
රිදී තිරයට පායන අලුත්ම තාරකාවිය ඇයයි. ජාත්‍යන්තරය ජයගත් ජාතික ක්‍රීඩා ශූරියක් වන ෂෙනුකි දිශල්‍යා මේ දිනවල තිරගත වන ‘මදර් ලංකා’ සිනමා නිර්මාණයේ එමී ලෙසින් ඔබ හමුවට එනවා. ඉතිං මෙවර ‘මීවිත’ ෂෙනුකි සමඟ පුංචි කතාබහක නිරත වුණා. මේ එහි පෙළගැස්මයි.
ෂෙනුකි කියලා කතා කරන්නද? නැතිනම් එමී කියලා කතා කරන්නද?
මේ දවස්වල ජනප්‍රිය එමී කියලා තමයි. ඒ වුණාට ෂෙනුකි දිශල්‍යා කියලා තමයි ගොඩක් දෙනෙක් මාව දන්නේ.
කොහොමද ‘මදර් ලංකා’ සිනමා නිර්මාණයේ අත්දැකීම්?
මම සිනමාවට එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් හැම කෙනකුටම සිහිනයක් තියෙනවානේ. ඉතිං මගේ ලොකුම හීනය තමයි ක්‍රීඩිකාවක් විදිහට උපරිම ඉදිරියට යෑම. හැබැයි මම හිතුවේ නැහැ මට රඟපාන්නත් පුළුවන් කියලා. මම හිතනවා මගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
රිදී තිරයෙන් ඔබට ඔබවම දකිද්දී මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?
ගොඩක් සතුටුයි මම ගැන මටම ආඩම්බරයි මම පුංචි කාලෙ ඉඳලා හරි ආසයි අභියෝග භාර අරගෙන සාර්ථක වෙනවා දකින්න. මේකත් මම භාර අරගෙන සාර්ථක වුණ චරිතයක්.
එමීගේ චරිතය වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද සිදු කළේ?
පිටපත කියවද්දී මට දැනුණ දෙයක් තමයි ගොඩක් තැන්වලදී තිබුණේ මගේ කථාවම තමයි කියන අදහස. ඉතිං රඟපානවාට වඩා මට තිබුණේ මගේ ජීවිතයට වුණ දේවල් ප්‍රේක්ෂකාගාරයට පෙන්වීමටයි. එතකොට මට අලුතෙන් කරන්න තිබුණේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබඳව අධ්‍යයනයක නිරත වෙන්න විතරයි. එතකොට මම මාස තුනක් එක දිගට බැඩ්මින්ටන් ක්‍රීඩාව හැදෑරුවා.
එතකොට ෂෙනුකි කියන්නේ මොනවගේ චරිතයක්ද?
මම සැබෑ ජීවිතයේදීත් ක්‍රීඩිකාවක්. මම ජිම්නාස්ටික්, සවි එසවීම, ඩයිවින් කියන ක්‍රීඩා තුන තමයි කරල තියෙන්නේ. මට ක්‍රීඩා ජීවිතයේ සිද්ධ වුණ අසාධාරණකම් කීපයක් තමයි ‘මදර් ලංකා’ සිනමා නිර්මාණයෙන් පෙන්නුම් කරන්නේ. පිටපතේදී තිබුණු ඒ අවස්ථා නැවත වරක් කියවාගෙන යද්දී පොඩ්ඩක් හැඟීම්බර වුණා. මොකද මට සිද්ධ වුණ අසාධාරණකම් ගැන නැවත වරක් මම ම කියවනවා කියන අදහස ආවා.
සිනමාව දකින්නේ කොහොමද?
මම සිනමාව දකින්නේ ගොඩක් ලොකු පණිවුඩයක් ලබාදෙන්න පුළුවන් මාධ්‍යයක් විදිහට.
‘මදර් ලංකා’ හි එමීට වගේම ෂෙනුකිටත් සෑහෙන අසාධාරණකම් සිද්ධවෙලා තියෙනවා ද?
ඔව්… ඔව්… ක්‍රීඩාවෙන් තමයි මම ගොඩාක්ම මානසිකව වැටුණේ. අපි හැමෝම හිතන්නේ ක්‍රීඩාව හරිම සුන්දර තැනක් කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. අපි ඒක දැකල තියෙනවා. ගොඩක් ක්‍රීඩකයන් ක්‍රීඩාව නවත්වන්නේ ඒගොල්ලන්ට තියෙන අඩුපාඩු නිසා නෙමෙයි, ඔවුන්ට සිද්ධවෙන අසාධාරණකම් හින්දයි.
