හොඳම දේ ලැබෙන්නේ අවංකව වැඩ කරන නිසා කියලා මං විශ්වාස කරනවා - දසුනි නවෝද්‍යා

gossiplanka image 1
 

එකිනෙකට වෙනස් අභියෝගාත්මක චරිත ත්‍රිත්වයකින් ඔබ හමුවට එන ජනප්‍රිය රංගන ශිල්පිනී දසුනි නවෝද්‍යා මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය වී සිටින්නේ නිසල් සත්සරගේ ‘ආලවන්ත හීනයේ’ මියුසික් වීඩියෝවේ රූප රාමු පෙළත් සමඟිනි. එහි දික්කසාද නඩුවක පැමිණිලිකාරියක් ලෙසින් අතිදක්ෂ රංගනයක යෙදෙන ඇය මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වන චරිතය යැයි කීවොත් නිවැරැදිය. අද අප හා කතාබහට එක්වන්නේ ඇයයි.


දසුනි මේ දවස්වල පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙනවා නේද?


ගොඩක් දෙනෙක් මගෙන් ඔය කතාව අහනවා. වැඩ තෝරගන්නෙ නැද්ද කියලත් අහනවා. මේ දවස්වල නාළිකා තුනක මගේ ටෙලි නිර්මාණ තුනක් විකාශය වෙනවා. ඒ නිසා ඕනෙම කෙනෙකුට හිතෙනවා ඇති දසුනි තෝරා ගැනීමක් නැතුව එන හැම නිර්මාණෙම භාර ගන්නවා ඇති කියලා. ඒක එහෙම නෙවෙයි. මං භාරගන්නේ තෝරාගත්ත චරිත විතරයි. ඇඳුම් ගැන වුණත් මං ගොඩක් හිතනවා. එකිනෙකට වෙනස්, වටිනාකමකින් යුතු, මට මොනවහරි කරන්න පුළුවන් කියලා හිතෙන චරිත විතරයි මං භාර ගන්නේ. මේ දිනවල එක පෙළට විකාශය වෙන්නේ කාල වකවානු තුනකදී සම්බන්ධ වුණු නිර්මාණ තුනක්. එක ළඟ විකාශය වීම තමයි සිදු වෙලා තියෙන්නේ.


හිතාගන්නම බැරි කතාවක් කියන්නේ ඔබ ප්‍රධාන භූමිකාවකින් සම්බන්ධ වෙන වෙනස්ම නිර්මාණයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


හිතාගන්නම බැරි කතාවක් ආලෝචනාගේ චරිතයේ ඉතාම පොඩි ප්‍රමාණයයි තාම විකාශය වුණේ. තාමත් ආලෝචනා පේන්න ඉන්නවා අඩුයි. ඒ චරිතය ඇතුළේ වෙනස් විදිහේ චරිත තුනක් වරින් වර මතු වෙනවා. ඉදිරියට වෙන දේ හිතාගන්නම බැරි වෙයි. සමාජයේ ජීවත් වන චරිත හරහාම සමාජයට යම්කිසි පණිවුඩයක් දෙන්න ගත්ත උත්හාසයක් කිව්වත් හරි. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් බුද්ධික සේමසිංහගේ. නිෂ්පාදකවරයා වගේම විශේෂයෙන්ම උද්දික අයියා, සනත් අයියා, රිතූ අක්කා ඇතුළු ප්‍රවීණයන් මතක් කරන්න ඕන. ඔවුන්ගෙන් ලොකු සහායක් ලැබුණා. මං උද්දික අයියා එක්ක වැඩකරන පළමු අවස්ථාව. මං නොහිතුව තරමේ ලොකු සහායක් ඔහුගෙන් ලැබුණා. ඔහු සුහදශීලී නිහතමානී කෙනෙක්. ඔහුත් එක්ක වැඩකරන්න ඉතාම පහසුයි.


හිද්දලයෝ කියන්නෙ ඔබට වෙනස්ම අත්දැකීමක් නේද?


