
තනුජා ජයවර්ධන කියන්නේ අපේ රටේ වෙනසක් ඇති කරපු නිවේදිකාවක්. “රස රිසි ගී ”ඔස්සේ වෙනස් මානයක් ඇති කරපු අද වෙද්දී රංගන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තියෙනවා. ඒ, මහාරාණි නාට්‍යයේ මහාරාණි ලෙසින්. වෘත්තීය රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟින් රංගනයේ යෙදෙන තනුජා කිසි විටෙකත් ඇය රංගනයට ආධුනික බවක් නොපෙන්වයි. ඒ නිසාම රසඳුන මේ කතාබහ මහාරාණි ගැන තනුජා ජයවර්ධන සමඟ
තනුජාට මහාරාණි වෙන්න ලැබුණේ කොහොමද?
මුලින්ම මට කතා කළේ මහාරාණි නිර්මාණයේ අධ්‍යක්ෂ විශ්ව ලංකා. විශ්ව කතා කරලා මාව එයාගේ වැඩකට ගන්න හිතුවා කියද්දී මුලදිම මම කිව්වා රංගනයේ යෙදෙන්නේ නම් නැහැ. හේතුව එ්ක මගේ වෘත්තීය රංගනය නොවන නිසා මම බයයි ඒ වැඩේට කියන එක. ඒත් ඔහු කිව්වේ මට පිටපත එවන්නම් කියවලා ඉවර වෙලා කියන්න කිව්වා. පිටපත කියෙව්වමත් මට දැනුණේ ගොඩක් රඟපාන්න තියෙනවා කියන එක. එතැනදිත් ඔහු කිව්වේ කොළඹ ෂූට් එකක් තියෙනවා, ඒක කරලා බලමු. සැටිස් නැත්නම් නොකර ඉමු කියලා. මට මුල්ම දවසෙම තේරුම් ගියා මගේ ගැන අවබෝධයකින් මට කතා කරපු වැඩක් කියන එක. හැම තැනකදීම ඔහු මගේ චරිතේ ගොඩනඟන්න උදවු කළා. ඒ එක්කම මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්න සියලුම ශිල්පීන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා.“
මහාරාණි නාට්‍ය විකාශය වෙන්න පටන් ගෙන දැන් මාස කිහිපයක් වෙන නිසා ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරන්නත් අපි අමතක කළේ නැහැ
ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. මේ නාට්‍යයේ මුල්ම පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණු වෙලාවේ එහි තිබුණා මම කියන දෙබස් ටිකක්. ඒ දෙබස් හරි ප්‍රබලයි. ඒ වෙනකම් මාව දැකලා තිබ්බේ සරලව සුන්දරව ජීවිතේ ගැන, සින්දු ගැන කතාකරන මාධ්‍යවේදිනියක් විදියට. මම හැමවෙලේම උත්සාහ කරන්නේ හැපි වයිබ් එකක් දෙන්න. එතනින් එහාට ගිහින් ඉතාම දරුණු ලොකු පෞරුෂයක් තියෙන ආයුධ පාවිච්චි කරන දේශපාලන බලයක් සහිතව කියන දෙබස් ටික ටීවී දෙරණින් මුදාහැරියට පස්සේ, මම නිදාගෙන නැඟිටිනකොට මට හය දෙනෙක් විතර එයාලගේ වොයිස් එකෙන් වොයිස් එක කරලා එවලා තිබුණා.
ඒ දෙබස් ටිකත් මතක් කළොත්?
“අපේ දුවට මේක වුණේ, ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරපු නිසා ඇතිවුණු මානසික පිඩාවටයි.
මේකට සම්බන්ධ හැම කෙනෙක්ටම මේ ලෝකේ තියෙන වේදනාකාරීම මරණය අත් වෙන්න ඕනේ.
උඹේ කනගාටුවෙන් මගේ දුවට ආයේ පණ එනවද”
ඒක මට අලුත් අත්දැකීමක් වුණා. මම ළඟින්ම ආශ්‍රය කරන මගේ වැරදි පවා පෙන්වා දෙන අයත් කිව්වේ මාව පරිස්සමෙන් හසුරුවලා කියන එක. ඒ ගෞරවය යන්න ඕනේ සම්පූර්ණයෙන්ම විශ්ව මල්ලිට. මම දැන් කොහේ ගියත් අන්න මහාරාණි එනවා කියනවා. මගේ මුහුණු පොතටත් මහාරාණි කියලා කමෙන්ට් එනවා.“
වෘත්තීය නිවේදිකාවක් වුණත් හරි අපූරුවට ලැබුණ චරිතේ තුළ ජීවත් වෙන නිසාම අහන්න හිතුණ දෙයක් තමයි කවදා හරි රඟපෑමේ ආසාවක් හිතේ තිබ්බද කියන එක.
