මම ආසයි වෙනස් විදිහේ චරිත රඟපාන්න - ඔලීෂා නිව්යානදී ගුණවර්ධන

gossiplanka image 1
 


‘සිහින ගෙනෙන කුමාරියේ, ද ගේම්, මාව මතකද‘ ටෙලිනාට්‍ය හරහා ඔබ හමුවට පැමිණි මේ සුරතල් පොඩිත්තිය නමින් ඔලීෂා නිව්යානදී ගුණවර්ධනයි. ළමා රංගන ශිල්පිනියක් ලෙස කලඑළි බසිමින් ඇය දක්ෂ ලෙස රංගන කාර්යයේ නිරත වන්නීය. මේ කතා බහ වෙන් වන්නේ ඇයටයි.


ආයුබෝවන් ඔලීෂා ! මුලින්ම ඔයා කවුද කියලා අපිට කියන්නකෝ?


මම ඔලීෂා නිව්යානදී ගුණවර්ධන. මගෙ වයස අවුරුදු අටයි. මාවනැල්ලේ තමයි ජීවත් වෙන්නේ. සැප්තැම්බර් මාසේ ඉඳලා මම අලුත් ඉස්කෝලෙකට යනවා. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. මගෙ මල්ලිත් රඟපානවා. එයා ‘අමුතු දීගේ‘ ටෙලිනාට්‍යයේ සහ වෙ‍ෙළද දැන්වීම් ගොඩකට හිටියා. මල්ලිත් රඟපාන්න දක්ෂයි.


රඟපාන්න පටන්ගත්ත මුල්කාලේ ගැන මතක් කරමුද?


මම මේ ක්ෂේත්‍රයට එන්නේ වෙ‍ෙළඳ දැන්වීම් රංගනයෙන්. මේ වෙනකොට මම වෙ‍ෙළඳ දැන්වීම් 30කට වගේ ඉඳලා තියෙනවා. මම සම්බන්ධ වුණු පළමුවැනි ටෙලිනාට්‍යය ‘සිහින ගෙනෙන කුමාරියේ‘. කසුන් තරින්ද මාමා තමයි මාව ඒ නාට්‍යයට තෝර ගත්තේ. ඒ මාමා හරහා ටෙලි නාට්‍ය දෙකකට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.


ඊට පස්සේ මං හිටපු වෙ‍ෙළඳ දැන්වීම් දැකලා දිනේෂ් හග්ගල්ල අංකල් අම්මට කතා කරලා තිබුණා. සිරස නාළිකාවේ විකාශය වන ‘මාව මතකද‘ නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතයට එතුමා මාව තෝරගත්තා. අද මට හැමෝගෙන්ම ආදරේ ලැබෙන්නේ දිනේෂ් අංකල් මාව මේ නාට්‍යයට තෝරගත්ත නිසා.


ඔලීෂා, ඔයාගේ පළමුවැනි නාට්‍ය ගැන කතා ගැන අපට කියන්නකෝ?


හිරු ටීවි එකේ විකාශය වුණු ‘සිහින ගෙනෙන කුමාරියේ‘ නාට්‍යයේ සනුලිගේ පොඩි කාලේ චරිතයට මම හිටියා. එතකොට මට වයස අවුරුදු හයයි.


රූගත කිරීම් අතරතුර මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති නේද ?


ඔව්, හපුතලේ රූගත කිරීම්වලට ගිය දවස් නම් අමතක වෙන්නේ නෑ මට. කෝච්චියේ තමයි ගියේ. මායි මල්ලියි කෝච්චියේ සින්දු කිය කියා ගිය මොහොත මට අමතක වෙන්නේ නෑ.


ඒ වගේම හපුතලේ රූගත කිරීම් අතරතුර මගේ සපත්තුව ඇතුලට කූඩැල්ලෙක් රිංගලා මගේ කකුල කෑවා. ඒකට මං බය වෙලා කෑ ගැහුවා. අනික් අංකල්ලා ඉක්මනට මගේ සපත්තුව ගලවලා ඌව අයින් කළා. මං එදා හුඟක් බයවෙලා ගොඩක් ඇඬුවා.