ෂෙනුකි මේ වෙනකොට ක්‍රීඩාවෙන් ඈත් වෙලා ද?
නැහැ. මම ඩයිවින් කියන ක්‍රීඩාව තවම සිදුකරනවා. මාස්ටර්ස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ වයස තවම ඒකට මදි. ඉතිං එතකන් පුහුණුවීම් සිදුකරනවා.
ඔබ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් නේද?
ඔව්. පුංචි කාලෙ මම කරපු වැඩ හින්දම අම්ම මාව ගෙනිහිල්ලා ජිම්නාස්ටික් ක්ලාස් එකකට දැම්මා. මුලින්ම අවුරුදු හතරෙදී තමයි ජිම්නාස්ටික් ඉගෙනගන්න පන්තියකට ගියේ.
ඒ කාලෙ අනතුරු වුණ එහෙම අවස්ථා තියෙනවා ද?
අනන්තවත් වැටිල තියෙනවා. හැබැයි මහ ලොකුවට තුවාල එහෙම වෙලා නැහැ. ක්‍රීඩා ජීවිතයේදීත් මම එක වතාවයි වළලුකර කඩාගෙන තියෙන්නේ.
පුංචි කාලෙදි ක්‍රීඩිකාවක් විදිහට තිබුණ හීන මොනවාද?
මම හරි ආසාවෙන් සිටියා ඔලිම්පික් යන්න. මට හැම සුදුසුකමක්ම තිබ්බා. හැබැයි මම අර කිව්වා වගේ සිද්ධ වුණු අසාධාරණකම් හින්ද මට ඒ හීනයට යන්න ගොඩක් අමාරු වුණා. පුංචිම කාලෙ ඉඳලා විශේෂත්වයක් දක්වන දේවල්වලට මුහුණ දුන්නා. මාව ගොඩාක් තැන්වල කැපුවා. සමහර තැන් තිබුණා මම තරගයකට ගිහිල්ලා මගේ ඉසව්ව කරනකොට වෙන ළමයකුගේ අම්මා කෙනෙක් ඇවිත් මට පෙත්සමක් ගහනවා. ඒ වගේ සිද්ධිවලට මානසිකව වැටුණු අවස්ථා ගොඩක් තියෙනවා.
එතකොට ක්‍රීඩාවෙන් ඈත්වෙලා අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා කියලා හිතුවා ද?
ගොඩක් තැන්වලදී හිතුවා, මට දැන් මේක කරන්න බැහැ, මේක ඇති කියලා. පොඩි ළමයෙක් වුණහම ඒවා හරි අමාරුයි දරාගන්න.
හැබැයි මගේ අම්මා හැමදාම කිව්වේ කවදාවත් නවත්වන්න එපා කියලයි. බ්‍රේක් එකක් ගන්නවා නම් ගන්න කියලත් කිව්වා. මම ක්‍රීඩාවෙන් මෙච්චර දුර ගමනක් ආවේ මගේ අම්මා නිසයි.
ජීවිතයේ තිබුණ හීන එහෙම මොනවද?
පවර් ලිෆ්ටින් පටන් ගත්තාට පස්සේ මම හරි ආසාවෙන් හිටියේ ඒෂියන් ගේම් යන්නයි, වර්ල්ඩ් ගේම් යන්නයි. ඉතිං ඒෂියන් චැම්පියන්ෂිප් යන්න පුළුවන් වුණා. ඒකෙන් ලංකාවට පදක්කම් හතරකුත් අරගෙන ආවා. හැබැයි ඔලිම්පික් තරගයට තවම පවර් ලිෆ්ටින් කියන තරගය නැහැ. වර්ල්ඩ් චැම්පියන්ෂිප් යන්න ආසාවක් තිබ්බා. හැබැයි අපේ ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ තිබුණ ප්‍රශ්නත් එක්ක අපිට සහභාගි වෙන්න බැරි වුණා.
ක්‍රීඩිකාවක් විදිහට මෙතෙක් ලබාගත් ජයග්‍රහණ ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?
මගේ සතුට වෙනුවෙන් මමම වියදම් කරලා මම කරගත්තු දෙයක්. ගොඩක් කට්ටිය ලංකාවෙදි ඒක ඇගයීමට ලක් කළේ නැහැ. ඒක මගේ පවුලේ කට්ටිය එක්ක මම විතරක් සමරන දෙයක් විදිහට තමයි මට දැනුණේ.
