
දශක හතරක් තරම් දීර්ඝ කාලයක් තුළ රංගන කුසලතාවෙන් රසිකයන් ප්‍රබෝධවත් කරමින් ඔවුන්ගේ ආදරය නොඅඩුව ලැබීමට හැකි වීම රංගවේදියකු සතු විශාලතම වත්කමකි. සිනමා පටයක එසේ නොමැති නම් පුංචි තිරයේ දිග හැරෙන නිර්මාණයකදී නම සඳහන් නොවුවද එම රුව හඳුනා ගැනීම ඔබට එතරම් අපහසු නොවන්නේ ඒ නිසාමය. ඔහු නමින් දිමුතු චින්තක දේවප්‍රිය නම් ප්‍රවීණ රංගවේදියාය. මේ දිනවල ඔහු අප හමුවට පැමිණෙන්නේ ජාතික රූපවාහිනිය මඟින් විකාශය වන “ආදරණීය මිනිසෙක්” ටෙලි නාට්‍ය තුළින්ය. ඒ එම නාට්‍යයේ ගලප්පත්ති මුදලාලි ලෙසින්ය. හදගැස්ම අපේ කතාබහ ඔහු සමඟින්ය. මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ පිළිබඳ කතාබහ කරමින්ම අපි කතාබහ පටන් ගමු?
මම මේ දිනවල මගේ ආදරණීය රසික ජනතාව හමු වෙන්නේ “ආදරණීය මිනිසෙක්” ටෙලි නාට්‍ය වෙතින්ය. එහි මම රඟපාන්නේ ගලප්පත්ති මුදලාලි ලෙසින්ය. සුනන්ද සිල්වා මෙම නාට්‍යයේ තිර පිටපත් රචකයා තමයි මට මේ සඳහා කතා කළේ. එම චරිතයේ විශේෂය තමයි තමන්ට වඩා අවුරුදු 25ක් විතර වයසින් අඩු ගැහැනු ළමයකුගේ හිත දිනා ගැනීමට උත්සාහ ගැනීම. මේ චරිතය ‘සුදු-කළු’ චරිතයක් ලෙස හඳුන්වා දිය හැකිය. ඒ වගේම මම මෙතෙක් රඟ පෑ සියලු චරිතවලට වඩා වෙනස් ආකාරයේ චරිතයකින් ඔබ හමුවෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ නාට්‍ය හරහා එවැනි අවස්ථාවක් ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි.
ඒ වගේම මේ දිනවල හිරු ටී.වී. හි විකාශය වන ‘අකුරට යන වෙලාවේ’ ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එනවා. ඒ නාට්‍යයට මාව සම්බන්ධ කර ගන්නේ සුදත් දේවප්‍රිය. සුදත් කියන්නෙම අපට දැනුම විශල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් චරිතයක්. ඒ නිසා මම මේ ටෙලි නාට්‍යයට රංගනයෙන් එක් වුණේ කැමැත්තෙන්. අවුරුදු 3ක් වෙනවා මේ නාට්‍යට සම්බන්ධ වෙලා. පෙර අවස්ථාවලදී වගේම මේ චරිත සඳහාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳින් ලැබෙනවා.
ඔබේ “කලා දිවියට හතළිස් වසරක්” ඒ වෙනුවෙන් ඔබේ සූදානම කොහොමද?
මීට අවුරුදු 40කට කලින් ඒ කියන්නෙ 1983 වර්ෂයේ තමයි මම රංගන දිවිය පටන් ගන්නෙ. ඒ රෝහණ දන්දෙණිය මහතාගේ “දෑවර” වේදිකා නාට්‍යයෙන්.
එදා මෙදා තුර වේදිකා නාට්‍ය 20ක්, ටෙලි නාට්‍ය 250ක් පමණ චිත්‍රපට 40ක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. අගෝස්තු 29 මගේ උපන් දිනය. කලා ජීවිතයට වසර හතළිහ පිරීම සමරන්න හොඳම දිනය ඒ දවස කියලා මට හිතුණා. එහෙම හිතල තමයි ‘කැලණි පාලම’ වේදිකා නාට්‍ය අගෝස්තු 29 දින අනුරාධපුර නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයේ අනුග්‍රාහකත්වයෙන් රඟ දක්වන්න තීරණය කළේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එම නාට්‍ය මට දක්වන උපහාරයක් ලෙසින් තමයි සංවිධානය කරන්නේ.
