාගේ රම්‍යා බවට පත්වීම මොන වගේ අත්දැකීමක් වුණාද?


රම්‍යා මුලින්ම ක්ලැරන්ස්ට ආදරය නොකර පස්සේ තමයි ඔහුට ආදරය කරන්නේ. පසුව ඒ ආදරය වෙනුවෙන් ඔහුගේ පස්සෙන් යනවා. හැබැයි ඒ චරිතය ප්‍රේක්ෂකයන් බොහොම හොඳින් වටහාගෙන තිබුණා. රම්‍යාගේ චරිතය චිත්‍රපටයට ගේන්නෙම ග්ලැමර් එකක් ගේන්න. ඒ වගේම ඒ චිත්‍රපටයේ විලන් රෝල් එකත් රම්‍යා. ඇත්තටම ක්ලැරාගේ රම්‍යා වීම හරිම සුන්දර අත්දැකීමක්.


සිනමාව තුළ ස්ථාවර වුණාට පස්සේ බොහෝ රංගන ශිල්පිනියන් පුංචි තිරයට එන්න කැමැත්තක් නෑ. නමුත් ඔබ ඒ අභියෝගය භාරගෙන තියෙනවා. ඒ ගැනත් කියමු?


මම මේ ක්ෂේත්‍රයට එන්නේ වෙළෙඳ දැන්වීම් හරහා. මම පාසල් යන කාලයේ ඉඳලම වෙළෙඳ දැන්වීම් කළා.  ඊට පස්සේ උසස් පෙළ විභාගයෙන් පස්සේ තමයි මට ආශාවරී ලැබෙන්නේ. මාව සිනමාවට හඳුන්වා දෙන්නේ තේජා ඉද්දමල්ගොඩ මහත්මයා සහ රුවන් කොස්තා මහත්මයා. මේ වෙද්දි මම චිත්‍රපට තුන හතරක්ම කරලා තියනවා. එයින් දෙකක් මේ වෙද්දි තිරගත වෙලා තියෙනවා. තවත් චිත්‍රපට දෙකක් එන්න තියෙනවා සහ තවත් චිත්‍රපට කිහිපයක වැඩ භාරගෙන තියෙනවා. සිනමාව තමයි මගේ ආසම දේ. නමුත් එක තැනකදි මට තේරෙනවා සිනමා නිර්මාණයට දායක වුණාම ඒක එළියට එන්න කාලයක් ගත වෙනවා කියලා. ඒ නිසා මට හිතුණා, ටෙලි සීරිස් වගේ ඒවා භාරගෙන ඒ අත්දැකීමත් විඳින්න ඕන කියලා. මම කොහොමත් කැමැතියි අභියෝග භාර ගන්න. ඒ නිසා මම ඒ අභියෝගයත් භාර ගත්තා. දැනට ටෙලි සීරීස් විතරයි මම භාර ගන්නේ. මම කලාවට ගොඩක් ආදරෙයි. ඒ නිසා සිනමාව, පුංචි තිරය ඒ දෙකම මට එකයි.


වෘත්තීය ජීවිතය හා කලාව සමබරව කරගෙන යන්නේ කොහොමද?


ඇත්තටම ඒ දෙකම සමබරව කරගෙන යන්න හරිම අමාරුයි. ඒක මට ලොකු අභියෝගයක්. ගුවන් සේවිකාවක් කියන්නේ ලොකු වගකීමක් සහිත රැකියාවක්. ඒක කලාවට වඩා හාත්පසින් වෙනස් රැකියාවක්. මම රැකියාව කරන වෙලාවට රැකියාවටත්, කලාවේ නියැළෙන වෙලාවට කලාවටත් මූලිකත්වය දීලා කටයුතු කරනවා. අනිත් කාරණය මම මගේ රැකියාවටත් කලාවටත් දෙකටම එක වගේ ආදරය කරන නිසා ඒ දෙක පටලවා නොගෙන කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.


මේ වෙද්දි ලංකාවේ සිනමා කර්මාන්තය අපේ කාලයේ අපි දැකපු හොඳම තැනට ඇවිත් තිබෙනවා. ඒ ගැන ඔබේ හැඟීම?


