මිනිස්සු අඬවන එක ලේසියි , රටෙන්ම බැනුම් අහලා මෙතෙන්ට ආවේ -ලක්මාල් වීරසිරි

gossiplanka image 1
 


ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ. නමින් ඔවුන් දෙදෙනා හඳුනන අය ඉතාම අඩු වුණත් ලකයි සිකයි කිව්වාම ඔවුන්ව හඳුනන්නේ නැති කෙනෙක් නැති තරම්. යූ ටියුබ් හරහා අතිශය ජනප්‍රිය වූ ලකයි සිකයි සිනමාව පැත්තටත් එන්න හදනවා කියන ආරංචියට පිනිපලස අපි ඔවුන්ව සම්බන්ධ කරගත්තා. මුලින්ම අපිත් එක්ක එකතු වුණේ ලකා, එහෙමත් නැත්නම් ලක්මාල් වීරසිරි.




අලුත් චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියමුකෝ.




ඔව්. අපේ පළවෙනිම චිත්‍රපටය තමයි "සුරදෙටුවෝ". අපි ඒක හඳුන්වන්නෙත් "ලකයි සිකයි අතිශය ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය" කියලා. ඒ වගේම මගේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය සහ සුදේශ් මුතුනවගොන්නගෙත් පළවෙනි නිෂ්පාදනය තමයි සුරදෙටුවෝ කියන්නේ. මෙහි පිටපත් රචනය සුනෙත් මාලිංග ලොකුහේවාත් මමත් ප්‍රියනාත් විදානපතිරණත් අපි තුන්දෙනාම එකතු වෙලා තමයි කරන්නේ. අපි සාමාන්‍යයෙන් යූ ටියුබ් වීඩියෝ කරන පිළිවෙළටම සහ ආකෘතියටම, ඒ විහිළු කරන ක්‍රමවේදයෙන්ම සිනමාවට ගැළපෙන විදියේ පිටපතක් සහ අධ්‍යක්ෂණයක් සමගින් චිත්‍රපටය කරන්න බලාපොරොත්තු වෙනවා.




යූ ටියුබ් වීඩියෝ කරලා ගීත නිර්මාණ කරලා හදිස්සියේම සිනමාව පැත්තට හැරෙන්න හිතුණේ ඇයි?




යූ ටියුබ් වීඩියෝවලට එන්න කලින් අපි වෙළඳ දැන්වීම් කළා වීඩියෝ ප්‍රඩක්ෂන් කළා. යූ ටියුබ් වීඩියෝ පටන් ගත්තෙත් මේකට තියෙන කැමැත්ත නිසා. එතනින් එහාට මගේ හිතේ තිබ්බ ලොකුම හීනයක් තමයි චිත්‍රපටයක් කරන එක. ලංකාවේ අපිට මේ කලාව ඇතුළේ යන්න පුළුවන් උපරිම තැනනේ සිනමාව කියන්නේ. ඒ හීනය තමයි මේ ගොඩදාගන්න හදන්නේ.




චිත්‍රපටය තිරගත වෙන්නේ කොයි කාලෙද?




මේ අවුරුද්ද ඇතුළත චිත්‍රපටය තිරගත කරන්නට බලාපොරොත්තු වෙනවා සහ ඒ වෙනුවෙන් උත්සාහ කරනවා.




චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු නිළියන් ගැන කිව්වොත්?




මේ චිත්‍රපටයේ මමත් ශානුත් ඒ කියන්නේ ලකයි සිකයි ඉන්නවා. ඊට අමතරව අපේ චූටි දුව නෙතිනි ප්‍රධානම චරිතයක් කරනවා. එයා වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙත්. ඒ වගේම සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, දර්ශන් තවරාජා, සුහන්දි උපේත්මා, සුධීක්ෂා සමාධි, අජිත් වීරසිංහ සහ මගේ බිරිඳ වන ශාලිකා නදීශානි ආදී නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.




