
චතූ රාජපක්ෂ මේ දිනවල ඔබට මුණගැසෙන්නේ පාරාදීසේ ටෙලි නාට්‍යය තුළින්. හැබැයි පහුගිය දවස්වල ඇය රඟපෑ The Lake ටෙලි නාට්‍යය නිසා බොහෝ දෙනෙක් ඇය ගැන කතා කළා. මේ නිසාම ඇය ගැන තොරතුරු දැනගන්නත් එක්ක චතූව සම්බන්ධ කරගත්තා. The Lake නාට්‍යය අවසන් වුණත් ඇය එතැනින්ම කතාව ආරම්භ කළා.
The Lake Tv Series එක සඳහා රංගනයෙන් සම්බන්ධවෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ තවත් සුවිශේෂි සංධිස්ථානයක් කිව්වොත් හරි. The Lake හරවත් පිටපතක් පාදක කරගෙන දක්ෂ නළු නිළියො යොදාගෙන ඉහළ ප්‍රමිතියෙන් නිර්මාණය කරපු ටෙලි නාට්‍යයක්. රංගනය ගැන තියෙන අත්දැකීම් එක්ක මට The Lake Tv Series එකේ රඟපෑම ඒ තරම් අභියෝගයක් වුණේ නැහැ. ඒ නිසා කුතුහලය දනවන ත්‍රාසජනක ටෙලි නාට්‍යයක් වුණ The Lake වෙනුවෙන් මම ගොඩක් කැමත්තෙන් සම්බන්ධ වුණා. The Lake Tv Series එකේදි මට හිතන්න වුණ එකම කාරණය සමලිංගික පෙම්වතියක් විදිහට රඟපානවා කියලා මාව ප්‍රේක්ෂකයො වැරදියට තේරුම් ගත්ත දේ විතරයි. මගේ ප්‍රතිරූපයට හානිවෙන විදිහෙ රංගනයන්වල මම කිසි දවසක නියැළෙන්නෙ නැහැ. මගේ ප්‍රතිරූපයේ සහ රංගන වෘත්තීයේ ගෞරවය රැකෙන විදිහට මට අනන්‍ය වුණ සීමාවන් දාගෙනයි රංගනයේ යෙදෙන්නෙ. The Lake තුළ ඉදිරිපත් කරපු රංගනය ඒ සීමාවන්වලට යටත්ව කරපු රංගනයක්. ඒ වගේම ඒ සීමාවන් බිඳ හෙලන රංගනයන් මම කවදාවත් ඉදිරිපත් කරන්නේ නැහැ.
මේ වෙද්දි මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් වසර පහකට වඩා වැඩියි. මේ කාලය ඇතුළත දුෂ්ට චරිත, අහිංසක චරිත සහ අභියෝගාත්මක චරිත ඉදිපත් කළා. විවිධ රංග පරාසවල චරිත ඉදිරිපත් කරමින් චරිතාංග නිළියක් විදිහට ක්ෂේත්‍රයේ ඒ විදිහට ආපු දුර ගැන මම තෘප්තිමත් වෙනවා.
චතූ මුලින්ම ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට. නමුත් අද ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය නිළියක් හැටියට. නිවේදිකාව, නිළියක් වූ ගමනත් හරිම වෙනස් අත්දැකීමක්...
රටේ සහ ලෝකෙ සිදුවෙන දේශපාලනික, කාලීන සිදුවීම් ප්‍රවෘත්ති විදිහට වාර්තා කිරීමේදි වගකීමක් සහ අභියෝගයක් මට නිතරම දැනුණා. නමුත් රංගන ශිල්පිනියක් වෙලා රඟපාද්දි සැහැල්ලු සුන්දර හැඟීමකුයි මට නිතර දැනුණෙ. රංගනයට සහ ප්‍රවෘත්ති වාර්තාකරන වෘත්තියට මම එක සමානව ආදරය කරනවා. හැබැයි ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් විදිහට වඩා රඟපාද්දි මාව විශාල ප්‍රේක්ෂකයො ප්‍රමාණයක් අතරට ගියා. මම සතුව තියෙන රංගන හැකියාව ප්‍රේක්ෂකයො ඉදිරියේ ඔප්පු කරන්න රංගනයේදි අවස්ථාව ලැබුණා. ඒ නිසා ප්‍රවෘත්ති වාර්තාකරනවට වැඩිය රඟපාන්න මම ගොඩක් කැමතියි.
චතූ විවාහකයි කියන එක හංගන්නේ නැත්තේ ඇගේ සැමියා ඇයව හොඳින් තේරුම් ගත් නිසා. මේ නිසා ඇයට විවාහය රංගනයට ප්‍රශ්නයක් වුණේ නැහැ.
රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන කාලයේදිමයි මම සැමියා එක්ක විවාහ වුණේ. රංගන කටයුතුවලදි සැමියගෙන් හොඳ සහයෝගයක් මට ලැබෙනවා. නමුත් මම මත්තෙම ඉන්නෙ නැතුව සැමියා ව්‍යාපාර අංශයේ ලොකු වැඩ කොටසක නිරතවෙලා ඉන්නවා. මමත් ඒ වෙනුවෙන් සැමියට පූර්ණ නිදහස දීලා තියෙනවා. මම රංගන ශිල්පිනියක් වුණාට රංගනයෙන් ලැබෙන මුදලෙන් පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්කමක් නැහැ. සැමියා මහන්සිවෙලා මුදල් ඉපැයුවොත් තමයි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ.
විවාහ වුණාම කාන්තාවෝ හිතනවා තමන්ගේ බොහෝ දේවල් ඉවරයි කියලා. නමුත් චතූ විවාහයෙන් පස්සේ ඇයව හොඳින් බලාගන්නවා.
විවාහ වුණාට පස්සෙ කාන්තාවො තමන්ව අත්අරින්න ඕන නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ. තමන්ගේ රූපය, ඇඟේ හැඩය, පෙනුම සහ සමාජය එක්ක ගනුදෙනු කරන ආකාරය කලින් වගේම විවාහ වුණහමත් හොඳ විදිහට පවත්වාගැනීම කළයුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. මේ දේවල් ගැන වැඩිය අවධානය යොමු නොකිරීම නිසා සමහර නිළියන්ට විවාහයෙන් පස්සෙ රංගන ආරාධනා අඩුවෙලා ප්‍රේක්ෂකයන්ගේ ආදරයද අඩුවෙන අවස්ථා තියනවා. මේ වෙද්දි මම විවාහවෙලා වසර පහක් වෙනවා. තනිකඩව ඉන්න කාලෙ වගේම විවාහයෙන් පස්සෙත් රූපය, ඇඟේ හැඩය, පෞරුෂය ගැන සැලකිලිමත් වුණ නිසා මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩිපුර ලැබෙන්න ගත්තා. ප්‍රේක්ෂකයො අතර ඉන්න නිළියක් වීම නිසා කැපී පෙනෙන විදිහෙ චරිතවලින් රංගන ආරාධනා ලැබිලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මට පුළුවන් වුණා.
මගේ ඇඟේ හැඩය කවදත් සිහින් විදිහට තියෙන නිසා ගොඩක් දෙනා අහනවා ජිම් යනවද? කෑම පාලනය කරනවද? කියලා. හැබැයි ඇඟ සිහින්ව තියාගන්න ඒ කිසි දෙයක් මම කරන්නෙ නැහැ. මම හොඳට කාලාබීලා වැඩි ව්‍යායාමයක් කරන්නෙ නැති කෙනෙක්. මගේ පවුලෙ හැමෝම සිහින් හැඩකාර විදිහට ඉන්නෙ. ඒ ආරය තමයි මටත් ඇවිත් තියෙන්නෙ. පරම්පරාවෙන් ආපු ආරය නිසා ව්‍යායාමවත් කෑම පාලනය කරන්නෙවත් නැතුව ඇඟ හැඩට සිහින්ව තියාගන්න මට පුළුවන් වෙලා තියනවා.
ක්ෂේත්‍රය තුළ යාළුවො ආශ්‍රය කරන්න පුළුවන්. හැබැයි ඒ අය සැබෑ යාළුවොද කියලා දැනගන්න පුළුවන් වෙන්නෙ දුකකදි කරදරයකදි ක්‍රියාකරන අකාරය මත තමයි. විවිධ කාලවලදි විවිධ යාළුවො මට හම්බවෙලා තියනවා. ඒ අය අතරින් සමහරක් අය මුහුණට හිනාවෙලා හොඳට කතාකරලා මම නැති තැන මඩගහපු අවස්ථාත් තිබුණා. ඒ අයගේ සැබෑ ප්‍රතිරූපය එළිවුණාහම වෛර කරන්නෙ නැතුව ජීවිතෙන් ඈත් කරන එකයි මම කෙරුවෙ.
හැම වෙලේම චතූ සතුටින් ඉන්නේ පරිසරය තේරුම් ගත්තු නිසා. ඇසුරු කරන අය ගැන හොඳ අධ්‍යයනයක් තිබෙන නිසා. මෙය ඇගේ ජීවිතයේ සාර්ථකත්වයට එක හේතුවක් වෙලා තියෙනවා.
