
විරාජ් පෙරේරා ඔබ බොහෝ විට දැන හඳුනාගත්තේ මියුසික් වීඩියෝ කලාවෙනි. නමුත් මේ වනවිට ඔහු චරිතාංග නළුවකු ලෙස පුංචි තිරය මෙන්ම රිදී තිරය ද ජයගෙන ඇත. මේ දිනවල ඔබ වඩාත්ම ආදරය කරන පාට කුරුල්ලෝහි නුරාන්ගේ භූමිකාවට පණ පොවන ඔහු විලන් චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂක හදවත් ගැඹුරින් ස්පර්ශ කිරීමට සමත්ව ඇත. ආලවන්තීහි ඔහු උදයංගය. සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ මේනක ප්‍රේමචන්ද්‍රය. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මගේම දෝ මෙන්ම දෙරණ නාළිකාවේ විකාශය වන මහාරාණී ද ඔහුට අලුත් අත්දැකීම් එක් කළේය. අරුණ ජයවර්ධනගේ නවතම ටෙලි නිර්මාණයේ රූගත කිරීම් අතරතුර ඔහු අප හා අත්දැකීම් බෙදා ගත්තේය.
විරාජ් මේ දිනවල ගොඩක්ම කාර්යබහුලයි නේද?
ඔව්. මේ දවස්වල මගේ ටෙලි නිර්මාණ පහක් විකාශය වෙනවා. ඒ ‘පාට කුරුල්ලෝ’, ‘ආලවන්තී’, ‘සිත නිදි නෑ’, ‘මහාරාණි’, ‘මගේම දෝ’. එකිනෙකට වෙනස් චරිත පහක් කිවුවත් හරි. ‘පාට කුරුල්ලෝ’ නුරාන් කියන්නේ විලන් කැරැක්ටර් එකක්. ‘ආලවන්තී’ උදයංග රක්ෂණ සමාගම් නියෝජිතයෙක්. ‘සිත නිදි නෑ’ මේනක කියන්නේ මැදි වියේ පසුවන මාධ්‍යවේදියෙක්. පොත් රචකයෙක්. ‘මහාරාණි’ කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ආරක්ෂක නිලධාරියෙක්. විශ්ව ලංකාගේ දෙවැනි ටෙලි අධ්‍යක්ෂණය. ප්‍රධාන චරිතයක් නොවුණත් ජාත්‍යන්තර සිනමා පටයක වගේ ඔහුගේ එක බැල්මකට මං ලොකු හැදෑරීමක් කළා. ඒ වගේම මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ජී. නන්දසේනගේ ‘මගේම දෝ’ කියන්නෙත් මට වෙනස්ම අත්දැකීමක්.
විරාජ් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය නුරාන් නිසා. විලන් කැරැක්ටර් එකකින් ජනතාව අතරට යනවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි නේද?
ඔව්. නුරාන්ට පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. නුරාන් විලන් චරිතයක් වුණත් මිනිස්සුන්ට දැනිලා තියෙනවා කියන එක මට ලොකු සතුටක්. බුද්ධික ඒ චරිතය හරි ලස්සනට ලියාගෙන යනවා. විශේෂයෙන්ම කියන්න ඕන ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නෙ මගේ වාසනාවට හමුවුණු අධ්යක්ෂවරයෙක්. පාට කුරුල්ලෝ කියන්නෙ මං ඔහුත් එක්ක කරන තුන්වැනි නිර්මාණය. මුලින්ම මං ඔහුත් එක්ක වැඩ කළේ පාර දිගේ. මේ දිනවල විකාශය වන ආලවන්තීත් ඔහුගේ. ඇත්තම කිවුවොත් එදා පාර දිගේ ටෙලි නිර්මාණයේ හිටපු විරාජ් නෙවෙයි අද පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ ඉන්නේ. ඔහු මාව පුදුමාකාර විදිහට ගොඩනැඟුවා.
විරාජ් මේ දවස්වලත් ලොකු වැඩක නේද ඉන්නේ?