ඊට අමතරව සැප්තැම්බර් 26 දින “සිහින රඟහල” වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා. අනුරාධපුර මැදි විදුහල් ප්‍රධාන ශාලාවේදී. එයත් මගේ කලා දිවියට දශක හතරක් පිරීම නිමිත්තෙන් තමයි සංවිධානය වෙන්නෙ. දරුවන්ට ජීවිතය ගැන කියල දෙන්න අභියෝග පිළිබඳව වගේම නාට්‍ය පිළිබඳව කියාදීමේ වැඩමුළු දෙකක් පවත්වනවා. එම වැඩමුළු පවත්වන්න් අනුරාධපුර නගරයෙන් ඈතට ගිහින් ගම්වල ඉන්න දරුවන් වෙනුවෙන් දැනුම බෙදා දෙන්න තමයි සූදානම.
ඉහත කාර්යයන්ට අමතරව තව සුවිශේෂී කාර්යයක් සිදු වෙනවා. ඒ ගැන සඳහන් කළොත්?
මගේ ජීවිත කතාව ලියන ලද නවකතා පොතක් එළිදක්වන්න සූදානමින් සිටිනවා. ඒ පොතේ නම ‘අමුතු දිමුතු’ ලෙස නම් කරලා තියෙනවා. ඒ කතාව තුළ මගේ උපතේ සිට මේ දක්වා ගුරුවරයකු, රංගන ශිල්පියකු, සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මට විඳින්නට සිදුවුණු සියලුම විළැම්බෑසි, අලකලංචි සියලුම දේ ඇතුළත්ව තිබෙනවා. මම වෙනුවෙන් ඒ පොත රචනා කරනු ලැබුවේ මගේ ආදරණීය මිත්‍රයා ඩී. කේ. ආටිගල විසින්. එම පොත එළිදක්වන්නෙ සැප්තැම්බර් 29 වැනි දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී. එදාට මම ගැන කතා කරන්න ජයන්ත චන්ද්‍රසිරි, වසන්ත දුක්ගන්නාරාල, සිනමාවේදී සනත් ගුණතිලක වැනි ප්‍රවීණයන් කොළඹ ඉඳලා අනුරාධපුරයට එනවා.
ගුරුවරයෙක්, රංගවේදියෙක් ලෙස මේ ක්ෂේත්‍රයට එන නවකයන්ට කියන්න යමක් ඇති?
ඔව්. හොඳින් ඉගෙන ගන්න. ක්ෂේත්‍රයට ගරු කරන්න. ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්න. තමන්ගේ විනය පවත්වාගෙන යන්න. තමන්ට අවශ්‍ය කරන සියලු දේ හොඳින් විමර්ශනය කරමින් ඉගෙන ගැනීම තුළින් තමන්ගෙ ඉදිරිගමන් මඟ සාර්ථක වෙනවා. ඒ වගේම පැවැත්මත් තියෙනවා. සමහර අය ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාල වැඩමුළු පවත්වනවා. එහෙම කරන්න එපා. හරි දැනුමක් එකතු කර ගන්න. ඒ තුළින් තමන්ගේ දිවිය වගේම අනෙකාගේ ජීවිතත් ආලෝකවත් කරන්න.
ප්‍රවීණයෙක් විධියට අනාගත පරපුර වෙනුවෙන් කළ මෙහෙවර ගැන කතා කළොත්?
මගෙන් පස්සෙ මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න සහ ඇවිත් ඉන්න අයට අවශ්‍ය දැනුම ලබා දෙන්න මම නාට්‍ය පාසලක් ආරම්භ කළා. එම පාසල ආරම්භ කරලා දැන් වසර 20ක් වෙනවා. ඒ සඳහා ජගත් චමිල, ගාමිණී ජයලත් ගමගේ, ජයන්ත චන්ද්‍රසිරි, සනත් විමලසිරි වැනි ප්‍රවීණයන් ගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි. මම මේ පාසල ආරම්භ කළේ අපෙන් පහළ පරපුර හදා ගන්න ඕනෑ නිසයි. එම කාර්ය මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතිනවා. මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙලා ගුරු සේවයේ යෙදිලා ඉන්නවා. ඒ වගේම මට පුළුවන් වුණා මේ පාසල හරහා 2011 රාජ්‍ය ටෙලි නාට්‍ය උළෙලේදී හොඳම ළමා නළුවා බිහි කරන්න.
