රඟපෑ පළමුවැනි ප්‍රධාන චරිතයෙන්ම ප්‍රේක්ෂකයන් මට ගොඩක් ආදරය කරන්න ගත්තා -හිරුෂි පෙරේරා

gossiplanka image 2
 

මේ කාලයක් ඉතාම ජනප්‍රිය වුණු ගීතයක් බව ඔබට මතක ඇති. එය වසර ගණනක් තිස්සේ ජනප්‍රියම ටෙලි නිර්මාණයක් ලෙස ඔබේ ආදරය දිනාගත් ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ තේමා ගීතයයි. රූපරාමුවල පෙනී සිටින රූමත් තරුණිය කවුරුන්දැයි බොහෝ දෙනාගේ අවධානය යොමුවූවා ද මතකය. පුංචි තිරයට අලුත් මුහුණක් වූවා සේම ඇගේ අහිංසක පෙනුම ද කාගේත් ආදරය ලැබීමට හේතුවක් වන්නට ඇත. ඇය ප්‍රේක්ෂකයින් අතරට ආවේ ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාව වන අනගිගේ රුවිනි. එදා අනගිගේ භූමිකාවට පණ පෙවූ ඇය හිරුෂි පෙරේරාය. රංගනයට ආධුනික වූ හිරුෂි කුඩා කල සිටම නර්තන කලාව හා තදින්ම බැඳී සිටි අයෙකි. නර්තන හැකියාව ඇයට ආභරණයක් වූවාය. අනගි වන්නට හේතු වූ එකම සුදුසුකම ඇය සතු වූ දේශීය නර්තන හැකියාව වීම අතිශයෝක්තියක් ද නොවේ.


හිරුෂිගේ ආදරණීය සැමියා තීක්ෂණ මනරම් බණ්ඩාර ද කලා ක්ෂේත්‍රයේම නියැළෙන්නෙකි. ඔහු අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියකු වෙයි. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස බොහෝ ටෙලි නිර්මාණවලට දායක වී ඇති තීක්ෂණ ඉදිරියේ දී ඔහුගේම අධ්‍යක්ෂණයකින් ප්‍රේක්ෂක ඔබ හමුවනු ඇත. ඔහු මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන සේනාන් විමලවීරගේ මාරක සර්කස් ටෙලි නිර්මාණය ඔස්සේ රංගන ශිල්පියකු ලෙස ඔබ හමුවට එයි. අද අපේ කතාබහ හිරුෂි – තීක්ෂණ යුවළ සමඟිනි.


හිරුෂි බොහෝ දෙනා හඳුනගත්තේ ඔළිඳ පරාක්‍රම ඉස්කෝලෙ අනගි නිසා නේද?


ඔව්. අනගි කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. මං රංගනයෙන් දායක වුණු පළමුවැනි ප්‍රධාන චරිතයෙන්ම ප්‍රේක්ෂකයින් මට ගොඩක් ආදරය කළා. මං නිර්මාණ ගොඩකට දායක වෙලා නැහැ. ඒත් අනගි මට ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබාදුන්නා. අනගි දැන් ඔළිඳෙ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් එක්ක පාස් වෙලා එයා අලුත් ඉස්කෝලෙකට ගියා. අලුත් ටීචර්ලා ඇවිත් ඔළිඳෙත් දැන් ගොඩක් වෙනස් වෙලා. අලුත් ඉස්කෝලෙට ගිය නිසා අනගිටත් දැන් අලුත් යාළුවෝ අලුත් ගුරුවරු එක්ක තමයි කාලය ගත කරන්න වෙන්නේ. අනගිට වගේම හිරුෂිටත් ඒක වෙනස් අත්දැකීමක් වේවි. අනගි නම් තාමත් කැමැති ඔළිඳෙට. අනගිගේ ජීවිතේ බොහෝ මතකයන් තියෙන්නේ ඔළිඳ පරාක්‍රමේ තමයි. අනගි මගේ ජීවිතේට ආශීර්වාදයක් වුණා කිව්වත් හරි.


