හිතාගන්නම බැරි කතාවක් වැඩේ ඇතුළෙම නමේ තේරුම තියෙනවා -බුද්ධික සේමසිංහ

gossiplanka image 1
 

මේ දිනවල ඉතාම ජනප්‍රිය ‘පාට කුරුල්ලෝ’ ටෙලි පිටපත් රචක බුද්ධික සේමසිංහ හිතාගන්නම බැරි කතාවකින් ප්‍රේක්ෂක ඔබ හමුවට එයි. මේ ඔහුගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණයයි. සාමාන්‍ය ටෙලි අත්දැකීමෙන් ඔබ්බට යමින් සිනමාරූපී ටෙලි අත්දැකීමක් ඔබ වෙත තිළිණ කරන බුද්ධික අධ්‍යක්ෂ භූමිකාවේ ද විශාල පෙරළියක් සිදු කරමින් සිටියි. මේ ඔහු අප හා කී හිතාගන්නම බැරි කතාවයි.


මුළු රටම ඔබ හඳුනන්නෙ තිරපිටපත් රචකයෙක් විදිහට. මොකක්ද මේ දවස්වල පැතිරෙන හිතාගන්නම බැරි කතාව?


ඇත්තටම ඒක හිතාගන්නම බැරි කතාවක්. ඒ මගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. පිටපතත් මගේමයි. මං ගොඩක්ම බයිස්කෝප්වලට කැමැති කෙනෙක්. කාලෙක ඉඳන් මට ආසාවක් තිබුණා පොඩි සිනමාත්මක ලක්ෂණ ටිකක් ඇතුළු කරලා බයිස්කෝප් හැඩයට ටෙලි නිර්මාණයක් කරන්න. චිත්‍රපටයක් වෙනස් වෙන්නෙ රූපවලින් විතරක් නෙවෙයි. චරිත ගොඩනඟන විදිහ, රූප හදන විදිහත් ඒකට බලපානවා. ටෙලියක් වුණත් නිකන් බොරුවට ප්ලොට් එක ඇදගෙන යන්නෙ නැතුව මං උත්සාහ කළේ ඒකට සිනමා ආකෘතියම දෙන්න. ඒක තමයි හිතාගන්නම බැරි කතාව වුණේ.


හිතාගන්නම බැරි කාස්ට් එකකුත් ඉන්නවා නේද?


මට ඕන වුණේ හිතේ හැටියට වැඩ කරන්න පුළුවන් පිරිසක්. ඔවුන්ගේ වෙනදා දකින පැත්තට එහා ගිය වෙනත් පැත්තක් පෙන්නන්න. මගේ මුල්ම කැමැත්ත තිබුණේ පුංචි තිරයේ නිතර දකින්නෙ නැති උද්දික ප්‍රේමරත්නට. ඔහුට කතා කළ පළමු අවස්ථාවෙදිම ඔහු වැඩේට කැමැති වුණා. ඒත් එක්කම විශේෂයෙන්ම මතක් කරන්න ඕන නිෂ්පාදක විදිහට මේ වැඩේ කරන්න ශක්තිය දුන්න බුද්ධික රුවන් වික්‍රමසිංහ. ඊට අමතරව රංගනයෙන් දායක වෙන්නෙත් සුවිශේෂී කණ්ඩායමක්. කාවිංග පෙරේරා, රිතූ ආකර්ෂා, දසුනි නවෝද්‍යා, නයෝමි පෙරේරා, දේවින්ද වික්‍රමසිංහ, සචින් චතුරංග, අමල් ප්‍රසාද්, සංගීත් ප්‍රභූ, ටනාෂා හතරසිංහ, කවිහාරී සපුතන්ත්‍රි ඇතුළු විශාල පිරිසක් මේ නිර්මාණයට දායක වෙනවා. මෙයා නම් කොහෙත්ම මේ වගේ චරිතයක් කරන එකක් නෑ කියල හිතෙන විදිහේ කාස්ට් එකක් එක්ක කරපු වැඩක්. මේ හැමෝම ප්‍රධාන කතා ධාරාවට සම්බන්ධ අත්‍යවශ්‍ය චරිත. හැම කැරැක්ටර් එකකටම කරන්න දේවල් ටිකක් තියෙනවා.


ටෙලි නිර්මාණයක් සිනමාරූපීව ගෙන එනවා කියන්නේ ලොකු අභියෝගයක් නේද?


ඔව්. මං මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරුන් බොහෝ පිරිසක් එක්ක වැඩ කරල තියෙනවා. නමුත් මෙතනදි මට ඕන කළේ ටෙලි නාට්‍ය හැඩය දැකල නැති කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න. ටෙලි නාට්‍ය ඇතුළෙ පොඩි පොඩි තියරි එහෙම නැත්නම් ආකෘති ටිකක් තියෙනවා. ගොඩක් අය මේ තියරි ටික මොන තත්ත්වයෙන්වත් වෙනස් කරන්න කැමැති නෑ. මමත් ඒ තියරි හරියටම දන්නෙ නෑ. නමුත් රූප විදිහට ටෙලි බලන ප්‍රේක්ෂකයාගේ ඇහැට අවුලක් වෙන්නෙ නැත්නම් ඒක ලොකුවට සැලකිල්ලට නොගෙන ඒ කිසිවක් නොදන්න කැමරා අධ්‍යක්ෂවරයෙක් මේ වැඩේට යොදාගන්න මම කල්පනා කළා. නමුත් ඔහු කැමරාව ගැන දන්නවා. එහෙම හිතලා තමයි සුබෝද් දිල්ෂාන්ව තෝරගන්නෙ. ඔහු ටෙලිවලින් පිට වැඩ කරන කෙනෙක්. ඔහුත් එක්ක මං හිතපු සිනමා ආකෘතිය ගේන්න මට පහසු වුණා.


