
මහ පොළවේ ජීවත්වන ගැහැනියට ඇය පුංචි තිරයේදී හරි අපූරුවට සාධාරණය ඉෂ්ට කළාය. මෑතකදී අප දුටු ‘වියළි’ හි මාලා, ‘ඉරගිනි මද්දහනේ’ සමන්තා, ‘තත්පරයක් දෙන්න’ හි පූජනී ඊට කදිම නිදසුන්ය. මේ චරිතවලට ඇය දුන් ජීවය නිසාම පුංචි තිරයේ මහා මංගල්‍යයන්වලදී කිහිප වතාවකදීම සම්මානයට පාත්‍ර වූවාය. ඔය අතරේ රිදී තිරයේ My Red Comred හි ඇය සරසවි සම්මාන උළෙලේදී නිර්දේශයට පවා පාත්‍ර වූවාය. වර්තමානයේ අපට සිටින මතු බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු යළිත් වරක් රිදී තිරය හරහා ඔබ මා හමුවට පැමිණෙමින් සිටින්නීය. ඒ අනුෂ සංජීව අධ්‍යක්ෂණය කළ ‘මදර් ලංකා’ සිනමා නිර්මාණය හරහායි. ඉතිං තරින්දි වෙනුවෙන් මෙවර මීවිතෙන් අපි මේ ඉඩකඩ වෙන් කිරීමට තීරණය කළෙමු.
මදර් ලංකා චිත්‍රපටයේ ශාලුට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
මදර් ලංකා චිත්‍රපටයට අධ්‍යක්ෂ අනූෂ සංජීවත්, නිෂ්පාදක ඉෂාන් පෙරේරාත්, පිටපත් රචිකාවිය වන ක්‍රිෂාන්ති කුලසූරිය ඇතුළු නිෂ්පාදක කණ්ඩායම මේ නිර්මාණයට දරපු වෑයම එක්ක අපි මුල ඉඳලා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා විශ්වාසයකින් හිටියා. අපි බලාපොරොත්තු වුණු ආකාරයෙන්ම මදර් ලංකා කතාබහට ලක්වන චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. මදර් ලංකා කියන්නේ සමාජයට ලොකු ආදර්ශයක් ලබාදෙන චිත්‍රපටයක්.
මේ සමාජයේ සිටින මව්වරුන් වෙනුවෙන් තරින්දිට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?
තාක්ෂණික වශයෙන්, ආර්ථික වශයෙන් වගේම සමාජීය වශයෙන් දියුණු වුණු මිනිස්සුන්ගේ සංකල්පවලින් 2025 වර්ෂයට ගැළපෙන චිත්‍රපටයක් තමයි මදර් ලංකා කියන්නේ. අපි හැමෝම ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණවලින් අහලා සහ දැකලා තියෙන්නේ දුක් විඳගෙන, අගහිඟකම් මැද ශෝචනීයව ජීවත්වන මවකගේ චරිතනේ. නමුත් මදර් ලංකා සිනමා නිර්මාණයේ 2025 වර්ෂයට ගැළපෙන විදිහට මවගේ චරිතයක් නිරූපණය කරලා තියෙනවා. ශාලු කියන්නේ මොඩර්න් අම්මා කෙනෙක්.
ශාලු කියන මව දක්ෂ ක්‍රීඩිකාවක්. අපි දන්න තරින්දිත් දක්ෂ ක්‍රීඩිකාවක්. ඔබේ අතීත අත්දැකීම් ද මදර් ලංකා සිනමා පටයෙන් දකින්න ලැබෙන්නේ?
ඔව්. මම ඇත්තටම පුංචි කාලේ රනර් කෙනෙක්. මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ආසාවක් තිබුණා මගේ ක්‍රීඩා හැකියාවන් මිනිස්සු අතරට ගෙනියන්න අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් මට මේ වෙනකම් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මදර් ලංකා චිත්‍රපටය හරහා මගේ පාසල් කාලයේ ක්‍රීඩා කෞෂල්‍යයත් මතක් කරගෙන මට ක්‍රීඩාවේදී උදව් කරපු ගුරුවරු මතක් කරගෙන ඉතාමත් සීමිත දර්ශන කිහිපයකදී ක්‍රීඩා ඇඳුමෙන් ඒ හැකියාවන් නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්.
ඒ කාලෙ ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණ ගැනත් මතක් කළොත්?
