
මහාමේරු පර්වතය ලෝකයට බරක් නොවේ. මහාමේරුව කොතරම් බර වුවද ලෝකය කිසි සෙලවීමකින් තොරව එය ඔසවා දරාගෙන සිටියි. මහී කාන්තාව එසේ මහාමේරුව ඔසවා සිටින්නාක් මෙන් ලොව අනේක මවුවරු සිය දරුවන්ගේ බර දරාගෙන ඔවුන් හදන්නේ, වඩන්නේ අසීමිත සෙනෙහසකිනි. එවන් දාරක ප්‍රේමයක් සහිත මවුවරු ගැන පුතුන් කියන කතා පෙළක් අද සිට ‘තරුණී’ පාඨක ඔබට තිළිණ වෙයි. මෙහි කතාන්දර දිගහරින පුතුන් තමා හැදූ වැඩූ මව ගැන පමණක් නොව, විවාහයෙන් පසුව සිය බිරිය මවක් ලෙස දකින ආකාරයද ඔබ හමුවේ තබනු ඇත. මෙම කතාමාලාවේ පළමු පිළිසඳරට අප හා එක් වූයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකරයි. අපේ රටේ නම ගිය කලා පවුලකින් පැවත එන සාරංග සිය මෑණියන් වන තිලකා රණසිංහ පිළිබඳ මෙන්ම සිය බිරිය දිනක්ෂි ප්‍රියසාද් ගැනද අදහස් පළ කළේය.
සාරංග සිය මව හා ගෙවුණු ළමා අවධිය ගැන අප හමුවේ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
“පුංචි කාලේ ඉඳන්ම මං ගොඩාක් කිට්ටුවෙන්ම ආශ්‍රය කළ ආදරණීය චරිතය මගේ අම්මා. ජීවිත කාලයේ වැඩි කාලයක් මගේ අම්මාත්, මාත් කාලය ගත කළා. අපේ අම්මා බොහෝම ශක්තිමත් කාන්තාවක්. මං නිසා ඇයට විශාල බරක් උහුලන්න වුණා. රැකියාව කරන අතරවාරයේ මාව රැක බලා ගනිමින්, මා ගැන සොයා බලමින්, මඟ පෙන්වමින් ඇය අසීමිත කැප කිරීමක් කළා. ඒ කාලේ මට ඒ ගැන නොතේරුණත් පසු කලෙක මම ඇයගේ ආත්ම ශක්තිය, පහසුවෙන් නොසැලෙන ගුණය මනාව වටහා ගත්තා. මගේ අම්මා ධෛර්යවන්ත කාන්තාවක් වගේම ඍජු තීරණ ගන්නා, අසාධාරණය වෙනුවෙන් දෙවරක් නොසිතා නැඟී සිටින එඩිතර කාන්තාවක්.”
පුතෙක් සහ මවක් අතර පවතින ආදරණීය ඇසුර මතක සටහන් රැසකට මහා උල්පතකි. ඒ මතක උල්පත අතරින් සාරංග සිය මව ගැන මතක අවදි කළේ මේ අයුරිනි.
“බහ තෝරන කාලයේ ඉඳන්ම මම ගීත ගායනා කරන විට ඇය ඒවා පටිගත කරන්නට පුරුදු වී සිටියා. එසේ පටිගත කළ කැසට් රෙකෝඩර් අදටත් ඇය සතුව තිබෙනවා. ඒ වගේම මං පුංචි කාලේ පළමුවෙන් කපපු නියපොත්ත, කෙස් රොද, පළමුවැනි ඇඳුම, සපත්තු දෙක ඇය මා වෙනුවෙන් එකතු කළ සමරු භාණ්ඩ අතර අදටත් දැක ගත හැකියි. ඒ සමරු දැක්කාම අදටත් මට ගොඩාක් සතුටුයි.
පාසල් කාලයේ සිටම මාව ඈ සේවය කරන ගුවන් විදුලි සංස්ථාවට එක් කරගෙන ගිය හැටි මට මතකයි. මම පාසල් ඇරිලා කෙළින්ම පැමිණියේ ගුවන් විදුලි සංස්ථාවටයි. ඉතින් එහි වැඩ කටයුතු සිදුවන ආකාරය පවා මට දැනගැනීමට, එහිදී ලැබූ අත්දැකීම් ඉවහල් වුණා. අද මං කලා ක්ෂේත්රයේ යම්තැනක සිටියි නම් ඒ අත්දැකීම්වලින් ලැබූ පන්නරය මහමෙරක් බව කිව යුතුයි.
ඒ වගේම ඒ කාලයේ ගුවන් විදුලි සංස්ථාවේ අම්මා වෙළෙඳ සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරද්දී මම ස්වදේශීය සේවයේ ළමා නිවේදකයෙක් ලෙස කටයුතු කළ ආකාරය අමතක කරන්නට බෑ.”