අම්මා අතින් දුවට සිද්ධ වුණ අසාධාරණය පිටපතකට ලියැවෙනවා. මොකද හිතෙන්නේ?
‘මදර් ලංකා’ චිත්‍රපටය කරද්දී මම දැනගෙන හිටියේ නැහැ මට මේ චිත්‍රපටයේ එමීලියාගේ චරිතය කරන්න හම්බවෙයි කියලා. මම ඒ වෙනකොට ගුවන් සමාගමක් සමග ගිවිසුමක් පවා අත්සන් කරලයි තිබුණේ, ගුවන් සේවිකාවක් වෙන්න. මම තිර පරීක්ෂණයට ගියත් මම දන්නනවා මේ චරිතය මට රඟපාන්න බැහැ කියලා. අන්තිමේ තිර පරීක්ෂණයෙන් මම සමත් වුණහම ලොකු සතුටක් දැනුණා. මොකද ක්‍රීඩා ජීවිතයෙන් මට වුණ අසාධාරණකම් හැමෝටම පෙන්වන්න පුළුවන්නේ, අනෙක් දරුවන් වෙනුවෙන් කතා කරන්න පුළුවන්නේ. එතකොට මම ගුවන් සේවිකාවක් වන සිහිනය පැත්තකට තියලා එමීගේ චරිතයට සූදානම් වුණා. අනික මම ආස නැහැ මාව ලිමිට් කරන තැන්වල ඉන්න. අන්තිමේ ගුවන් සේවිකාවක් වෙන සිහිනය අතහැරලා තමයි ‘මදර් ලංකා’ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වුණේ.
චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ඔයාගේ තාත්තා, ඔයාට විශේෂත්වයක් දැක්වූවද?
ඒගොල්ලො කවදාවත් බලෙන් මේක කරන්න කියලා කිව්වේ නැහැ. හැම තිස්සේම කියන්නේ දෙයක් කරන්න කලින් ඒක හොඳට අධ්‍යයනය කරල කරන්න කියලා. අනික මම දුව කියලා තාත්තා මට විශේෂත්වයක් දැක්වූයෙත් නැහැ. තිර පරීක්ෂණයෙන් සමත් වුණාට පස්සෙ අම්මයි තාත්තයි මාව රංගනය හදාරන්න පුහුණුකරුවෙක් ළඟට යොමු කළා.
ෂෙනුකි බැඩ්මින්ටන් ක්‍රීඩාවත් ඉගෙන ගත්තා ද?
පිටපතේ තිබුණේ බැඩ්මින්ටන් ක්‍රීඩාව කියලා දැනගත්තට පස්සේ, ඕක මොකක්ද අපි ගෙදරත් කරනවානේ කියලා තමයි හිතුවේ. නමුත් එහි ගැඹුර කියලා දුන්නේ අධ්‍යක්ෂවරයා වුණු මගේ තාත්තා. තාත්තා මට කිව්වේ මට මේක ඉන්ටර්නැෂනල් විදිහට තියෙන්න ඕනෑ කියලයි. ඊට පසුව මාස තුනක් පුහුණුකරුවෙක් ළඟට ගිහිල්ලා එහි තියෙන නීති රීති සියල්ලම මං හැදෑරුවා.
ඒ කියන්නෙත් තාත්තාගෙන් නිදහසක් ලැබුණේ නැහැ. එහෙමද?
ඔව්. මම ගොඩක් වෙලාවට හිතුවේ මට එහෙම නිදහසක් ලැබෙයි කියලා තමයි. අන්තිමේ අනෙක් අයට තිබුණ නිදහසවත් මට ලැබුණේ නැහැ. සමහර වෙලාවට බණින්නේ මයික් එකෙන්. ඒ වගේ වෙලාවට දුක හිතුණා. මොකද බණින්නේ තාත්තානේ. මගේ අම්මයි තාත්තයි කවදාවත් කියන්නේ නැහැ ෂෝට්කට්වලින් ඉස්සරහට යන්න කියලා.
ෂෙනුකිට තියෙන්නේ මොනවගේ හීනයක්ද?
මම ඇත්තටම හරි ආසයි ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. සිනමාව හරහාත් රංගනයේ යෙදෙනවා.
දිනේෂ් විතාන