මම දංකොටුව බාලිකා විiාලයෙන් සහ දළුවකොටුව ශාන්ත ආනා මහා විiාලයෙන් තමයි ක්‍රීඩා කටයුතු කළේ. ඉතිං මගේ පවුල් පසුබිමත් එක්ක පාසල් මට්ටමේ ශූරතාවන් ජයග්‍රහණය කරලා තිබෙනවා අනන්ත අප්‍රමාණව. නමුත් එතැනින් එහාට කොට්ඨාස, පළාත්, සමස්ත ලංකා මට්ටමට මම තරග ජයග්‍රහණය කරල තිබෙනවා. එතනින් එහාට ගෙනියන්න මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. ඒ හින්දා පාසලෙන් එහාට මගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට කරගෙන යෑමේ හැකියාවක් තිබුණේ නැහැ. මොකද අතහිත දෙන්න ඕනෑ තරම් කට්ටිය හිටියට මූල්‍යමය පැත්තෙන් වත්කම් සපුරා ගැනීමට අපේ පවුලට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසාම මට අකැමැත්තෙන් හෝ ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට සිද්ධ වුණා.
ඕනෑම ක්‍රීඩිකාවකගේ තියෙන හීනයක්නේ සුගතදාස ක්‍රීඩාංගණයේදී තරගයකට සහභාගි වීම. ඔබටත් ඒ කාලෙ ඒ වගේ සිහින එහෙම තිබිලා තියෙනවද?
ඇත්තටම මම සමස්ත ලංකා මට්ටමේ තරගවලට සුගතදාස ක්‍රීඩාංගණයේ වගේම ලංකාව පුරා තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබලා තියෙනවා. ඉතිං මට හරිම සතුටුයි. වෘත්තීයමය රංගන ශිල්පිනියක් විදිහටත් ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් තිබුණා.
පුංචි කාලේ අපිට ගොඩක් හීන තියෙනවානේ. කාලයක් නර්තන ගුරුවරියක්, ක්‍රීඩිකාවක් වෙන්න ආශාවක් තිබුණා. අන්තිමේ ඒ හැම හීනයක්ම පැත්තක දාලා මම නතර වුණේ රංගන ශිල්පිනියක් වෙලා. ඉතිං මේ ක්ෂේත්‍රය ඇතුළෙත් මම කුඩා කාලයේ ආසාවෙන් හිටපු විවිධ චරිත මේ හරහා මිනිස්සු අතරට ලස්සනට ගෙනියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මට මිස් වුණ දේවල් මේ චරිත හරහා මිනිස්සු අතරට ගෙනිහිල්ලා මට තෘප්තියක් වගේම අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඇත්තටම ඔබත් පුංචිම තැනකින් මේ ගමන පටන් ගත්තු චරිතයක්නේ. ශාලුගේ පිටපත කියවද්දී තරින්දිට තරින්දිගේ අම්මා ගැන මොකද හිතුණේ?
මම පිටපත කියවල ඉවර වුණ ගමන් මුලින්ම හිතුණු දෙය තමයි ශාලු කියන චරිතයේ බර මේ චරිතයේත් මිනිස්සුන්ට ලැබෙන ආදර්ශය වගේම මෙය නරඹන හැම අම්මා කෙනෙකුම ලොකු උත්තේජනයක් ලබාගන්නවා වගේම ඇඟට ලොකු හයියක් ලබාගන්නවා. මට ඒ ආශීර්වාදයම ඇති. මට ගොඩක් සතුටු හිතුණා. ආඩම්බර හිතුණා. ඒ වගේම මේ පිටපත ලියද්දී ක්‍රිෂාන්ති කුලසූරිය මහත්මියට වගේම අධ්‍යක්ෂණ කාර්යයේදී අනුෂ සංජීව මහත්මයාටත් නිෂ්පාදනයේදී ඉෂාන් පෙරේරා මහත්මයාටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ නම මතක් වීම පිළිබඳව.
මොකද ඇත්තටම මම අම්මා කෙනකුගේ අත්දැකීමක් තියෙන කෙනෙක් නෙමෙයි. අනික මම තනිකඩ. මවක් නෙමෙයි. ඒ වගේම මම දරුවෙක්. බැඳලා නැහැ. නමුත් මම අම්මගේ ජීවිතයේ අත්දැකපු දේවල්, අම්මත් එක්ක ගෙවුණු කාලය වගේම මගේ අක්කා සින්ගල් පේරන්ට් කෙනෙක්. එතකොට එයාගේ චරිතයෙනුත් දේවල් අරගෙන තමයි මම මේ ශාලු කියන චරිතය නිරූපණය කළේ.
