
සුලක්කනා හේරත් කියන්නේ ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සීමිත නිර්මාණ කිහිපයකට පමණක් දායක වුණත් ඇය කළ හැම නිර්මාණයක් හරහාම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්නට ඇයට හැකියාව ලැබුණා. රංගන ශිල්පිනියක් වගේම යූ ටියුබර් කෙනෙක් විධියටත් ප්‍රේක්ෂකයා හමුවට එන ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතා වෙන්නේ මාරක සර්කස් ටෙලි නාට්‍යය නිසා. ආවර්ජනා ගැන කියලම කතාව පටන් ගමු?
ආවර්ජනා කියලා කියන්නේ, විදුහල්පති – ගුරු යුවළකගේ දුවෙක්. ඇය හැදෙන්නේ වැඩෙන්නේ ඒ දෙන්නගේ අනුදැනුම මත. ඇගේ මවුපියෝ සමාජය දකින්නෙත් පාසලක් විධියට. ඒ නිසාම ඔවුන් ආවර්ජනාව හදන්නෙත් ඒ විධියට. ඔවුන් පාසලේ තියෙන නීතිරීති ගෙදරටත් ගෙනත් තියෙනවා. ඇත්තටම ඒ නිසා ඒක බලන් ඉන්න මිනිස්සුන්ට විහිළුවක් වගේ. ඉතිං මේ වගේ මවුපියෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙන ආවර්ජනා කියන්නේ කිසිම බරක් පතලක් නැති හරිම සැහැල්ලු චරිතයක්. මාරක සර්කස් ටෙලි නාට්‍යය බලන ප්‍රේක්ෂකයන්ට මේ ආවර්ජනාව හොඳට හුරුයි.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම හොඳ ප්‍රතිචාර තියෙනවා. චරිතයට අනුව ආවර්ජනා කියන්නේ බැංකු නිලධාරිනියක්. එතැනදි එක අවස්ථාවකදි ආවර්ජනා තමන්ගේ කස්ටර්මර් කෙනෙක්ට කියනවා, “ඔයා එහෙනම් මෙතැනට වෙලා ඉන්න අපි බැංකුව 3ට වහලා 5ට යනවා” කියලා. මම මේ ළඟදි බැංකුවට ගියම එතැන හිටපු නිලධාරිනියක් මට ඇවිත් කියනවා අනේ ඔයා පහට ගියාට අපි යන්නේ 7ට කියලා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියද්දි ඒ වගේ රසවත් සිදුවීම් එහෙමත් තියෙනවා.
අදටත් ආවර්ජනා වගේ, වැඩිහිටියෙක් වෙලත් මානසිකව මවුපියන්ගෙන් යැපෙන තරුණ පිරිස් සමාජයේ ඉන්නවා, ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ඒ වගේ චරිත ඇත්තටම මට හමුවෙලත් තියෙනවා. ඒක ඇත්තටම ඔවුන්ගේ අනාගතයට විශාල බලපෑමක් ඇති කරවන්න පුළුවන් තත්ත්වයක්. සමහර අවස්ථාවලදි එහෙම අය ජීවිතයේදි මවුපියන්ගෙන් තොරව තනි පුද්ගලයෙක් විධියට සමහර තීරණාත්මක තීන්දු තීරණ ගන්න අවස්ථාවලදි පවා නිසි තීරණය ගන්න නොහැකිව අසරණ වෙන, කලබල වෙන අවස්ථා තියෙනවා. ඒකට ඇත්තටම මවුපියෝ විශේෂයෙන්ම වගකිව යුතුයි. දරුවෙක් හදද්දි ඔවුන්ට කුඩා කාලයේ ඉඳලම තමන්ගේ වයසට ගැළපෙන විධියට ස්වාධීන තීරණ ගන්න ඔවුන් හුරු කරන්න අවශ්‍යයි. නැත්තම් කොච්චර වැඩිහිටියෙක් වුණත් ඔවුන් හැමදාම තමන්ගේ ජීවිතයට තව කෙනෙක්ගේ සහාය අපේක්ෂා කරනවා. මවුපියෝ නැති කාලෙක එහෙම දරුවෝ අසරණ වෙන අවස්ථා අනන්තයි. එතැනදි මවුපියෝ තේරුම්ගත යුතුයි තමන්ගේ දරුවා හැමදාම කුඩා ළමයෙක් විධියට ඉන්නේ නැහැ කියන එක. වැඩිහිටියෙක් වෙලා සමාජයෙන් එන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඔවුන්ව පුරුදු කරන්න අවශ්‍යයි.
මාරක සර්කස් හි යටි පෙළ අරුත ප්‍රේක්ෂකයන්ගේ ග්‍රහණයට හසුවෙලාද තිබෙන්නේ?