එහේ හරිම සීතලයි. අපිට රෑ රූගත කිරීම් තියෙනකොට රෑ කෑම්ප් ගහලා මායි මල්ලියි කූඩාරම් ඇතුළට වෙලා සෙල්ලම් කළා. ඒක හරිම විනෝදයි. තව දවසක් දසුන් අංකල් මාව කරේ තියාගෙන යන්න ඕන කොටසක් තිබුණා. මං හරි බයෙන් අංකල්ගේ කර උඩ ගියේ. එයා මාවත් අරන් කන්ද උඩටම නැග්ගා. එදා ටිකක් බය හිතුණත් ඒවා මතක් වෙද්දි දැන් හරිම සතුටුයි.


ඔයා රඟපාන්න ආස විශේෂ චරිත එහෙම තියෙනවද ?


මට ලැබෙන හොඳ චරිත කරන්න මම ආසයි. වෙනස් විදිහේ චරිත කරන්නත් මම කැමතියි. ඒ අතරින් දමිළ චරිතවලට ගොඩක් ආසයි.


ඔලීෂට රඟපාන්න කවුද උදවු කරන්නේ ?


මට මගෙ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි මල්ලියි තමයි වැඩිපුරම රූගත කිරීම්වලට මා එක්ක එන්නේ. තාත්තටත් ඉඩ ලැබෙන හැම වෙලේම එනවා. තාත්තා වැඩට යන දවස්වලටත් නිවාඩු දාලා මා එක්ක රූගත කිරීම්වලට එනවා. සමහර දවස් වලට පාන්දරම රූගත කිරීම්වලට යන්න ඕන. ඒ දවස් වලටත් මමයි මල්ලියි හරි සතුටෙන් නැඟිටලා ඒ වැඩවලට සම්බන්ධ වෙනවා.


වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ චරිතය මොකක්ද ?


‘මාව මතකද‘ ටෙලිනාට්‍යයේ චරිතයට තමයි. ඒ නාට්‍යයේ සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමෝම මට හරිම ආදරෙයි. මගේ සීයට ඉන්න ශ්‍රියන්ත මෙන්ඩිස් සර් මට ඒ චරිතේ කරන්න ඕන විදිහ කියලා දීලා තමයි චරිතේ කරන්න කියන්නේ. තාත්තට ඉන්නේ දසුන් අංකල්. එයත් මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම හර්ෂ අංකල්, උදාරි ආන්ටි මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.


ඔලීෂගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද ?


මම ආසයි නැටුම් ඉගෙන ගන්න. රංගනය හොඳට හදාරලා ඒ අංශයෙන් ඉදිරියට යන ගමන් ගුවන් සේවිකාවක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


රඟපානවට අමතරව ඔයා කැමති වෙන දේවල් මොනවද ?


මම පොත් ලියන්න ආසයි. ඒ වගේම සින්දු කියන්න කැමතියි. දන්න විදිහට මේ දවස්වල මං කතාවක් ලියනවා. අම්මා, තාත්තගේ උදවුවෙන් පොතක් ලියලා පළ කරන්නත් කැමතියි. නැටුම් වලට, සින්දු කියන්නත් මං ආසයි. මාව මතකද නාට්‍යයේ ගයාන් ගුණවර්ධන අයියා එක්ක මම සින්දුවකුත් කියනවා.


ස්තුති කරන්න ඉන්න පිරිස මතක් කරමු.


දිනේශ් හග්ගල්ල අංකල්, ගයනි අසිංසලා ඇන්ටි, නිම්නුවන් අත්තනායක අංකල්ට වගේම සිරස නාළිකාවේ හැමෝමවත්, මට උදවු කරන හැමෝටම, මගේ රසිකයන්ටත් මම ගොඩක් ආදරයි.

gossiplanka image 2
Previous Post Next Post