අම්මා හිටියා නම් මොනවගේ හැඟීමක් ඇතිවේවිද?
අම්මා ගොඩක් ආස වුණා මාව රංගන ශිල්පිනියක් කරන්න. රංගන ශිල්පිනියක් වෙන්න කටු කන කාලේ මම ඒ හැම කට්ටක්ම කෑවේ මගේ අම්මත් එක්ක. ගොඩාක් රස්තියාදු වෙලා තියෙනවා. ගොඩාක් මහන්සිවෙලා තියෙනවා. අපි දෙන්නා පයින් ගොඩාක් දුර ඇවිදලා තියෙනවා මොඩ්ල් බෑන්ක්වලට. ෆොටෝ ෂූට්වලට අම්මත් එක්ක අනන්තවත් ගිහිල්ලා තියෙනවා, අවස්ථාවක් හම්බ වේවි කියලා. නමුත් මම දැන් එයාට ඕන තැනට ඇවිත් තියෙන වෙලාවේ ඒ සතුට මාත් එක්ක භෞතිකව විඳින්න එයා අද මෙතැන නැහැ. නමුත් මට හොඳටම විශ්වාසයක් තියෙනවා මගේ අම්මාගේ ආශීර්වාදය නිසයි මේ තරම් ගරුත්වයක් තියෙන චරිත හම්බ වෙන්නේ. සමාජයේ මිනිසුන් මාව වට කරගෙන ආදරය කරන චරිත මට හම්බවෙන්නේ අම්මාගේ ආශීර්වාදය නිසාම වෙන්න ඇති කියලා.
මෑත කාලයේ ගොඩක් රංගන ශිල්පිනියකට මුණනොගැසෙන චරිත ගොන්නක් ඔබට මුණගැසෙනවා. මොකද ඒ අත්දැකීම ගැන හිතන්නේ?
මම හැමතැනකදීම කියනවා මම ගොඩක් ආශීර්වාදිතයි කියලා. මම ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තේ මගේ අම්මාගේ වියෝවත් එක්ක. පුංචි කාලේ ඉඳලා හැදෙන අපි එකපාරටම පරිණත වෙන්නේ නැහැ. සමාජයත් එක්ක ගැටිලා සමාජය ආශ්‍රය කරන කොට තමයි අපිට අහිමිවීම් ඇති වෙන කොට ප්‍රතික්ෂේපවීම් ඇති වෙන කොට තමයි තේරෙන්නේ හරි යාළුවෝ කවුද? වැරදි යාළුවෝ කවුද කියලා. අපි නාස්ති වෙන, යාළුවෝ කවුද? අපි ළඟට ගන්න ඕනෑ යාළුවෝ කවුද? කියන කාරණා සමාජයත් එක්ක ඉස්සරහට යද්දී, වයසට යද්දී තමයි ඒ දේවල් තේරෙන්නේ.
අනික කතාවක් තියෙනවානේ අපි වපුරන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ කියලා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳලා මේ වෙනකම් මම වපුරපු දේවල් ඇතුළේ මගේ මහන්සිය, මගේ කැපකිරීම්, මම දරාගත්තු තැන්, මාව ප්‍රතික්ෂේප වුණු තැන්, ක්ෂේත්‍රයේ අයගෙන් ලද අත්දැකීම් යන කාරණා සියල්ල තියෙනවා කියලා මම හිතනවා. අපි ගොඩක් වෙලාවට දකිනවා ක්ෂේත්‍රයට එන්නෙ ප්‍රසිද්ධ වීම තකාමයි. නමුත් මට ඊට එහා ගිය හීනයක් මගේ හිතේ තිබුණා. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කළා. මම කරපු නිර්මාණ ගත්තාම ඒ චරිත හරිම ගැඹුරු චරිත. මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න පුළුවන් චරිතම තමයි මට හම්බවෙන්නේ. ඉතිං මම හිතනවා මම මගේ වෘත්තියට තියෙන ආදරය, භක්තිය එක්ක ඒ චරිත වෙනුවෙන් මහන්සි වෙන විදිහත් එක්ක විවිධ වූ චරිත සහ ඊට අදාළ හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති කියලා.