හිරුෂිව දන්නෙ නැති ඕනෙම කෙනෙක් අනගිව නම් දන්නවා ?


ඒක නම් සහතික ඇත්ත. අනගි කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ගම්බදවත් ඉස්කෝලෙ ටෙලි නාට්‍යය ගොඩක් ජනප්‍රියයි. අනගිගෙ අහිංසකකමට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මං පළමු රංගන අත්දැකීම ලැබුවේ දෙවනි ඉනිම ටෙලි නිර්මාණයෙන්. ඒක ලොකුවට විකාශය වුණු චරිතයක් නෙවෙයි. අනගි නිසා තමයි මාව ප්‍රේක්ෂකයින් හොඳින්ම හඳුනගත්තේ. අනගි නිසා තමයි මට ජීවිතේ ගොඩක් දේවල් ලැබුණේ. අසීමිත ප්‍රේක්ෂක ආදරයක් ලැබුණේ. ඒ ගැන හරිම සතුටුයි.


නර්තනයට මේ තරම් දක්ෂ හිරුෂි රංගනයට යොමු වුණේ ඇයි?


ඇත්තම කතාව කිව්වොත් මං පාසල් කාලේ කිසිම රංගන කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ. 4 වසරේ ඉඳන්ම මං ඉගෙන ගත්තේ නර්තනය. උසස් පෙළට කළෙත් දේශීය නර්තනය. මං මගේ පාසලේ ගුරුවරුන්ගෙන් විතරයි නර්තනය ඉගෙනගෙන තියෙන්නේ. දිසාමාලී ගුරු මෑණියන් වගේම ගුණරත්න බණ්ඩා ගුරුපියාණන් මං මේ වෙලාවෙ ආදරෙන් සිහිපත් කරනවා. ගුණරත්න බණ්ඩා ගුරුතුමා මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. ඒත් ඔවුන්ගේ ගුරුහරුකම් නිසා තමයි අද මං මේ වගේ තැනක ඉන්නේ. මාව මුළු රටම දන්නෙ අනගි නිසා. අනගි වෙන්න ප්‍රධාන සුදුසුකම වුණේ මං දේශීය නර්තනය හදාරලා තිබීම. ඒත් එක්කම මං බෙර වාදනය, බටනලා වාදනයත් ඉගෙන ගත්තා. උඩරට නර්තනයේ පායිම්පත් තැබුවා. ඒක උඩරට නර්තන කලාව ඉහළටම ඉගෙන ගත්තට පස්සෙ ලැබෙන ගෞරවයක්. ඒ වගේම ජාතික නැටුම් සහ සංගීතය විභාගවල පාර්ට් 1,2,3 තුනම අවසන් කළා. මේ දවස්වල නර්තනයේ කොරියොග්‍රැපි ඩිප්ලෝමාව හදාරමින් ඉන්නේ.


හිරුෂි මේ වෙද්දි දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ ගමන්මඟ ගැන කතා කළොත්?


අපේ අම්මට ලොකු ආසාවක් තිබුණා මාව කලාවට සම්බන්ධ කරන්න. අම්මම තමයි දෙරණ අවුරුදු කුමරිය තරගයට මගේ අයදුම්පතක් දාල තිබුණේ. මං අවසන් වටයට තේරුණා. ඒත් එක්කම දෙවනි ඉනිම ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණා. වෙද මහත්තයාගේ දුව තමීරා විදිහට තමයි මං පළමු රංගන අත්දැකීම ලැබුවේ.


තමීරා හිරුෂිට අමතක නොවන අත්දැකීමක් වුණාලු නේද?