අපේ සිනමාව තියෙන තැන ගැන ගොඩාක් සතුටුයි. මේ අවුරුද්දේ තිරගත වුණු නෙළුම් කුළුණ, වාලම්පුරි, රාණි වගේ චිත්‍රපට අනෙක් චිත්‍රපටවලට එන්න මාර්ගය හැදුවා. ඒ හරහා නිර්මාණය වුණු ප්‍රේක්ෂකාගාරය නිසා තමයි අපේ චිත්‍රපටයටත් සෙනඟ ආවේ.. රිදම් ඔෆ් ද ගිටාර් ගත්තම ඒකත් වෙනස්ම චිත්‍රපටයක්. ඒ හරහා ලාංකේය චිත්‍රපටවලට වෙනම රසික පිරිසක් නිර්මාණය වුණා. මම හිතනවා අපේ චිත්‍රපටයෙන් පසුව එන චිත්‍රපටවලට ඊටත් වඩා හොඳ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙයි කියලා. ඒ ගෞරවය මේ අවුරුද්දේ මුල ඉඳලම තිරගත වුණු හැම චිත්‍රපටයටම ලැබෙන්න ඕන. මොකද මේ පසුබිම හැදුවේ ඒ මුලින්ම තිරගත වුණු චිත්‍රපට නිසා.


ඔය පෙනුම එක්ක විදෙස් නිර්මාණවලට එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද?


විදෙස් නිර්මාණවලට මට ආරාධනා ලැබිලා තියෙනවා. මම ආශාවරී චිත්‍රපටයට කලින් ගාන්ධිතුමා සම්බන්ධයෙන් නිර්මාණය වුණු ලංකාවේ රූගත කළ   ඉන්දීය නිර්මාණයකට දායක වුණා. ඒක තමයි මගේ පළමුවැනි චිත්‍රපටය. එහි මම ප්‍රධාන චරිතයේ නංගි විධියට රංගනයෙන් දායක වුණේ. ඒ චරිතයත් වෙනස් චරිතයක්. එහෙම බලද්දි මගේ පළමු චිත්‍රපටයම  විදෙස් නිර්මාණයක් කිව්වොත් හරි. ඊට පසුවත් මට විදෙස් චිත්‍රපට හා වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් සමහර තැන්වලදි ගැහැනු ළමයෙක් විධියට අපි සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. එතැනදි මගේ ආරක්ෂාව, විශ්වාසය සම්පූර්ණයෙන් තහවුරු වෙන විදෙස්  නිර්මාණවලට පමණයි මම දායක වෙන්නේ. නමුත් මම දැනටමත් මට ලැබිලා තියෙන දේවල් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත්.


ඔබව සිනමාව තුළ ඉශන්කා ජහන්වී ලෙස බෞතීස්ම කළ තේජා ඉද්දමල්ගොඩවත්  සිහිපත් කරමු?


තේජා ඉද්දමල්ගොඩ සර් කියන්නේ සිනමා ගමනේ මගේ ගුරුවරයා. මාව සිනමාවට ගේන්නේ ඔහු. ඒ වගේම ඔහුගේ පළමු සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයත් මම. සර්ටයි මටයි හොඳ බැඳීමක් තියෙනවා.. අද ඔහු හිටිය නම් ඔහුට මේ සිනමාව ඇතුළේ විශාල තැනක් ලැබෙන්න තිබුණා. නමුත් ඔහු අපේ සිනමාවට දායාද කරලා ගියපු දේ නිසා ඔහු නැති වුණත් ඒ ගෞරවය ඔහුට ලැබෙනවා.


අවසන් වශයෙන් රටේම තරුණයන්ගේ සිහින කුමරියට අයිතිකාරයෙක් ඉන්නවාද කියලත් කියමු?


ඒ ප්‍රශ්නය නම් ටිකක් සංකීර්ණයි. එතැනදි මමත් තාම සුදුසු කෙනා සොයමින් ඉන්නවා කියන උත්තරය තමයි නිවැරැදි. මොකද ඒ වගේ තීරණ හදිසි වෙලා ගන්න බැහැ. හදිසි වෙලා වැරැදි තීරණයක් ගත්තොත් මුළු ජීවිතේම වරදින්න පුළුවන් නිසා ඒ තීරණය මම හොඳට හිතලා බලලා හිමීට ගන්නවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post