සමහර ප්‍රේක්ෂකයන් මේක මතුපිට අර්ථය තමයි තේරුම් ගන්නේ. එහෙම අය ඇතැම්විට මුල් කොටස් ටික නරඹලා ආ ඒක හරියන්නේ නැහැ, මේක එච්චර සෙට් වෙන්නේ නැහැ කියලා යන්න පුළුවන්. නමුත් හරියට බලන ප්‍රේක්ෂකයෙක්ට තේරෙනවා මෙතැන ඇත්තටම එළියට දාන්න හදන්නේ මොකක්ද කියන එක. මාරක සර්කස් හි අපි කියන්න උත්සාහ ගන්නේ ජීවිතය කියන දේ අපිට අනුමාන කරන්න බැහැ. තව විනාඩි 10කින් අපිට මොනා වෙයිද කියලාවත් අපිට හරියටම කියන්න බැහැ, එහෙම තත්ත්වයක් මත පිටත සමාජයේ බලපෑම් නිසා අපි අපිව වෙනස් කරගන්න උත්සාහ කළත් සමහර විට ඉදිරියේදි අපි හිතනවාට වඩා හොඳ දෙයක් වුණත් වෙන්න පුළුවන් කියන එක. එහෙම තත්ත්වයක් මත අපි පිටත සමාජයේ බලපෑම් නිසා ජීවිතය ගැන ගන්නා තීරණ වෙනදට වඩා කල්පනාකාරීව ගන්න මාරක සර්කස් ප්‍රේක්ෂකයන්ට කියලා දෙනවා.
ඔබ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය යූ ටියුබර් කෙනෙක්. මේ ගමනේ ආරම්භය ගැන කතා කළොත්?
මම යූ ටියුබ් එකට එන්න කලින් තමයි රංගනයට අවතීර්ණ වුණේ, පළමුවැනියටම මම රංගන ශිල්පිනියක් විධියට එළියට එන්නේ චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂවරයාගේ වී වී අයි පී ටෙලි නාට්‍යය හරහා. ඊට පස්සේ ත්‍රිමාණ කියලා තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයාගේ සහ නැවතත් චාමර ජනරාජ් පීරීස් අධ්‍යක්ෂවරයාගේ බටහිර අහස සහ රාහු ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ 2019දී ඔහුගේම උතුරු සුළඟ චිත්‍රපටයේ රංගයට එක් වුණා. ඊට පස්සේ කොවිඩ් ආවම හැමෝම ගෙදරට කොටු වෙලා ඉද්දි තමයි මම යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තේ. ඒකෙන් තවත් බොහෝ දෙනා මාව හඳුනාගත්තා. ඔය අතරතුර මම ටීවී ප්‍රසංටින්ග් එහෙමත් කළා. සිකුරු ඇවිත්, උන්මාදිනී වගේම මෑතකදී මාරක සර්කස් ටෙලි නාට්‍යයට කලින් මම අමුතු දීගය ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. නමුත් සමහර විට මාරක සර්කස්වලින් පස්සේ මම ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත් වෙන්න ඉඩ තියෙනවා.
ඇයි ඒ, මොකක්ද ඒකට හේතුව?
මම ඇත්තටම කැමැතියි වෙනස් විධියේ චරිතයක් මට ලැබෙනවා නම්. මොකද ගොඩක් මිනිස්සු මාව දන්නේ මම කොමඩි චරිතවලට දායක වෙන ශිල්පිනියක් විධියට. නමුත් මම කැමැතියි ටිකක් එතැනින් බැහැර වෙලා මගේ ඇක්ටිංග් කැපෑසිටි එක පෙන්නන්න. නමුත් ඒකට හරියන චරිතයක් තාම හම්බවුණේ නැහැ කියලා හිතෙනවා. ඒකට අපිට කාටවත් චෝදනා කරන්න බැහැ. නමුත් ඒ කාරණය නිසා මම හිතුවා රංගනයෙන් ඈත් වෙලා මගේ අනෙකුත් වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා කියලා.
ඒ කියන්නේ ආයේ රංගයෙන් සුලක්කනාව දැක ගන්න ලැබෙන්නේ නැති වෙයිද?
බොහෝ දුරට, නමුත් වෙනස් විධියේ චරිතයක් ලැබුණොත් ඒ තීරණය වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මගේ අනෙකුත් වැඩ කටයුතුවලට මුල්තැන දීලා රංගනයෙන් ඉවත් වෙනවා.
අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමු?
ඇත්තටම මම තේරුම් ගෙන ඉන්න දෙයක් තමයි මට මගේ යූ ටියුබ් එක හරහා යම් කිසි දෙයක් කරගන්න පුළුවන් කියන එක. එතැනදි ඒකේ තීරණ ගන්නේ මම නිසා මට පුළුවන් මම කැමැති විධියට ඒක හසුරවගන්න. ඒ වගේම මගේ ප්‍රඩක්ෂන් හවුස් එකක් ආරම්භ කළා. ඒකේ මම මුලින්ම නිෂ්පාදනය කළේ මායම් කියන සිංදුව. මේ වෙද්දි ඒ සිංදුවට යූ ටියුබ් එකේ ලක්ෂ පහකට ආසන්න වීව්ස් තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කමර්ෂල්, ශෝට් ෆිල්ම්ස් වගේ දේවල් කරගෙන ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