පවුලේ අයව වැඩිපුර නිර්මාණවලට ගන්නවා කියලා චෝදනා එල්ල වෙලා නැද්ද?




මෙහෙමයි ඉතින්. එහෙම දේවල් ආවත් මම ගණන් ගන්නෙ නෑ. මගේ බිරිඳට රඟපාන්න පුළුවන්නම් මගේ දූලාට රඟපාන්න පුළුවන්නම් එයාලාට අවස්ථාවක් ලැබෙන්න ඕනේ. කොහොමත් තාත්තා අවස්ථාවක් නොදී පිට කෙනෙක් අවස්ථාවක් දෙන්නෙත් නෑනේ. ඔක්කොටම කලින් මම අවස්ථාව දෙන්න ඕනෙනේ.




සුරදෙටුවෝ චිත්‍රපටයේ තේමාව ටිකක් වෙනස් විදියේ එකක් නේද?




ඔයා අහලත් ඇති මේ ලෝකෙ ගාර්ඩියන් ඒන්ජල් කියලා සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය පාදක කර ගනිමින් තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. කතාවේ ඉන්න චූටි දුව එයාව බලාගන්න කාවහරි එවන්න කියලා ඉල්ලනවා. ඉතින් සුර දූතයෝ දෙන්නෙක් එයාව බලාගන්න එනවා. ඒ ආවාම ඒ දෙන්නාට වෙන අලකලංචි ටික තමයි චිත්‍රපටයේ දිගහැරෙන්නේ.




පොඩි ළමයින්ට ගැළපෙන ගීතයක් තියෙනවා ඒක චූටි දුවයි සිකයි මමයි ගායනා කරනවා. අනිත් ගීත දෙකත් චිත්‍රපටයට ගැළපෙන විනෝදාත්මක ගීත. ඒ ගීත දෙකත් ගායනා කරන්නේ අපි දෙන්නා. එතකොට මේ ගීත හතරම ලිව්වේ මම. ගීත දෙකක් කසුන් කල්හාර සහ අනිත් ගීත දෙක නිසාම් සංගීතවත් කළා.




රූගත කිරීම් සිදු කළ කාලය ගැන කතා කරමුද?




අපි තලවකැලේ, නුවර සහ කොළඹ රූගත කිරීම් කරනවා. ඔයා මේ කතා කරන දැනුත් අපි තලවකැලේ රූගත කිරීම් සිදු කරමින් ඉන්නේ.




ඔබේ යූ ටියුබ් වීඩියෝ එකක් සාමාන්‍යයෙන් උපරිම විනාඩි 30කට සීමා වෙනවා. චිත්‍රපටයක් එහෙම නෙවෙයි. ඒ වෙනස දැනුණේ කොහොමද?




යූ ටියුබ් වීඩියෝ එකක් උපරිම ලොකුවට බැලුවොත් අඟල් 65ක රූපවාහිනී තිරයකනෙ නරඹන්නේ. එහෙම නැති වුණොත් ජංගම දුරකතනයකින් තමයි බොහෝවිට අපේ වීඩියෝ එකක් නරඹන්නේ. ඒත් සිනමාව කියන්නේ ඊටත් වඩා පුළුල් තිරයක්. ඒ පුළුල් තිරය ඇතුළේ පෙන්නන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි විනාඩි 20ක් 30ක් සහ පැය දෙකක කාලය අතරත් ලොකු වෙනසක් තියෙනවා. එහෙම බැලුවාම යූ ටියුබ් වීඩියෝ එකකට වඩා සිනමාව ගොඩක් සංකීර්ණ දෙයක්. යූ ටියුබ් එකෙන් එහාට යනකොට ඒ දේ හරියට දැනගෙන අවබෝධයෙන් යන්න ඕනෙ. ඒ විදියට අපි සිනමාවට ගැළපෙන විදියට ඒ පැය දෙක කළමනාකරණය කරගෙන ලස්සන කතාවක් ගේන්න උත්සහ කරනවා.




