මම ගුරුවරියක් – නුරානි තෙන්නකෝන්

gossiplanka image 1
 

නුරානි තෙන්නකෝන් කියන්නෙ වෘත්තියෙන් ගුරුවරියක්. මීට වසර දෙකකට කලින් ‘සකර්ම’ ටෙලි නාට්‍ය මගින් ඇයව ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙනව. සකර්ම අවසන් වෙන්නෙ නුරානි ප්‍රේක්‍ෂකයන්ගෙන් බැණුම් අහල. අද ‘සසංකාරා’ තුළිනුත් ඇය හොඳටම බැණුම් අහනවලු. නුරානි නම් කියන්නෙ ඇත්ත කියනකොට ගොඩක් අයට රිදෙනව කියල. මේ, ඇය අපිට කිව්ව කතාව.


නුරානි, කාලෙකට පස්සෙ ‘සසංකාරා’ තුළින් දකින්න ලැබෙනවා?


ඔව්, මේ චරිතය වෙනුවෙන් වැඩිපුර බැණුම් තමයි අහන්න ලැබෙන්නෙ. ප්‍රේක්‍ෂකයන්ට ‘සකර්ම’ ටෙලි නාට්‍යයෙන් කාලෙකට කලින් මාව දකින්න ලැබුණා. ඉන් පස්සෙ මම රංගනයෙන් දායක වුණේ ‘සසංකාරා’ ටෙලි නාට්‍යයට. ‘සකර්ම’ අවසන් වුණෙත් මම බැණුම් අහල. ඒ හා සමාන චරිතයක් තමයි සසංකාරා නිර්මාණයේදිත් මට ලැබුණෙ. චරිතයේ ලොකු වෙනසක් නැති නිසා පෙර චරිතය ආකාරයටම ප්‍රේක්‍ෂකයන් මේ නිර්මාණයේදිත් මාව දකිනව. චරිතය ගලාගෙන යන ආකාරය අනුව ඉදිරියේදී මේ ප්‍රතිචාරය වෙනස් වෙන්නත් පුළුවන්.


නුරානිට කුමාරිගේ චරිතය ලැබෙන්නෙ කොහොමද?


ප්‍රියන්ත ප්‍රනාන්දු අයිය අධ්‍යක්‍ෂණය කළ ‘සකර්ම’ ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණානෙ. ඒ සම්බන්ධතාවත් එක්ක තමයි මේ චරිතයට ආරාධනය ලැබෙන්නෙ.


කුමාරි ගැන කතා කළොත්?


මෙහි සුවිශේෂී බවක් තියෙනව. මොකද කුමාරි කියන චරිතය රූගත කළේ අවසානයේ සිට මුලට.


ඇයි එහෙම දෙයක් කළේ?


ෂූටිං පටන්ගන්න දවස්වල මම ටිකක් මහතයි. මේ චරිතයට ගැබිනි මවකගේ අවස්ථාවකුත් තියෙන නිසා මුල් දවස්වලම ඒ කොටස් ටික රූගත කළා. ඉන් පස්සෙ මාස දෙකක විතර කාලයක් මට දීල තිබුණා කෙට්ටු වෙන්න කියල.


මාස දෙකෙන් කෙට්ටු වෙන්න පුළුවන් වුණාද?


අම්මෝ ඔව්, හරියට කන්නෙත් නැහැ කියල ගෙවල්වලින් බැණුම් අහගෙන පුදුම දුකක් වින්දෙ. කොහොම හරි මාස දෙකෙන් ඇඟ හදාගෙන ප්‍රේක්‍ෂකයාට නොදැනෙන්න චරිතය කළා.


සකර්ම ටෙලි නාට්‍යයෙන් පස්සෙ ගෙවුණ කාලෙදි මොකද කළේ?


සකර්ම ටෙලි නිර්මාණයෙන් පස්සෙ සසංකාරා පටන්ගන්න තුරු අවුරුදු දෙකක විතර විරාමයක් ගතකරන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලය ඇතුළත විශ්වවිද්‍යාලයේ අවසන් විභාගය පැවැත් වුණා. ඒ වගේම මම පොඩියට ව්‍යාපාරයකුත් පටන්ගත්තා. එතැනින් පස්සෙ මම එන්න ඕන ඉගෙනගත්ත දේට ගැළපෙන රැකියාවකටනෙ. රඟපෑම මම කරන්නෙ විනෝදාංශයක් හැටියට. ඉතිං මේ කාලය ඇතුළත මට රැකියාවත් ලැබුණා. පුහුණු කාලසීමාවත් අවසන් කරල තමයි නැවතත් රඟපෑමට යොමු වුණේ.


ඔබ දැන් වෘත්තියෙන් ගුරුවරියක්?


