ජාත්‍යන්තරය ජයගන්නයි සූදානම -නදී ගයාත්‍රි

gossiplanka image 1
 


Mrs. Earth Sri Lanka 2025 කිරුළ දිනාගැනීමේ වාසනාව හිමි වෙන්නෙ ඇයට. මේ අනුව තව නොබෝ දිනකින් පැවැත්වෙන ලෝක මිහිකත රූ රැජන තරගයට සහභාගී වීමේ අවස්ථාව ඇයට හිමි වෙනව. නදී ගයාත්‍රි, තමන් ලද මේ මහඟු අවස්ථාව ගැන මීවිත වෙනුවෙන් සිය හඬ අවදි කළා.


Mrs. Earth Sri Lanka 2025 කිරුළ දිනාගැනීමේ භාග්‍ය ඔබට හිමි වෙනවා?


ඔව්, ඇත්තටම ඒක ලොකු සතුටක්. මොකද මේ ජයග්‍රහණය බොහෝ කාලයක් තිස්සෙ මගෙ හිතේ තිබුණ හීනයක් කිව්වොත් හරි. විවාහ වෙන්න කලිනුත් මම පැජන්ට් කිහිපයකටම සහභාගි වුණා. ඒවායින් ජයග්‍රහණ හිමි වුණත් කිරුළ දිනාගැනීමේ අවස්ථාව අහිමි වුණා. විවාහයෙන් පස්සෙ මහත්තයාගෙ සහයෝගයත් එක්ක කිරුළ දිනා ගැනීමේ අවස්ථාව මට හිමි වුණා.


මේ සමගම ලෝක විවාහක මිහිකත රූ රැජන තරගය සඳහා ඔබ සුදුසුකම් ලබනව?


මේ තරගය පැවැත්වෙන්නෙ දෙසැම්බර් මාසයේ. ඒ සඳහා ජාතික අධ්‍යක්‍ෂ චනිත් ගුණසේකර සහ ඉසුරු ගුණසේකර යන මහත්වරු යටතේ මේ දවස්වල පුහුණුවීම් කටයුතු සිදුකරනව. මේ ජාත්‍යන්තර කිරුළ කොහොම හරි ලංකාවට ගේන්න තමයි අපි උත්සාහ කරන්නෙ.


සැමියාගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?


විවාහයත් එක්ක ගොඩක් කාන්තාවන්ගෙ හීන, හීන විතරක්ම වෙනව. නමුත් මගේ මහත්තය මට දීපු සහයෝගය නිසා මගේ හීනය සැබෑකරගන්න මට පුළුවන් වුණා. ඒ වගේ සැමියෙක් ලබන්න මම ගොඩක් වාසනාවන්තයි. මගේ තාත්තා නැහැ. තාත්තාගේ රැකවරණයත්, ආරක්‍ෂාවත් මට ලබා දුන්නෙ මගේ මහත්තය. තැනට යද්දි ඇඳගෙන යන ඇඳුම පවා තෝරාගන්න උදව් කළේ එයා. අපිට පුංචි පුතෙක් ඉන්නව. එයාට දැන් අවුරුදු පහයි. ඒ වගේම මගේ අම්ම වගේම නැන්දම්මත් ලොකු සහයෝගයක් ලබාදුන්න මේ ගමන යන්න.


තරගය සඳහා සූදානම් වුණේ මොන විදිහටද?


තරගයට මාස ගණනකට පෙර සිටම ඒ සඳහා සූදානම් වුණා. ඒ වගේම මම දැනටත් වෙළෙඳ දැන්වීම්වල වගේම ඒකාංගික ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා වැඩකරන නිසාත්, කලින් පැජන්ට්වලට සහභාගිවෙලා තියෙන නිසාත් තරගය ලොකු අභියෝගයක් වුණේ නැහැ.


මින් පෙර සහභාගි වුණ තරග ගැන කතා කළොත්?


මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් තරගයට සහභාගි වෙලා අවසන් විසි දෙනා අතරට තේරීපත් වුණා. රූපවාහිනියේ වෙබ් කුමරිය තරගය ජයග්‍රහණය කළා. ඒ වගේම දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානයට තේරීපත් වුණා. ඡවි කල්‍යාණි වැනි තරග කිහිපයකටම සහභාගි වෙලා තියෙනව.


රූ රැජන තරගවලට ඉදිරිපත් වෙන්න බොහෝ විවාහක කාන්තාවන් මැළිකමක් දක්වනව?


මම නම් කියන්නෙ කාන්තාවක් එහෙම වෙන්න ඕන නැහැ. මෙවැනි තරගයක් කියන්නෙ අපේ රට නියෝජනය කරන්න, අපේ දක්‍ෂතා ඉදිරිපත් කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්. විවාහ වුණා කියල කාන්තාවක් මුලුගැන්වෙන්න හොඳ නැහැ. තමන් කැමති දේ කරන්න. ඒවා මගහැරගන්න එපා. මෙවැනි ජයග්‍රහණයක් ලැබුවා කියන්නෙ තමන්ගෙ මහත්තයට, දරුවන්ට ඒක ආභරණයක්. ඔවුන්ටත් ඒක වටිනව. දෙන්නත් එක්ක කතාබහ කරල අදහස් හුවමාරු කරගෙන ඒවාට ඉදිරිපත් වෙන්න කියලයි මම කියන්නෙ.


නදී හීන දැක්කෙ කවුරු වෙන්නද?


පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හැටියටත් කටයුතු කරපු මට ඇත්තටම වුවමනා වුණේ ක්‍රීඩිකාවක් වෙන්න. නමුත් අම්මගේ වුමනාවට අහම්බයකින් තමයි මට මේ පැත්තට යොමු වෙන්න සිදු වුණේ.


පාසල් කාලයේ මොන වගේ ක්‍රීඩාවන්ට ද යොමු වුණේ?


වොලිබෝල්, නෙට්බෝල් වගේම ධාවන තරගවලටත් සහභාගි වුණා.


නදී ගයාත්‍රි මොන වගේ චරිතයක්ද?


මම හිතනව මම ගොඩක් නිහතමානී කෙනෙක් කියල. මොකද කවුරු හරි කෙනෙක් පුංචි උදව්වක් හරි මට කළොත් හැමදාටම ඒක මට මතක තියෙනව. ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරන කෙනෙක්.


රූ රැජනක් හැටියට ශරීර සෞඛ්‍යය ගැන වැඩිපුර හිතන්න වෙනව?


ඔව්, ශරීර සෞඛ්‍යය ගැන ගොඩක් හිතනව. ඇත්තටම ලොකු කැපකිරීමක් කරන්න ඕන. කට පරිස්සම් කරගත්තොත් ඇඟ ලස්සන කරගන්න පුළුවන් කියනව වගේ අපි අපිව පාලනය කරගත්තෙ නැත්නම් හරි අමාරුයි ලස්සන කියන දේ පවත්වාගෙන යන්න.


ජයග්‍රහණයත් සමග රට වෙනුවෙන් යමක් කරන්න අදහස් කරනවද?


මිහිකත කුමරිය කියන තේමාව තියෙන්නෙ අපේ පරිසරයත් එක්ක බැඳිල. පරිසරය සුරකින්න, පරිසරයට ආදරය කරන්න පුරුදු වුණොත් අපේ මේ පුංචි රට සුරපුරයක් කරන්න පුළුවන්. ඉදිරියේදි එවැනි ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරල වැඩකටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.


විලාසිතාවලට තියෙන්නෙ මොන වගේ කැමැත්තක්ද?


අපි හැමෝම විලාසිතා කරන්න කැමතියි. නමුත් ඇඟ නිරාවරණය වන ඇඳුම්වලටනම් මගේ ඒ තරම් කැමැත්තක් නැහැ.


ලංකාවේ පැවැත්වෙන රූ රැජන තරගාවලි ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?


මම හිතන විදිහට හැම දෙයක්ම සියයට සියයක් සර්ව සම්පූර්ණ නැහැ. යම් යම් අඩුපාඩු තියෙනව.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 2
Previous Post Next Post