
කාලයක් පුංචි තිරයෙන් නිතර දකින්න ලැබුණු චරිතයක් මේ දවස්වල රිදී තිරයේ තිරගත වෙන අනූෂ සංජීව අධ්‍යක්ෂණය කළ ‘මදර් ලංකා’ සිනමා නිර්මාණය හරහා දකින්න ලැබෙනවා. ඇත්තටම මොහු මෙච්චර කල් කොහේද ගිහින් හිටියේ. මොනවද දන්නේ නැහැ කළේ. ගොඩක් දෙනෙක්ට හිතෙන ගැටලු ටික අපේ හිතටත් ආපු හින්ද නුවන් ගුණසේකර වන ඔහුව අපි මුණ ගැසුණා.
නුවන් කොහොමද ඉතිං?
කාලෙකට පස්සේ… හොඳින් ඉන්නවා. කලාවට සම්බන්ධ වුණෙත් කාලෙකට පස්සේ.
පසුගිය කාලේ කොහේද ගිහිල්ලා හිටියේ?
ඇත්තටම ලංකාවෙන් පිට ගිහිල්ලා හිටියේ නැහැ. මම රඟපෑ අන්තිම නිර්මාණයෙන් පස්සේ මගේ ගම වුණු නුවරට ආවා. ගමට ඇවිත් මගේ දෙයක් පටන් අරගෙන පොඩි විරාමයක් අරගෙන ආපහු කලාවට සම්බන්ධ වෙන්න ඕනෑ කියලයි හිතුවේ. ඒක හින්දා නුවරට ඇවිත් මගේ නර්තන පන්තියක් වගේම පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් ඉතිං ආපහු වැඩකරන්න පටන් ගත්තා.
දිගු කාලයකට පස්සේ ‘මදර් ලංකා’ තුළින් දකින්න ලැබෙනවා?
ඔව්. සෑහෙන කාලයකට පස්සේ. මීට කලිනුත් සමහර නිර්මාණවලට මගේ නම යෝජනා වෙද්දී කට්ටිය කියලා තියෙනවා නුවන් ලංකාවේ නැහැ කියලා. ඒක හින්දා පොඩි නිහැඬියාවක් තිබුණා. නමුත් මටත් ඕනෑ වුණා ටික කාලයක ඉඳලා වැඩ කරන්න. ඉතිං කතාබහට ලක්වෙන හොඳ වැඩකින් සම්බන්ධ වෙන්න අදහසක් තිබ්බා. ඒ අතරේ තමයි මට ‘මදර් ලංකා’ සඳහා ආරාධනා ලැබුණේ.
මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය නේද?
ඔව්. මේක මගේ පළමු වන සිනමා නිර්මාණය. මීට කලින් මම ටෙලිනාට්‍යවලට තමයි ගොඩක් වෙලාවට රංගනයෙන් දායකත්වය ලබාදුන්නේ. පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි අද මල්ඵල ගැන්වෙන්නේ. ඇත්තටම සිනමාවට ආදරය හින්දමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නමුත් මොකක් හෝ අවාසනාවකට ඒ කාලේ සිනමාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් මම දැන් හිතනවා ඉදිරියේදී දිගටම සිනමාවට සම්බන්ධ වෙනවා කියලා.
මංජු කියන පුහුණුකරුවාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මදර් ලංකා නරඹපු ගොඩක් දෙනෙක් මා ගැනත් කතාබහ වෙනවා.
ඔබත් ක්‍රීඩකයෙක් නේද?
ඔව්. මම අවුරුදු 10 දී විතර තමයි ක්‍රීඩාවට යොමු වුණේ. අදටත් මම ක්‍රීඩාව අතහැරලා නැහැ. ක්‍රීඩාව කියන්නේ මට අලුත් තැනක් නෙමෙයි. ක්‍රීඩාව තුළින් පුහුණුකරුවෙක් කියන චරිතය රඟපාන්න හම්බ වුණේ පළමු වැනි වතාවට. නමුත් මම සැබෑ ජීවිතයේදී කික් බොක්සිං, මාෂල් ආර්ට් කළා. එතැනදී මම පුහුණුකරුවෙක් විදිහට කටයුතු කළා. ඒ වගේම දැන් නර්තන පන්තියේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කරගෙන යනවා. නමුත් පුහුණුකරුවෙක් විදිහට තිරයේ ඉදිරිපත් කරන පළමු වෙනි අවස්ථාව.
දැන් මේ දේවල් වලින් ඈත්වෙලාද?
මම කාලයක් මාර්ෂල් ආර්ට් පැත්තෙන් තමයි ඉදිරියට ගියේ. ඒ දක්ෂතාම තමයි මට නර්තනයට එන්න ප්‍රයෝජනවත් වුණෙත්.
නිහඬව හිටපු කාලය මොන වගේද?
නිහඬව හිටපු කාලයෙත් ඇත්තටම රඟපෑමට ආරාධනා ලැබුණා. නිහඬව ඉන්න පුංචි හේතුවකුත් තිබුණා.
ඒ මොකක්ද?