ඔව්, අපිට පත්වීම් ලැබුණෙ ගිය අවුරුද්දෙ. මම වයඹ පළාතෙ නිසා පත්වීම ලැබුණෙ කුලියාපිටියෙන් කිලෝමීටර එකොළහක් ගිය තැන තියෙන කුලි/හොරතැපොල මහානාම විද්‍යාලයට. තරමක් දුෂ්කර වුණත් එක වසරෙ සිට දහතුන වසර දක්වාම පන්ති පැවැත්වෙනව. මට ලැබිල තියෙන්නෙ ප්‍රාථමික අංශය.


පාසලේදී රංගන ශිල්පිනියට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මම පත්වීම ලැබිල යන්න කලින්ම පාසලට ආරංචිය ඇවිත් තියෙනව. ඉතිං අදටත් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබෙනව.


ප්‍රියන්තට ‘සකර්ම’ සඳහා නුරානිව මුණගැහෙන්නෙ කොහොමද?


සකර්ම ටෙලි නාට්‍යයේ ගංගා කියන චරිතය වෙනුවෙන් කෙනෙක්ව හොයන්න ඔඩිෂන් එකක් තිබ්බා. මමත් ඒකට සහභාගි වුණා. එදා මං වගේම ක්‍ෂේත්‍රයේ ඉන්න අයත් සහභාගි වුණා. අවසානයේ ඔවුන්ගේ තේරීම වුණේ මම. ඒකට ලොකුම හේතු වුණේ ප්‍රියන්ත අයියගෙ අම්මගෙ පෙනුම මගෙන් දකින්න පුළුවන් කියන දේ. ඒ අනුව තමයි මට අවස්ථාව ලැබෙන්නෙ.


නුරානි ඉදිරියටත් රංගනයේ යෙදෙනවද?


ඔව්, මගේ වෘත්තියට හානියක් නොවෙන්න රංගනයේ යෙදෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.


ඔබ උපාධිය ලබාගන්නෙ සිනමාව සම්බන්ධව?


ඔව්, මට තියෙන්නෙ සිනමාව සම්බන්ධ උපාධියක්. නමුත් මට ලැබුණෙ ප්‍රාථමික ගුරුවරියකගේ රැකියාව. අහසට පොළොව වගේ වෙනස් ක්‍ෂේත්‍ර දෙකක්. කිසිම ගැළපීමක් නැහැ.


පවුලේ විස්තර ටිකකුත් කියමු?


මගේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි. මම දැන් විවාහ වෙලා මහත්තයගෙ ගෙදර පදිංචි වෙලා ඉන්නෙ. අපේ පවුල් දෙකේම අය රාජ්‍ය සේවකයො. මම දැන් ඒ අය අතරටම වැටිල.


සසංකාරා දෙස නුරානි ප්‍රේක්‍ෂකයෙක් විදිහට බැලුවොත්?


මෙහි එන මගේ චරිතය දිහාම ප්‍රේක්‍ෂකයෙක් විදිහට බලන ගොඩක් වෙලාවට මම ම දකිනව මගේ අඩුපාඩු. සමහර වෙලාවට දෙකක් අනින්නත් හිතෙන අවස්ථා තියෙනව. ඒවා මම ප්‍රියන්ත අයියටත් කතාකරල කියල තියෙනව. ඒවා හදාගෙන තමයි ඊළඟ පියවරට යන්නෙ. අපි සසංකාරා කරගෙන යන්නෙ එහෙම අධ්‍යයනයක් එක්ක.


නුරානි ප්‍රියන්තගෙ නිර්මාණවලට පමණක් සීමා වෙලාද?


මගෙන් කිහිප දෙනෙක්ම ඇහුවා ඔයා ප්‍රියන්ත අයියගෙ නිර්මාණවලට විතරද එකතු වෙන්නෙ කියල. නැහැ, මම කලින් කරපු ටෙලි නාට්‍ය දෙකක් තියෙනව. නමුත් තවම විකාශය වුණේ නැහැ. ප්‍රියන්ත අයියගෙ තවත් නිර්මාණයක් මේ දිනවල ෂූට් කරනගමන් ඉන්නෙ. ඒකත් ළඟදීම ප්‍රේක්‍ෂකයන් අතරට එයි කියල විශ්වාස කරනව.


සසංකාරා ගැන මේ වනවිට සමාජයේ කතාබහක් ඇතිවෙලා තියෙනව?


ඔව්, මේක වෙනස් මාතෘකාවක් නිසා වෙන්න ඇති සමාජයේ මේ වන විට කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ. මෙහි එන සෑම සිදුවීමක්ම මේ රටේ, සමාජයේ සිද්ධ වෙනව. නමුත් ඇත්ත පෙන්නනකොට මිනිස්සු පිළිගන්න කැමති නැහැ. ඒ නොකැමති අය ඒකට ඇටෑක් කරන්න පටන්ගන්නව. ඒකයි මේ කතාබහට හේතුව.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 2
Previous Post Next Post