
‘දුමාරේ’ ගීතයත් සමග හැමෝම වගේ කතා කරන්න පටන් ගත්තු Robee Jay ගේ අලුත්ම ගීතය තමයි ‘ගේම’. ඇත්තටම මොකක්ද මේ ‘ගේම’. ඒ ගැන දැනගන්න වගේම දුමාරෙන් පස්සෙ Robee Jay ගේ අලුත්ම සංගීත වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් අපි අදහස් කළා.
Robee ඇත්තටම මොකක්ද මේ ‘ගේම’?
ගේම කියලා කියන්නේ ඇත්තටම මගේ තුන්වැනි ගීතය. බොහොම අපූරු සිදුවීම් මාලාවක් අනුව නිර්මාණය වුණු මේ ගීතයෙන් අපේ ජීවිතවලට ගත හැකි පාඩම් ගොඩක් තියෙනවා. මේ දවස්වල ගීතයේ ප්‍රතිචාර එක්ක ඉදිරියට යනවා.
‘ගේම’ නිර්මාණය වුණේ කොහොමද?
මේක ඇත්තටම නිර්මාණය වෙන්නේ ලංකාවේ ගොඩක් ගීත නිෂ්පාදනය කරලා තිබෙන ඉවෝක් ආයතනයේ මිලාන් බාලගේ කියන නිෂ්පාදක තුමාගෙන්. මෙහි පද ටික සමාජයට ගැළපෙන වචන ටිකක්. පද රචනාව සිදු කරලා තියෙන්නේ ෂෙහාන් ගලහිටියාව අයියා. සංගීතය නිර්මාණය සිදු කළේ ඩිල්ෂාන් එල්. සිල්වා.
මෙහි රූප රචනාවත් ටිකක් වෙනස්?
රූප රචනාවෙන් ඇත්තටම කියන්න උත්සාහ කරන්නේ බලය තියෙන තැනට තමයි හැමදේම එකතු වෙන්නේ. සමාජ විරෝධි කටයුතුවලට විරෝධතාවය දක්වන පුද්ගලයකුට ඇතිවන බලපෑම් තමයි මේ නිර්මාණය හරහා පෙන්වලා තියෙන්නේ. සමස්තයක් විදිහට ගත්තහම නැති බැරි කියන මිනිස්සු හැමදාම පීඩනයට, දණ්ඩනයට ලක්වුණා, ඇති හැකි අයට වඩා. ඉතිං රූප රචනාවෙන් කියන්න උත්සාහ කළේ ඒක කියන එකයි මගේ හැඟීම.
දුමාරේ ඇත්තටම දුමාරයක් වගේ පැතිරුණා. මොකද අද වෙනකොට ඒ ගැන හිතෙන්නේ?
අද වෙනකොට මට කියන්න වචන නැහැ. මගේ මුළු ජීවිතයම උඩු යටිකුරු කරපු පදවැල තමයි ඒ පදවැල. ඉතිං ලංකාව පුරාම වගේම ලෝකය පුරාම රටවල් ගණනාවකින් මට ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම මම ගතකරමින් හිටපු ජීවිතය විශාල ලෙසකින් වෙනස් වෙමින් පවතිනවා. ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතිනවා. ඉතිං මම හිතනවා මගේ මුළු ජීවිතයම වෙනස් කරගන්න මේ විශ්වය තමයි මට මේ ගැළපුම හදල දුන්නේ කියලා. බොහොම ඉවසීමෙන් අවුරුදු 44ක්ම මම සංගීතයත් එක්කම හිටපු කෙනෙක්. විවිධාකාර භාෂාවන්ගෙන් විවිධාකාර ගීත ගායනා කළා. ඒත් මොනතරම් ගීත ගායනා කළත් ‘දුමාරේ’ තමයි ජනප්‍රියම ගීතය කියන එකට ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. හරි සතුටුයි මේක දිහා බලනකොට.
‘ගේම’ පද රචනාව ෂෙහාන් ගලහිටියාවගෙන් නේද?
දුමාරේ ගීතය ලියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙසෙන අපේ අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ. මම උන්වහන්සේගේ මීට කලින් අහලා තියෙන්නේ සංජීව ලෝන්ලියන්ස් ගායනා කරන ‘පිටකවරේ’ කියන ගීතය. එතකොට ෂෙහාන් ගලහිටියාව අයියාගේ ගීත අහලා තියෙනවා. ඊට ගොඩක් කල් ඉඳලා.
අපි මේ ගේම ගීතයේ පටිගත කිරීම් සිදු කරද්දි ශබ්දාගාරය ඇතුළේදීම වට්ස්ඇප් මාර්ගයෙන් මට ෂෙහාන් අයියා සින්දුවේ වචන ටික දැම්මා. එතකොට ෂෙහාන් අයියා කිව්වා මල්ලි ඔයා මීට කලින් මට පණිවුඩ එවලා තියෙනවා කියලා. ගොඩාක් කාලයකට කලින් මම ඔහුට පණිවුඩයක් යවලා තියෙනවා “ඔයාගේ පදවැලකට මගේ කටහඬ මුසු කරනවාමයි” කියලා. ඒ යවපු පණිවුඩයත් මට පෙන්නුවා. ඉතිං මම බලාපොරොත්තුවෙන් හිටපු පදරචකයකුගේ පදවැලකට තමයි මට ගායනයෙන් දායක වෙන්න ලැබුණේ.