සිනමාවට එන්න කලින් මේ ගැන අධ්‍යයනයක් කරන්නත් ඇති?




නැතුව ඉතින් මේ වගේ ලොකු වැඩකට අතගහන්නත් බෑනෙ. නිෂ්පාදකවරයෙක් මේ වෙනුවෙන් මුදල් වියදම් කරනවා අපි ඒ මුදල්වලට වගකියන්න ඕනෙ ඒ මුදලට ගැළපෙන නිර්මාණයක් කරන්න ඕනෙ ඉතින් ඒ දේවල් එක්ක මෙතෙක් තිබුණ අත්දැකීම් සහ හොයලා බලලා එකතු කරගත්ත දැනුම එක්ක මේ වැඩේ කරගෙන යනවා.




 "සභාවේ සිනා" සහ ලකයි සිකයි live in concert ප්‍රසංග දෙක ගැනත් මතක් කරමුද?




ඉදිරියේදී සභාවේ සිනා ප්‍රසංගය පවත්වන්න කටයුතු කරනවා ඒ වගේම විදෙස් රටවලිනුත් ආරාධනා ලැබිලා තියෙනවා. ලකයි සිකයි live in concert ප්‍රසංගයක් සැප්තැම්බර් මාසේ පැවැත්වෙනවා ඒ වගේම අපි ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඩුබායි වගේ රටවල් කිහිපයකම ඒ ප්‍රසංගයත් පැවැත්වුවා.




ප්‍රහසන කලාවට ශිල්පීන් කොච්චර එකතුවුණත් ඔබට ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක්නම් නෑ. ඒ ගැන මොකද හිතෙන්නේ?




ඒක ඇත්තටම අපේ ලොකු වාසනාවක්. ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා කියන්නේ බය නැතුව දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ චිත්‍රපටයට වුණත් අතගහන්නේ ඒ ප්‍රේක්ෂකාගාරය විශ්වාස කරලා සහ ප්‍රේක්ෂකයෝ අපිව විශ්වාස කරනවා අපි වැඩක් කළොත් ඒක රසවත් ඇති කියලා. ඉතින් ඒ විශ්වාසෙත් නොබිඳ ප්‍රේක්ෂකාගාරයත් විශ්වාස කරගෙන තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ.




මිනිස්සු හිනස්සන එක ලේසිද?




ඒක තමයි අමාරුම වැඩේ. මොනවහරි දුක හිතෙන සංවේදී දෙයක් කරලා මිනිස්සු අඬවන එක ලේසියි. ඒත් හිනස්සන එක ලේසි නෑ. ඒ වගේම ඒකෙ ප්‍රමිතියක් තියෙන්නත් ඕනෙ. සරම් කඩන් දුවලා හරි ගස් වටේ දුවලා හරි ආපස්සට දුවලා හරි හිනස්සනවට වඩා මිනිස්සු කැමති විහිළු තියෙනවා. එතනින් එහා දෙයක් කරමින් හිනස්සන එක ලේසි වැඩක් නෙමෙයි.


කතා බහ අතරේදි ශාන්, එහෙමත් නැත්නම් සිකා එක්කත් කතා කරන්න අපි අමතක කළේ නෑ. මොකද ලකා ළඟ සිකා නැතිනම් වැඩක් නැති නිසා.




සුරදෙටුවෝ ගැන වචනයක් කියමුද?




සුරදෙටුවෝ කියන්නේ අපේ හීනෙ. ලකා ඉතින් මට කලින් ඉඳලා මාධ්‍යයේ හිටියා මම මැදදිනෙ ලකයි සිකයි එක්ක වුණත් සම්බන්ධ වෙන්නේ. වීඩියෝ කරන කෙනෙක්ගේ ලොකුම හීනෙ තමයි රිදී තිරය ඉතින් ඒ හීනෙ හොඳ විදියට හැබෑ කරගන්න මේ දවස්වල මහන්සි වෙනවා.