කොහොමද ඔබට මේ වගේ අදහසක් එන්නේ?


මං දෙරණට නාට්‍ය දෙක තුනක් ලියල තියෙන නිසා ලක්සිරි වික්‍රමගේ මහත්මයත් එක්ක ඒ කාලෙ ඉඳන්ම මගේ හිතවත්කම තිබුණා. ඔහු ඒ කාලෙම මට කිවුවේ වැඩක් කරනවා නම් බයිස්කෝප් විදිහේ වැඩක් කරන්න කියලා. මේ ප්‍රඩක්ට් එක හදලා මේ වැඩේට මාව මෝටිවේට් කළ ලක්සිරි මහත්තයාට මුලින්ම පෙන්නුවා. රෆ්ට් එඩිට් එක බලලා ඔහු මට ඉතාම හොඳ කමෙන්ට් එකක් දුන්නා. මේක ටෙලියකට වඩා හොඳ ෆිල්ම් එකකට. අපි මේකෙ ඉතුරු ටික ෆිල්ම් එකක් විදිහට ඉවර කරමු කියලා ඔහු කිවුවා. මාත් නිෂ්පාදකවරයාත් එදා ඒ එකඟතාවට ආවා. නමුත් මේක ෆිල්ම් එකක් කියලා හිතල කරපු දෙයක් නොවන නිසා පුළුල් තිරයට එද්දි යම් යම් අඩුපාඩු පේන්න ගත්තා. එතැනදි ෆිල්ම් එකක් කරමු කියන තීරණය පස්සට දාලා මේක දෙරණේ විකාශය කරන්න එකඟතාවකට ආවා. ෆිල්ම් එකක් කරමු කියන අදහස ඔළුවෙ තිබුණු නිසා මේකෙ මුල් කොටස් කිහිපය එක දිගට ෆිල්ම් එකක් වගේ තියලා සමීපතමයන්ට පෙන්නමු කියල අපි තීරණයකට ආවා. පහුගියදාක අපි ඒක කොළඹ කලම්බු සිටි සෙන්ටර් එකේ ස්කෝප් සිනමා ශාලාවේ පෙන්නුවා. ලංකාවේ සිනමාශාලාවක පෙන්නපු පළමු ටෙලි නිර්මාණය ‘හිතාගන්නම බැරි කතාවක්‘. ටෙලි අධ්‍යක්ෂවරයෙක් විදිහට එළියට බහිද්දි ඒක මට ලැබුණු හොඳ මතක සටහනක්.


ඉදිරියේදී බුද්ධිකව තිර රචක භූමිකාවෙන් එහා ගිය චරිතයක් විදිහට දකින්න ලැබේවි නේද?


ඔව්. ඊළඟ පියවර විදිහට මං මගේ ෆිල්ම් එකට සූදානම් වෙනවා. ඒක මාධ්‍යයකට කියන පළමු අවස්ථාව මේක. ෆිල්ම් එකක් කරන්න කලින් ඉඳන්ම සූදානම් වෙලා හිටියට ඉක්මනටම කරන්න ඕන කියන තැනට ඔළුව හැදුණෙ මේක කරල ඉවර වුණාට පස්සේ. ඒ ෆිල්ම් එකේ රිහර්සල් එක තමයි ‘හිතාගන්නම බැරි කතාවක්‘ විදිහට මේ දවස්වල පෙන්නන්නේ.


හිතාගන්නම බැරි කතාවක් ට්‍රේලර් එකටත් උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා නේද?


ඔව්. ඔව්. ඒකෙ කෙල්ල (දසුනි) කොල්ලගෙ (උද්දික) අත අල්ලලා අහනවා අත සීතලයි සෙම තියෙනවද කියලා. ඔයා කොහොමද දන්නෙ කියල කොල්ල අහද්දි මං මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියල කෙල්ල කියනවා. බැලූ බැල්මටම මෙතනදි පේන්නේ රචකයා නොදන්න දෙයක් ලියලා මාර අවුලක පැටලිලා වගේ. නමුත් පළමු කොටස බලපු අයට ඒකට උත්තරේ ලැබෙන්න ඇති. අත අල්ලලා සෙම තියේද කියල කියන්න පුළුවන් නම් එයා මාර දොස්තර කෙනෙක් තමයි කියලත් සමහරු කමෙන්ට් දාලා තිබුණා. මුල් කොටස් පහ දහය බලද්දි ඊළඟ මොහොතෙ මෙහෙම වේවි කියල හිතාගෙන හිටියට කිසිම වෙලාවක එහෙම වෙන්නෙ නෑ. වෙන දේවල් හැම එකක්ම හිතාගන්නම බෑ. එහෙම තැනක ඉඳන් තමයි මං ඒක ලිව්වේ. මෙහෙම නමක් යොදන්න හේතුවත් ඒක. දිල්ෂාන් පතිරත්න තේමා ගීතය ලියන්නෙත් පළමු කොටස් කිහිපය බලලා. ගායනා කරන්නේ උද්දිකමයි. ගීතය පටන් ගන්නෙත් හිතාගන්නම බැරි කතාවක් කියලා. මේ වැඩේ ඇතුළෙම නමේ තේරුම තියෙනවා.

gossiplanka image 2
Previous Post Next Post