හින්නි මැණිකේ කියන්නේ මං මෙතෙක් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් අභියෝගාත්මක චරිතයක් කිව්වොත් හරි. භාෂාව තමයි ලොකුම අභියෝගය වුණේ. එක්දහස් අටසිය අසූ ගණන්වල සිදුවීමක් පාදක කරගෙන කළ නිර්මාණයක්. භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස්. රූගත කළේ නුවර තෙල්දෙණියේ. මගේ සිරුරේ පාටත් අඩු කළා. රෙද්ද හැට්ට ඇඳලා දුවල, පැනලා ඉන්න චරිතයක්. මගේ රංගන ජීවිතේට ලැබුණු ලොකුම අභියෝගය මේ නාට්‍යය කිව්වොත් හරි. මං හරිම කැමැත්තෙන් භාරගත්තා. මට ඒ අවස්ථාව ලබාදුන්න අධ්‍යක්ෂ රනිල් කුලසිංහ වගේම රචක ප්‍රියාල් වීරසිංහ සිහිපත් කළ යුතුයි. ඒ වගේම රංගන දායකත්වය සපයන සියලුම දෙනා ප්‍රවීණයන් වීමත් විශේෂත්වයක්. එතන ඉන්න වයසින් අඩුම කෙනා මම. හිද්දලයෝ දෙබස් එවෙලේ බලලා කරන්න බැහැ. පිටපත බලලා චරිතය හොඳින් අධ්‍යයනය කරලා, භාෂාව අධ්‍යයනය කරලා තමයි සෙට් එකට යන්න ඕනේ.


ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කරනවා නම්?


සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල විකාශය වන නිර්මාණ තුන ගත්තොත් හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත තුනක්. හිද්දලයෝහි රෙද්ද හැට්ට ඇඳන් ඉන්න හින්නි මැණිකා, රොකී එකේ සියාරා බවට පත්වෙද්දි කොල්ලෙක් වගේ ගහමරා ගන්න, අවි ආයුධ පාවිච්චි කරන තත්ත්වයට පත්වෙලා. ආලෝචනා කියන්නේ හොර කල්ලියක සාමාජිකාවක්. නිර්මාණ තුනට ලැබෙන ප්‍රතිචාර වෙනස්.


මේ දවස්වල සමාජ මාධ්‍ය කලඹන දසුනිගෙ දික්කසාද නඩු පැටලැවිල්ල මොකක්ද?


ඒක ගැන නම් කියන්නම ඕන. ඒ ෂෙයාර් වෙන්නේ නිසල් සත්සරගේ අලුත්ම මියුසික් වීඩියෝවේ දර්ශන පෙළක්. මගේ ජීවිතේ මම කරපු, හදවතට දැනුණු, ඉතාම සංවේදී සත්‍ය සිදුවීමක් ඇසුරින් කළ රංගනයක්. ටෙලි නිර්මාණවලටත් වඩා හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. සියලුම සමාජ මාධ්‍යවල ෂෙයාර් වෙනවා. ගොඩක් අය මට කතා කරනවා. නිසල් අයියටත් කතා කරනවා. බලපු හැමෝම කිව්වේ ඒක බලල ඇඬුනා කියලා. ආදරය නිසා විඳින විඳවන පිරිස අතිවිශාලයි කියල තේරෙන්න මේ ලැබෙන ප්‍රතිචාර හොඳටම ප්‍රමාණවත්.


දසුනි තාම ක්ෂේත්‍රයට නවකයෙක්. මේ ආපු ගමන ගැන ආපහු හැරිල බැලුවම මොකද හිතෙන්නේ?


මම හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි අපි අපේ ජීවිතයේ ඕනෙම දෙයක් අවංකව කරනවා නම් ලැබෙන ප්‍රතිඵලයත් අවංකයි කියන එක. සමහර විට හොඳ දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා. මං රංගනයට ඇවිත් තාම අවුරුදු දෙකයි. මේක මං හරිම හෙමින් ආපු ගමනක්. මං ගන්න මුදලට වඩා වැඩි දෙයක් නිර්මාණය වෙනුවෙන් කරනවා. මට හොඳම දේවල් ලැබෙන්නේ අවංකව වැඩ කරන නිසා කියලයි මං හිතන්නේ. අවංකව වැඩ කරනවා නම් කවදාවත් වරදින්නෑ කියන එක මං හැමදාම විශ්වාස කරන දෙයක්.

gossiplanka image 2
Previous Post Next Post