නැහැ, කවදාවත් මම රංගන ශිල්පිනියක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. පාසලේදී වුණත් මම වේදිකා නාට්‍ය පිටපත් ලියපු කෙනෙක්. ඒ හැර පාසලේදීවත් නිවේදන කටයුතු කරලත් නැහැ. නමුත් මම පාසල් කාලෙත් කොණ්ඩේ කොටට කපලා කොල්ලා වගේ හිටිය නිසා පාසල් නාට්‍යවල කොල්ලගේ චරිතේ, තාත්තගේ චරිත, මාමගේ චරිත කරලා තියෙනවා. හරි සුන්දර පාසල් කාලයක් මට තියෙන්නේ. මේක සමහර විට මට හිතෙන්නේ මගේ පෞරුෂය ගැන හිතලා මට ලැබුණු ඇරයුම් කියලා. සිනමා නිර්මාණයකටත් මේ වෙද්දී ඇරයුම් ලැබිලා එහි පිටපත කියවමින් ඉන්නේ. මේ දේවල් ලස්සන මතක විදියට මගේ කලා ජීවිතේ තුළ පවතියි.
අද වෙද්දී ලැබූ අත්දැකීම් එක්ක ජීවිතේ දැනෙන්නේ කොහොමද…?
“ජීවිතේ කියන්නේ තිර පිටපතක් වගේ. ඒක ලියලා එවලා තියෙන්නේ. සමහර තැන් අපිට වෙනස් කරන්න පුළුවන්. සමහර තැන් අපිට වෙනස් කරන්න බැහැ. ඉතින් අපේ කැපවීමෙන් දුර දක්නා නුවණින් සහ අධ්‍යාපනයෙන් අපිට අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. හැමදාම එකම දේ කරන කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් දවසින් දවස අපේ ජිවිත වෙනස් කරගන්නවා ද කියන එක තියෙන්නේ අපේ අතේ.
ජීවිතේ දී හුදකලා බව දැනෙන තැන්වලදී ඔබ මොකද කරන්නේ?
දැන් නම් මට හුඟක්ම හුදකලා බව දැනෙන්නේ අම්මා සහ අක්කා ගැන හිතද්දී. පුළුවන් හැම වෙලාවෙම මම ගෙදර තාත්තා එක්ක රැඳෙනවා. තාත්තා දන්නවා මම කාර්යබහුල කෙනෙක් කියලා. තාත්තාත් එයාගේ විශ්‍රාම ජිවිතේ ගත කරනවා. එයා මහජන බැංකුවේ හිටපු සේවකයෙක් නිසා හුඟක් සුබසාධන කටයුතු එක්ක කාර්යබහුලයි. ලංකාවේ දුෂ්කර පළාත්වල නැති බැරි මිනිසුන්ට උදවු කරන ව්‍යාපෘති එක්ක වැඩ කරනවා. ඒ වගේම මට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. හුඟක්ම පාළුවක් දැනුන වෙලාවට කාර් එකේ බ්ලූටූත් එකේ මම තියන් ඉන්න මම ආස සින්දු ටික අහගෙන ඩ්‍රයිව් කරනවා. නැත්නම් යාළුවෝ එක්ක කොෆි එකකට යනවා. මම හුදකලා වෙලා ඉන්නේ නැහැ. අවශ්‍ය තැනකදී ෆීල් එකක් විදියට හුදකලා වෙන අවස්ථාත් තියෙනවා. නමුත් මම ඒක ලොකුවට කරන්නේ නැහැ. ඩ්‍රයිව් එකකට ගිහින් මම හිත පුරෝගෙන එනවා. ලොකුම හිඩැස තියෙන්නේ මගේ අම්මා සහ අක්කා අපෙන් වෙන්වීම. ඒක මගේ ජීවිතෙත් ගොඩක් දේවල් වෙනස් කළා. ඒ දෙන්නගෙම ලොකු ආශීර්වාදයක් මට තියෙනවා. ඒක මට දැනෙනවා. මම ජීවත් වෙන්නේ ඒ දෙන්නා කියලා දුන්නු ලස්සන ලෝකේ ඇතුළේ. සමහර වෙලාවට හිත ඇතුළෙන් සයිලන්ස් කොන්වසේෂන් යන අවස්ථාත් තියෙනවා. මේක තමයි මගේ තිර පිටපත. ඒ ඇතුළේ ලැබෙන සතුට වගේම හුදකලා බවත් විඳ ගන්නවා. ඒක දුකක් විදියට නෙවෙයි මම දකින්නේ. නිදහස් විවෘත මනසකින් තමයි මම ඒ දිහා බලන්නේ.