ඔබ දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. මේ ක්ෂේත්‍රයට අඩිය තියන කොට ඔබේ හිතේ කොතැනක හෝ මේ හීනය තිබුණාද?
මම ඉස්සර බැංකුවේ වැඩ කරන්නෙ. බැංකුවේ වැඩ කරනකොටත් හවස් වරුවේ හෝ විවේකයක් ලැබුණු ගමන් අම්මත් එක්ක මොඩ්ලින් බෑන්ක්වලට යනවා. ස්ක්‍රීන් ටෙස්ට්වලට යනවා. ෆොටෝ ෂූට්වලට යනවා. ඉතිං ඒ අතරතුර මම කිසිම නාට්‍යයකට ගෑවිලාවත් නැති කාලයක අම්මාට කිව්වා “අම්මේ මම කවදා හරි දවසක ස්ටේජ් එකට නැඟලා සම්මානයක් අරගෙන ඔයාට එන්න කියලා ඒ සම්මානය ඔයාට දෙනවා කියලා.” ඉතිං අම්මා ඒ වෙලාවේ කිව්වා අරගෙන දීපංකෝ බලන්න කියලා. ඉතිං මට ඒ කතාව තදින්ම දැනෙනවා මම සම්මානයක් ගත්ත ගත්ත වතාවට. මම හිතනවා අම්මාටත් ඒ වචනය තදින්ම දැනිච්ච නිසා තමයි මට මෙච්චර හයියක් එන්නේ. මොකද ගැහැනු ළමයකුට මේ ක්ෂේත්‍රයේ පරිස්සම්වෙලා මෙච්චර දිගු ගමනක් තනියම එන්න හරිම අමාරුයි. මොකක් හරි උදව්වක් මොකක් හරි සහයෝගයක් තල්ලු කිරීමක් තියෙන්න ඕනෑ. නමුත් මම මුල ඉඳලා තනියම හැමදේම දරාගෙන හරිම සංයමයකින් මගේ චරිතයත් ආරක්ෂා කරගෙන මම මේ තැනට ඇවිත් තියෙන නිසා වෙන්න ඇති මට මෙච්චර හොඳ චරිත පවා හම්බවෙනවා ඇත්තේ. මම හැම වෙලේම කියනවා මම හරිම ආශීර්වාදිතයි කියලා. මම මේ වෘත්තියට ගරු කරනවා සහ ආදරය කරනවා. ඒකම තමයි මට පෙරළා ලැබෙනවා ඇත්තේ.
හීන සැබෑ කරගන්න පුළුවන්. හැබැයි ඒක පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි අපි දකිනවා තරින්දි ඒ වැඩේ හරි ලස්සනට කරගෙන යනවා. මොකක්ද එතැන තියෙන රහස?
අපි මොන ක්ෂේත්‍රයක සිටියත් අපිට දිගුකාලීන දැක්මක් තියෙන්න ඕනෑ මම කවුද, මම අවසානයේ කොතැනද ඉන්න ඕනෑ කියලා. ඒ දේ දැනගෙන අපි මේ ගමන යන්න ඕනෑ. මොකද අපිට කතාවකුත් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලත්. බොහෝ පිරිස් ක්ෂේත්‍රයට එන්නේ ඒ ගොල්ලෝ ප්‍රසිද්ධිය තකාම පමණයි. මේ ක්ෂේත්‍රයේ තමන් කොතැනට ද යන්න ඕනෑ, තමන් කොතැන ද ටච් කරන්න ඕනෑ, මොන මොන අංශයන්ද තමන් ප්‍රගුණ කරන්න ඕනෑ, සිනමා නිළියක් වෙනවාද? නැතිනම් ටෙලිනාට්‍ය නිළියක් වෙනවාද කියන හීන ඒ ගොල්ලන්ගේ හිත්වල නැහැ. මට මේ හීනය තිබුණා. මට මේ දැක්ම තිබුණා. ඒ නිසාම මට මොකුත්ම කරගන්න බැරි කාලයේ හම්බවුණ මොකුත්ම කරන්න නැති සුළු සුළු චරිත මම ප්‍රතික්ෂේප කරල තියෙනවා. මොකද ඒ මගේ ගමන් මග තකා. මම ඒ චරිත කළා නම් මට මේ තරම් හොඳ චරිත නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කාලයේ ඉඳලා මේ කාලය වෙනකම් ලොකු ඉවසීමක් මගේ තිබුණා.