මේ සියල්ලේම ෂූටින් යන අතරේ අරුණ ජයවර්ධනගේ අලුත්ම ටෙලි නිර්මාණයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකත් ඉක්මනින්ම විකාශය වේවි. බිමල් අයියත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණු පළමු අවස්ථාව. මං ගොඩක් ආසාවෙන් හිටියා ඔහුත් එක්ක වැඩක් කරන්න. මේ දවස්වල නුවර රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. අනෙක් සුබ ආරංචිය තමයි මං රංගනයෙන් දායක වුණු ‘නීරා‘ සිනමාපටය ලබන 18 වැනිදා ඉඳන් දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වෙනවා. ‘නීරා‘ කියන්නෙ දැවැන්ත වැඩක්. සිනමාවේ ලොකු බ්ලාස්ට් එකක් වේවි කියල හිතනවා. සුමිත්‍රා රාහුබද්ධගේ තිර රචනයක්. විසල් ආදරය සිනමාපටයේ අධ්යක්ෂ වාසව බදුගේ අධ්‍යක්ෂණයක්. නීරා සිනමා ප්‍රේක්ෂකයින්ට අමතක නොවන අත්දැකීමක් වේවි. ලොකු බලාපොරොත්තුවකින් ඉන්න වැඩක්.
මියුසික් වීඩියෝ කලාවේ ඉතාම ජනප්‍රිය වෙලා හිටිය විරාජ් එක පාරටම පුංචි තිරයේ එක දිගටම දකින්න ලැබෙනවා. කොහොමද ඒක වෙන්නේ?
මං කලාවට පිවිසෙන්නේ මියුසික් වීඩියෝ හරහා. ගොඩක්ම ජනප්‍රිය වුණා. මියුසික් වීඩියෝ විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මට පුංචි තිරයට පිවිසෙන්න ලොකු කාලයක් බලන් ඉන්න වුණා. ඒක නෙවෙයි වෙන්න ඇති මගේ කාලය. එක පාරටම මට පුංචි තිරයේ වැඩ ගොඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. කාලයක් තිස්සේ මගේ මහන්සියේ ප්‍රතිඵල තමයි දැන් මේ ලැබෙන්නේ. මට මේ දේ ලැබුණෙ පහුවෙලා. මේක වෙන්න ඇති කාලෙ. කොතරම් කාර්යබහුල වුණත් කාලය කළමනාකරණය කරගෙන වැඩ ටික කරගෙන යනවා. කොහොමත් මං හරි ආසයි චරිතාංග කියන කැටගරි එකට. මං හිතනවා මේ දවස්වල ඒකට අවස්ථාව ලැබිලා තියෙනව කියල. මේ තැන හදා ගන්න මං ගොඩක් මහන්සි වුණා. පෙම්වතා, අයියා, තාත්තා, විලන්, මැදි වයසේ චරිත හැම එකක්ම ඒ අතරේ තියෙනවා.
‘සිත නිදි නෑ’ මේනක කියන්නෙ මැදි වයසේ මාධ්‍යවේදියකුගේ චරිතයක්. ඒ අභියෝගය ජය ගත්තෙ කොහොමද?
ඇත්තටම ඒක අභියෝගයක් තමයි. එතැන මං නිරූපණය කරන්නේ අනාගතයේ එන්න තියෙන රංගනයක්. මෙතැනදි මං ෆේල් වුණා කියන්නේ මට අනාගතයක් නැහැ කියන එක. වයස හතළිහක වගේ කෙනෙක් පනස් පහක විතර කැරැක්ටර් එකක් කරද්දි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද එතැනදි හතළිහේ කෙනාගේ ජවය එතැනට ගැළපෙන්නෙ නැහැ. ජවය අඩු කරගන්න ඕන ඇවිදින, දුවන වේගය බාල කරගන්න ඕන. කතා කරද්දි වුණත් එහෙමයි. රැවුළ, කොණ්ඩය වයස්ගත කරනව වගේම ජවය, ශක්තියත් බාල කරගන්න ඕන. චරිතය පුරාවටම අපි ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.
ඔබ රංගනයෙන් දායක වන පුංචි චරිතයක් වුණත් කතාබහට ලක් වෙනවා. මොකක්ද හේතුව?
ඒකට හේතුව විදිහට මං දකින්නේ මට ලැබෙන චරිතය ප්‍රධාන එකක් නොවුණත් පුංචි චරිතයත් වුණත් මං ලොකු කැපකිරීමක් කරනවා. මේක් අප් එකෙන් කොණ්ඩයෙන් වුණත් ලොකු වෙනසක් වෙනවා. මේක මෙහෙම වුණොත් හොඳයි නේද කියල අහලා සමහර වෙලාවට මමම මූලික වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අත්දැකීම් ලබමින් හෙමින් හෙමින් ආපු ගමනක් මේක.