සිනමාවේ ප්‍රධාන චරිතයකින් ආපසු වැඩ පටන් අරගෙන සිනමාවේ රැඳෙන්න ඕනෑ කියන අදහස තමයි තිබුණේ. අනික මට හිතුණා මගේ පෙනුමත් වැඩිපුර භාවිතා වුණේ මට ඉදිරියට යන්න පුළුවන් විදිහට නෙමෙයි කියලත්. රූපවාහිනී වැඩසටහනකටවත් සහභාගි වෙන්නේ නැතිව ටික කාලයක් නුවරට වෙලා හිටියා. ආපහු මේ ක්ෂේත්‍රයට නමක් හදාගෙන එන්න ඕනෑ කියන අදහසත් තිබුණා.
දැන් දිගටම රඟපාන්න අදහසක් තියෙනවාද?
ඔව්. දැන් දිගටම රඟපාන්න අදහසක් තියෙනවා. සමාජ මාධ්‍ය හරහාත් මට ලොකු නැඹුරුතාවක් තියෙනවා. නර්තනය මම කොයිම වෙලාවකවත් අතහැරියේ නැහැ. ඒ හරහා මට ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වුණා. ඒ හැමෝම අහන්නේ දැන් රඟපාන්නේ නැත්තේ ඇයි? කියලයි. ඉතිං මට හිතුණා ඒ ඉල්ලීමත් එක්ක ආපහු රඟපාන්න ඕනෑ කියලත්.
ටෙලිනාට්‍යවල රඟපාන අදහස අතහැරියාද?
බොහෝ වෙලාවට දීර්ඝ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන එකක් නැති වෙයි. කොටස් සියයට අඩු ටෙලිනාට්‍යවලට තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. මගේ හීනය තිබුණේ ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න. ඒ ඇක්ෂන් හීරෝවීමේ සිහිනය සැබෑකර ගන්න තමයි තවම උත්සාහ කරන්නේ.
ඉස්සර රියැලිටි තරගවල හිටපු නර්තන ශිල්පියාට මොකද වුණේ?
මම රියැලිටි තරග හතරකට විතර සම්බන්ධ වුණා. රියැලිටි කියන්නේ වෙනම පැතිකඩක්. දක්ෂයා ද අදක්ෂයා ද ඉදිරියට එන්නේ කියලා හරියටම කියන්න අමාරුයි. හැබැයි මම අදටත් නර්තනය කියන විෂය හදාගත්තේ රියැලිටි වේදිකාවෙන්. ඒක නිසා මගේ දක්ෂතාවය මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ දැක්කා. මගේ ජීවිතයට අදටත් ඩාන්සින් සහ ඇක්ටින් කියන විෂයන් දෙක සමීපයි.
කොහොමද ඔබේ නර්තන පන්තියේ වැඩ කටයුතු එහෙම?
හොඳට කෙරීගෙන යනවා. මම මුලින්ම ආරම්භ කළේ එක පන්තියකින්. දැන් විවිධ පරාසයන්වල විවිධ ක්ෂේත්‍රවල පන්ති කිහිපයක්ම ආරම්භ කරලා තිබෙනවා.
ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?
ජීවිතයේ කොයිම වෙලාවකදීවත් කිසිම තැනකදී කලකිරුණේ නැහැ. මොකද මේ තැනට එන්න ලොකු කැපකිරීමක් මහන්සියක් සිදු කළා. අනික මේ ක්ෂේත්‍රයේ මගේ නෑදෑයෝ කවුරුවත් නැහැ. ආපු ගමන් මගේ ලොකු කටුක අත්දැකීම් ගොන්නක් තියෙනවා. නමුත් මම අද ඉන්න තැන ගැන අප්‍රමාණව සතුටට පත්වෙනවා. පොඩ්ඩක් හරි කලකිරීමක් තියෙනවා නම් තියෙන්නේ මගේ සිනමා ගමනේ ඇක්ෂන් හීරෝ කියන චරිතයට ළඟාවීමට නොහැකිවීම පිළිබඳවයි. මම හිතනවා ඉදිරියේදී ඒ සිහිනයට ළඟා වීමට හැකිවේවි කියලා.
තිරයේදී ඔබව දකිද්දී ඔබට මොකද හිතුණේ?
මෙහි විශේෂ දර්ශනයක්, අම්මාවරුන්ගේ දිනයේදී පවත්වපු වෙලාවේ තමයි මමත් මුලින්ම චිත්‍රපටය නැරඹුවේ. එදත් මම හරිම දෙගිඩියාවෙන් හිටියේ. මොකද මම මගේ ජීවිතයේ දැකපු ලොකු හීනයක්. මම හරි ආස වුණා, මම ගොඩක් චිත්‍රපට නරඹලා තිබුණා හෝල්වලට ගිහිල්ලා. සිනමාව කියන්නේ ලොකු වපසරියක් තියෙන විෂයක්. සිනමාව අති දැවැන්ත මට්ටමේ වැඩක්. ඒක මම එදා සජීවීව දුටුවා.
දිනේෂ් විතාන