මේ ගමන්මඟ ගැන තෘප්තිමත්ද?
ඔව්, ඉතාමත් තෘප්තිමත් මම වේගවත් ගමනක් ආව කෙනෙක් නොවෙයි. හරි හෙමින් තමයි මේ ගමන ආවේ. දැන් නම් මට ටිකක් වෙහෙසයි. ඒ නිසාම මම රඟපෑම පැත්තකට දාලා සිනමා පිටපත් කිහිපයක් ලියමින් ඉන්නවා. ඒ මගේ හිතේ තිබුණ තවත් හීනයක්. මම හීන සහ අභියෝග සමඟ ජීවත් වෙන මනුස්සයෙක්. ඒ හීන අභියෝග දවසින් දවස දිනා ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. මේ දශක හතර තුළ මම කරපු-කියපු සියලු දේ ගැන මම සතුටුයි.
වෙනදාට වඩා තරුණ පරපුර වේදිකා නාට්‍යවලට නැඹුරු වෙලා. මෙය කලාවට සුබ නිමිත්තක් වෙයිද?
ඒ කතාවෙ නම් ඇත්තක් තිබෙනවා. එදාට වඩා අද වේදිකා නාට්‍යවලට තරුණ පෙළ යොමු වෙනවා. එය කොළඹ විතරක් නෙවෙයි අනුරාධපුර වගේ කොළඹින් ඈත ප්‍රදේශවලත් එහෙමයි. මේ වන විට විශාල පිරිසක් රංගනයට විතරක් නොවෙයි වේදිකා නාට්‍ය නැරැඹීමට සහභාගි වෙනවා. ලොකු වුවමනාවක් තියෙනවා රස වින්දනය සඳහා යොමු වීමට. විසිහතර පැයම රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා ඉන්නවා වෙනුවට සජීවී අත්දැකීමක් ලබන්න බොහෝ දෙනා කැමැතියි. ඒ වගේම මේ වන විට වේදිකා නාට්‍ය වෙනදට වඩා නිෂ්පාදනය වෙනවා. එය සමාජයට සිදුවන යහපත් මෙහෙවරක් ලෙස සැලකීමට හැකියි.
වර්තමානයේ බිහිවන සිනමාපට හා ටෙලි නාට්‍ය ගැන අදහසක් දක්වන්න කිව්වොත්?
වර්මානයේ බිහිවන සිනමා පට ගැන නම් පොඩි වෙනසක් දකිනවා. දේවි කුසුමාසන, රානි වැනි චිත්‍රපට හරහා චිත්‍රපට ක්ෂේත්‍රයේ වෙනසක් සිදුවෙලා තියෙනවා. ඒ මඟින් අද වන විට හොඳ නිර්මාණ රැසක් බිහිවෙනවා. ටෙලි නාට්‍ය ගැන නම් මට හිතාගන්න බැහැ. ඒවා ටෙලිනාට්‍යමද කියලා දැනෙන නාට්‍යයක් බැලීමේ හැකියාව හරි අඩුයි. එය නම් රස වින්දනයට ඛේදවාචකයක්.
අනාගතයේදී ඔබ දකින්න පුළුවන් නිර්මාණ මොනවාද?
ජාතික රූපවාහිනියෙන් විකාශය වන පෝය නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ‘දිශාපති දිනපොත’ කියන පිටපත මේවන විට ලියමින් පවතිනවා.
සිනමා තිරයෙන් ලබන වසරේ ඔබ හමුවට පැමිණේවි. මේ වන විට චිත්‍රපට 3ක පමණ රඟපාල තියෙනවා. නාට්‍ය පාසල තුළින් අනාගත පරපුරට මඟපෙන්වන්න වගේම අභියෝග තුළින් ජීවිත ජය ගන්නා අයුරු පිළිබඳ දේශන මාලාව දිගටම පවත්වාගෙන යනවා.
අරුණි ජයසේකර