තමීරා විදිහට මට දෙවෙනි ඉනිම මුල්ම සීන් එක තිබුණේ මයික් සහ චබී එක්ක. ඊට කලින් කවදාවත් මං රඟපාලා තිබුණෙ නෑ. දැන් මිනිස්සුත් වට වෙලා බලන් ඉන්නවා. මං බයේ වෙව්ලනවා. දෙබස් මතක් වෙන්නෙත් නෑ. කොහොමහරි ඒ වෙලාවෙ අධ්‍යක්ෂවරයාට තේරුණා මං බය වෙලා ඉන්නෙ කියලා. ඔහු මගේ ළඟට ඇවිත් මාව සන්සුන් කරලා මෙහෙමයි එන්න ඕන, මෙහෙමයි කරන්න ඕන කියලා මට කියල දුන්නා. ඊට පස්සෙ බය ටිකක් නැති වෙලා මං සීන් එක කළා. කවුරුත් කිව්වා පළමුවැනි පාරම මං හොඳට කළා කියලා.


හිරුෂි – තීක්ෂණ හමුවීම සිදුවෙන්නෙත් ඔය කාලෙ නේද?


කලාවට එන්න කලින් අපි දෙන්නා කතාබහ කරල තියෙනවා. අපි එකට ටුවරිසම් කළා. හැබැයි අපි අතරේ ආදර සම්බන්ධයක් ගොඩනැඟුණේ කලා ක්ෂේත්‍රයට ආවට පස්සේ. ඒ දෙවෙනි ඉනිම ෂූට් කරන කාලේ. අම්මා හැම වැඩකටම මගෙ පස්සෙන් එනවා. තීක්ෂණ මගෙන් කැමැත්ත අහපු වෙලෙත් මං කිව්වේ අම්මගෙන් අහන්න ඕන කියලා. ඒ වෙලාවේ අම්මගෙ අකමැත්තක් තිබුණෙ නැහැ. ආශ්‍රය කරලා බලන්න කිව්වා. ආශ්‍රය කරද්දි අපිට තේරුණා අපි දෙන්නගෙ අදහස් ගොඩක් දුරට ගැළපෙනවා කියලා. ඒ නිසා වැඩිකල් නොගිහින්ම අපි විවාහ වුණා. දැන් මගේ හැමදේකදිම උදවු කරන්නේ ඔහු. මං ගැන මටත් වඩා උනන්දු වෙන්නෙ ඔහු. නර්තනය වැඩිදුර ඉගෙන ගන්න කියලා මාව තල්ලු කරන්නෙත් ඔහු තමයි.‍


හිරුෂි මේ දවස්වල ගොඩක්ම නර්තනය පැත්තට යොමු වෙලා නේද?


ඔව්. රංගනයේ යෙදුණට මං ගොඩක්ම කැමැති නර්තනයට. මං පුංචි කාලෙ ඉඳන්ම දේශීය නර්තනය හැදෑරුවා. දැන් මගේම කියල නර්තන පන්ති පටන් අරන් මාස කිහිපයක් වෙනවා. වොලිවුඩ්, ටැමිල් , ෆී ස්ටයිල් මේ හැම දේම කරනවා. මගේම කියලා නර්තන ආයතනයක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙන නිසා නර්තනයට වැඩි අවධානයක් යොමුකළා. ඒ හීනය සැබෑ කරගන්න තමයි මං මේ දවස්වල වෙහෙසෙන්නේ.


තීක්ෂණ මනරම් බණ්ඩාර අපට මුලින්ම හමුවන්නේ අධ්‍යක්ෂ භූමිකාවෙන් කිව්වත් හරි. ටෙලි නාට්‍ය ගණනාවකම සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී ඇති ඔහු ළඟදීම අධ්‍යක්ෂවරයකු ලෙස කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය ඔබ වෙත තිළිණ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියි.


තීක්ෂණ මනරම් ගොඩක් දුරට අපට හමුවෙලා තියෙන්නේ සහාය අධ්‍යක්ෂ භූමිකාවෙන්. නමුත් මේ දවස්වල ඔබව දකින්නේ රංගන ශිල්පියකු විදිහට ?