‘හීන පුරේ කොළඹ’ ගීතය ගැනත් කතා කළොත්?
‘හීන පුරේ කොළඹ’ කියන ගීතය මම 2017 වසරේදී ලියපු ගීතයක්. ඒකෙන් මම කියන්න උත්සාහ කළේ මම තරුණයෙක් වශයෙන් උසස් පෙළ අවසන් කරලා ‘කොළඹට ඇවිත් ගේමක් ගහනවා’ කවදාහරි ජීවිතය දිනනවා වගේ අදහසින් ගම්වලින් ඇදීගෙන කොළඹට එන තරුණයන්ට කොච්චර කට්ටක් කන්න ඕනෑ ද? කොච්චර ගේමක් ගහන්න ඕනෑ ද කියන කතාව තමයි මෙයින් කියැවෙන්නේ. අනික කොළඹ ටී වී එකකින් වීඩියෝවකින් දකින තරම් සුන්දර නැහැ. කොච්චර කට්ටක් කන්න ඕනැද මේක ඇතුළේ ගේමක් ගහන්න කියන කතාව තමයි ‘හීන පුරේ කොළඹින්’ කියන්නේ.
ප්‍රසංග වේදිකාවට ලැබෙන ආරාධනා එහෙම කොහොමද?
ඉතාම හොඳයි. සමහර අවස්ථාවල මට ලැබෙන ආරාධනා භාරගන්න බැරි තරම් ප්‍රසංග තියෙනවා. ඉතිං බොහොම අමාරුවෙන් කාලය කළමනාකරණය කරගෙන තියෙන වෙලාවලට පුළුවන් තරම් ප්‍රසංගවලට සහභාගි වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඇතැම් පාර්ශ්ව ඉන්නවා ‘දුමාරේ’ ගීතය මේ වේලාවේ ඉතාම ජනප්‍රිය වෙලා තියෙන හින්දා මගේ ඡායාරූපය, මගේ ගම, ‘දුමාරේ’ කියන ගීතයේ නම යොදලා ප්‍රචාරක පුවරු භාවිතා කරලා තියෙන. සමහර ප්‍රසංග මම දන්නෙත් නැහැ. ඉතිං එහෙම වෙලාවට ඒ වගේ කරන අය සම්බන්ධයෙන් අපිට නීතිමය පැත්තෙන් කටයුතු කරන්න සිද්ධවෙනවා. ඒ වැඩේ කරන්නේ වෘත්තීය ප්‍රසංග සංවිධායකවරු නෙමෙයි.
Robee Jay මේ වෙනකොට ගේම ගැහැව්වා කියලා හිතනවාද?
ඇත්තටම ගේම ගැහැව්වා ෂෙහාන් අයියා කියන්න කලින් මම ගේම ගැහැව්වා.
ආපස්සට හැරුණහම මොකද හිතෙන්නේ?
මම හැමවෙලාවෙම කල්පනා කරනවා, එදා මම ජනප්‍රියත්වයට පත්වුණා නම් සමහර වෙලාවට මම ඉවරටම ඉවර වෙලා. සින්දු කියන්නම ඕනෑ කියලා හිතලා අවුරුදු 13ක් මම රැකියා කරපු ආයතනවලින් ඉවත් වුණා. එතකොට ලොකු අවදානමක් අරගෙන සංගීතය ෆුල්ටයිම් කරගත්තා. හැබැයි එදා මට මේ ජනප්‍රියත්වය ලැබුණා නම් මම සමහර වේලාවට ඉවරෙටම ඉවර වෙලා. මොකද ජීවිතයේ ලොකු බරක් තේරෙන්නේ නැති කාලයක මේ ජනප්‍රියත්වය ලැබුණා නම් අපිට ජීවිතයේ ඒ ස්තරවලදී ලැබෙන දේවලුත් එක්ක මේ වෙනකොට මම ඉවරෙටම ඉවරවෙලා. හැබැයි මම හිතනවා මට නිසි කාලයේදී නිසි වේලාවේදී මේ විශ්වය මේ ගැළපීම ඇති කළා කියලා. ඉතිං අනෙක් කාරණාව තමයි මම බොහොම ඉවසීමෙන් මේ ගමන යා යුතුයි කියන තැන මම ඉන්නවා.
ඒ වගේම මම ලංකාවෙ ඕනෑම සංගීත කණ්ඩායමක් සමග බොහොම සුහදව කටයුතු කරන කෙනෙක්. තව මම සංගීතයෙන් උපයන මුදලින් සමාජ සේවා කටයුතු රැසකට සහයෝගය ලබාදෙනවා. සමාජ සේවා කටයුතු වෙනුවෙන් වගේම රෝහල් අරමුදල් වෙනුවෙනුත් පවත්වන ප්‍රසංග සඳහා ද මම මුදල් අය කිරීමකින් තොරව සහභාගි වෙලා තියෙනවා.
දිනේෂ් විතාන