දරාගැනීමක් මගේ තිබුණා. හෙමින් ගමනක් තිබුණා. ඉතිං මම හිතනවා මේ සාර්ථකත්වයට හේතුවත් ඒකම වෙන්න ඇති කියලා.
එදා කැපවීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිනවාද?
අනිවාර්යයෙන්ම ඔව්. මගේ හීනේ මගේ දැක්මේ භාගයක්වත් මම තවම ළඟා කරගෙන නැහැ. මට තව ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. ජ්‍යෙෂ්ඨයන්ගෙන් අත්දැකීම් ලබාගන්න තියෙනවා. මම හරි කෑදරයි මගේ ප්‍රවීණයන්ගෙන්, ජ්‍යෙෂ්ඨයන්ගෙන් අත්දැකීම් ලබා ගන්න. ඔවුන්ව බලලා ඉගෙන ගන්න. ජ්‍යෙෂ්ඨයන්ගෙන් විතරක් නොමෙයි ආධුනික රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙනුත් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. සියලුම දේම අවබෝධයක් ඇතිව හිමීට මේ ගමන යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ෆැන්ටසි චරිතවලට වඩා මහ පොළොවේ ජීවත් වන ගැහැනියගේ චරිතවලට ඔබට නිතර ආරාධනා ලැබෙනවා. අපි ගොඩක් වෙලාවට දකිනවා ඒ චරිතවලට ඔබේ රසික රසිකාවියෝ හරියට ආදරය කරනවා. මේ චරිතවලට ඔබ උපරිම සාධාරණය ඉෂ්ට කරන්නේ ජීවිතයේ ලද අත්දැකීම් සමගද?
අපි කොච්චර ඉගෙන ගත්තත් අපි පරිණත වෙන්නේ, රංගන පරාසය වැඩිවෙන්නේ මම හිතනවා ජීවිතයේ ලද අත්දැකීම් එක්ක කියලා. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා ඉස්කෝලෙ යන කාලේ වෙනකම් මට ජීවිතයේ කිසිම යථාර්ථයක්, සමාජය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. මොකද අම්මා හිටියා හැමදේම මට කරලා දෙන්න. අම්මාගේ වියෝවත් එක්ක මම මේ ක්ෂේත්‍රයට එන අවුරුදු හය මම තනියම ගෙවපු අවුරුදු හයක්. මගේ පවුලේ අය, මගේ තාත්තා, මගේ අක්කා ළඟින්ම හිටියා. මොකද ඔවුන්ගේ නිදහසත් එක්ක තමයි මම මේ තරම් දුර ආවේ.
නමුත් ඒ කාලය ඇතුළත ගැහැනු ළමයකුට දරා ගන්න බැරි තරමට අභියෝග රැසකට මට මුහුණ දෙන්න වුණා තනියම. ප්‍රතික්ෂේප වීම්, නොසලකා හැරීම්, මඩ, ගොසිප්, විවේචන වගේ හැමදේකින්ම මම මාර විදිහට තැළිලා පොඩි වුණා, මේ ක්ෂේත්‍රය ඇතුළේ මේ අවුරුදු හය, හත ඇතුළත තනියම. ඉතිං මම හිතනවා ඒ අත්දැකීම් මට පිටිවහලක් වුණා ඒවා චරිතවලට ගොඩනඟන්න. ඒ චරිතවලට යථාර්ථවාදීව මුහුණ දෙන්න මට ඒ අත්දැකීම් ලොකු පිටිවහලක් වුණා. මම ආපු දවසේ ඉඳලා මේ වෙනකම් මේ ක්ෂේත්‍රය මගේ වර්ක් ෂොප් එක. මොකද ඇත්තටම අපි කරන නිර්මාණත් එක්ක වර්ක්ෂොප් එකකට සහභාගි වෙන්න මේ ගැන මූලික සිද්ධාන්ත එකතු කරගන්න තියෙන කාලය ටිකක් අඩුයි. ඉතිං මට මගේ වර්ක්ෂොප් එක කරගෙන තියෙන්නේ මේ ක්ෂේත්‍රය. ඉතිං මේ ක්ෂේත්‍රයේ සිටින අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, රංගන ශිල්පීන් ශිල්පිනියන්, මාධ්‍ය නාළිකා කියන හැම දෙයකින්ම දවස ගානේ මම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතිං එහෙම තමයි මගේ ගමන යන්නේ.
දිනේෂ් විතාන