මේ දිනවල ජාතික රූපවාහිනයේ විකාශය වන සේනාන් විමලවීරගේ මාරක සර්කස් ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. හිච්චා කියන්නේ ටිකක් මැර චරිතයක්. අපි කිහිපදෙනෙක් වටා ගෙතුණු මැණික් සම්බන්ධ කතාවක්. ඔවුන් ජීවත්වෙන්න ගහන ගේමක්. දවස් සීයක් ජීවත් වෙන පුද්ගලයකුගේ හැසිරීම් රටාව සම්බන්ධ කරගෙන තමයි කතාව හැදිල තියෙන්නේ. ටිකක් වෙනස් චරිතයක්. වෙනස් අත්දැකීමක්. මටත් පොඩි විවේකයක් ලැබුණු මොහොතක තමයි මේ ආරාධනාව ලැබුණේ. ඒ නිසා කැමැත්තෙන්ම සම්බන්ධ වුණා. මාව සම්බන්ධ කරගත්තට සේනාන්ට මං ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලස්සන තිර පිටපතක් ලියපු කවීෂවත් මේ වෙලාවෙ සිහිපත් කරනවා. හරිම ලස්සන කතාවක්. තව ටික දවසකින් අවසන් වේවි. ඒ අතරතුර තවත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණා. ඉදිරියේදී තවත් වැඩකින් දකින්න ලැබේවි කියල හිතනවා.


ඒ කියන්නේ තීක්ෂණ ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නේ රංගන ශිල්පියෙක් විදිහටමද?


මේ දවස්වල ලැබුණු විවේකයත් එක්ක සම්බන්ධ වුණු වැඩක් මේක. ඉදිරියේ දී මගේම අධ්‍යක්ෂණයෙන් එළියට එන අලුත්ම කතාවක් දකින්න ලැබේවි. ඒ මගේ දෙවැනි නිර්මාණය. මුලින්ම මං වෙබ් සීරීස් එකක් අධ්‍යක්ෂණය කළා. ටෙලි නිර්මාණයක් විදිහට මං අධ්‍යක්ෂණය කරන පළමු නිර්මාණය මේක. නිෂ්පාදනයෙන් සහාය වෙන්නේ අයේෂා අබේනායක‍. දැනට විකාශය කිරීමට සූදානම් වෙමින් ඉන්නවා.


මාරක සර්කස් ඔබේ පළමු රංගන අත්දැකීම ද?


නැහැ. මීට කලින් මං නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. මුලින්ම සම්බන්ධ වුණේ දෙවනි ඉනිමට. දිගටම යන චරිතයකට සම්බන්ධ වුණු දෙවැනි අවස්ථාව මේක. මීට කලින් ටෙලි ෆිල්ම්වලට සම්බන්ධ වෙලා තියෙනවා.


තීක්ෂණ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


මුලින්ම මං සම්බන්ධ වෙන්නේ බෞද්ධයා නාළිකාවට. ඒකෙ වැඩ කරගෙන ඉන්න ගමන් ජැක්සන් ඇන්තනී මහත්මයත් එක්ක හිටිය රුවන් පෙරේරා අයියා තමයි තරංග නිරිඇල්ල අයියට මාව හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ සංජය නිර්මාල් අධ්‍යක්ෂවරයා එක්කත් වැඩ කළා. එහෙම වැඩ කරගෙන යන අතරේ තමයි සාරංග මෙන්ඩිස් එක්ක සංගීතය සහ දෙ‍ෙවනි ඉනිමට අධ්‍යක්ෂණය පැත්තෙන් සම්බන්ධ වුණේ. ගොඩක් නිර්මාණවලට සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මගේම වැඩ විදිහට මියුසික් වීඩියෝ ඩිරෙක්ට් කළා. ඉදිරියට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. දමිළ නිර්මාණයක් කරන්නත් ආරාධනා ලැබිල තියෙනවා. ඊට අමතරව මගේම තිරපිටපතක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල තිරපිටපතක් ලියාගෙන යනවා.

gossiplanka image 1
Previous Post Next Post