ඔබ ලකයි සිකයි සමග එකතු වෙන්නෙ කොයි කාලෙද?




2020දී පමණ තමයි මං ලකයි සිකයි සමග එකතු වෙන්නේ. මට කලින් දුමින්ද අයියා ලකා අයියා එක්ක වැඩ කළා. ඒ දෙන්නා අතර සිදු වුණු කුමක් හෝ දෙයක් නිසා ඒ දෙන්නා දෙපැත්තට වීමත් සමග ඒ අවස්ථාව මට ලැබෙනවා. ඒක මට අනුවනම් අහම්බයක්. කොහොම වුණත් ඒක ලොකු අභියෝගයක් වුණා කමෙන්ට්වලින් එහෙම රටෙන්ම බැණුම් අහන්න වුණා. දැන් ඉතින් හොඳයි කියලා අහගෙන ඉන්නවා. ඒ ගැන නිහතමානි සතුටක් තියෙනවා.




ඔබ වෙනත් වෘත්තියක නියැළෙන ගමන්ද මේ සමග සම්බන්ධ වෙන්නේ?




අපේ ප්‍රඩක්ෂන් හවුස් එකේ තමයි ලකයි සිකයි වැඩ කරන්නේ. ඒක පටන් ගන්නත් කලින් ඉඳලාම මං අපේ ප්‍රඩක්ෂන් හවුස් එක Sanity Creations එකේ වැඩ කළා. ටික කාලෙකින් එතනින් අයින් වෙලා වෙනත් රැකියාවකට ගියත් නැවතත් Sanity එකටම එනවා.




ලකයි සිකයි වීඩියෝවල පිටපත් ලියන්නේ කවුද?




ලකා අයියා තමයි.




ඒ සම්බන්ධව ඔබ දෙදෙනා අතර මතභේද ඇවිත් නැද්ද?




ඇත්තටම නෑ. සාමාන්‍යයෙන් අයියා ස්ක්‍රිප්ට් එකක් ලිව්වම කතා කරලා කියනවා ශානා මෙන්න මෙහෙම අයිඩියා එකක් තියෙනවා මෙහෙම ආවොත් හොඳයිද කියලා. ඒ ගැන විවේචනයක් කවදාවත් ඇවිත් නැහැ වගේම අයියා කලබලෙන් වැඩ කරන්නේ නෑ කොහොමත්. මධ්‍යස්ථව අපි හැමෝගෙම අදහස් එක්ක මේ වැඩේ කරගෙන යනවා.




හිනා නොවී මිනිස්සු හිනස්සන එක ගැන මොකද හිතෙන්නේ?




ඒක මට කියන්න තේරෙන්නෙ නැති තරම්. මට චරිතයක් ලැබෙන හැමවෙලේම මට සහයෝගය දුන් අය ගොඩක් ඉන්නවා. ඉතින් මට ලැබෙන හැම චරිතෙම මම හරි ආදරෙන් කරනවා. ඒ නිසා මට හිනා යන්නෙ නැතුව ඇති. දැන් දැන් මේ විහිළු කරන එක මගේ ඇඟටම පත්තියන් වෙලා.




ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න අදහසක් තියෙනවද?




දැනට එහෙම හිතාගෙන ඉන්නවා.




 සැබෑ ජීවිතයෙත් සිකා වගේද?




සිකා වගේ ඉන්න තිබුණානම් හොඳයි. මොකද සිකාට ප්‍රශ්න නෑනේ. කාටවත් ප්‍රශ්නයක් නොවී කාගෙන්වත් ප්‍රශ්නයක් නොවී ඉන්න තියෙනවා නම් එච්චරයි ඉතින්. 

gossiplanka image 2
Previous Post Next Post