දරුවෝ සිය මවුපියන්ගේ හැසිරීම් අනුකරණය කිරීමෙන් ද සිය දිවිය ගොඩ නඟා ගනිති. ඇකයට ගෙන කියාදෙන උපදේශයන්ට වඩා මවුපියන්ගේ ඇවතුම් පැවතුම් දැක ඒ අනුව ගොඩනැඟෙන්නට දරුවෝ ස්වභාවයෙන්ම පෙලඹෙති. මේ සිය මෑණියන්ගෙන් සාරංග ඉගෙන ගත් ආදර්ශ ගැන ඔහු කියන කතාවයි.
“ඇත්තටම කුඩා කාලයේ සිටම අම්මා ගුවන් විදුලි නිවේදන ක්ෂේත්රයේ වැඩ කටයුතු කළ ආකාරය මං අත්දුටුවා. ඇය එහිදී වෘත්තීමයභාවය රැක ගැනීමට කළ කැප කිරීම, එකිනෙකාට ගරු කිරීම ආදී ගුණාංග මම දැක්කා. ඉතින් මා ක්ෂේත්රයේ ඉදිරියට පැමිණෙද්දී ඇයගෙන් ලැබූ ඒ ආදර්ශය ඉතා වැදගත් වුණා. පුංචි කාලයේ සිටම අම්මා නිසාම ගුවන් විදුලියෙහි සහ රූපවාහිනියෙහි දිගු ගමනක් යන්නට අඩිතාලමක් ලැබුණා. ඒ වගේම අසාධාරණයට විරුද්ධව නැඟී සිටීම, ඍජු තීරණ ගැනීමේ හැකියාව ආදියද මගේ අම්මාගෙන් ලැබූ දායාදයන් බව මා විශ්වාස කරනවා.”
“නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ පමණයි” යනුවෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන් ගයන පදපෙළ සිහිපත් කරවන ආකාරයේ අත්දැකීම් අප කාටත් නැතිවා නොවේ. සාරංග සිය මව හා බැඳුණු ඒ අත්දැකීම මෙසේ අප හා කියාපෑවේය.
“ජීවිතයේ ප්‍රශ්න මතු වූ බොහෝ තැන්වලදී අම්මා මා සමඟම සිටියා. නිතරම හරි වැරැද්ද ඇය මට පෙන්වා දුන්නා. පුංචි කාලයේ සිටම අම්මා මා සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ නිසා මම අම්මාට ප්‍රශ්න කියන්නට බය වුණේ නෑ. නිතරම ඇය සමඟ විවෘතව මාගේ ප්‍රශ්න කතාකර විසඳුම් සොයා ගත්තා.”
පුතෙකුගේ දෙවැනි මව වන්නේ බිරියයි. මවකගේ ඇකයේ නැළවෙන පුතෙක් පිය පදවිය ලබන්නේ දෙවැනි මව වන බිරිය නිසා නොවේද? පිය පදවිය ලබන ඔහු එදා සිට තවත් මවකගේ සෙනෙහස සියැසින් අත්විඳියි. ඒ අත්විඳීම සාරංග අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනි.
“ඇත්තටම දිනක්ෂි බොහෝම ආදරණීය චරිතයක්. ඇයට දරුවන් ලැබෙන්නට පෙරසිටම ඇය ආදරණීය මවක් වන බව මම නිසැකවම දැන සිටියා. ඉතින් සාරණ්‍යා අපේ කැදැල්ලට එකතු වුණාට පස්සේ ඇයගේ ආදරණීය මාතෘත්වය සැබැවින්ම මම දුටුවා. නමුත් දරුවා නිසා ඇයව කොටු කරන්නට හෝ වෘත්තීමය ජීවිතය අවහිර කරන්නට කටයුතු කරන්නේ නෑ.
සාරාණ්යාට පොඩි අසනීපයක් වුණත් ඇය ඉතා කලබල වෙනවා. දරුවාගේ අසනීපය සුව කර ගැනීමට ඇය බොහෝ සෙයින් කැප වෙනවා. අපේ අම්මා වගේම ඇයගෙන් මම මවක සතු ගුණාංග අත්දකින්නේ ඒ ආකාරයෙනුයි. දරුවාගේ උපන්දින, අකුරු කියවීම ආදිය මතක සැමරුම් රැසක් සහිතව සමරන්නට කටයුතු කරන්නේ, උත්සව සැලසුම් කරන්නේ ඈ විසින්.”
සැමියකු ලෙස සාරංගගේ ජීවිතයට සේම කාර්යබහුල වෘත්තීයමය ජීවිතයට දිනක්ෂි දෙන සහයෝගය ගැන කතා කරන්නටද සාරංග අමතක කළේ නෑ.
“ඇය මගේ කලා ජීවිතයට ලබාදෙන්නේ ලොකු ශක්තියක්. විටෙක ඇය, මට නිදහසේ කලා කටයුතුවල යෙදෙන්නට නිෙවසේ වගකීම් කරට ගනිමින් කටයුතු කරනවා. තවත් විටෙක මම, ඇයට කලා කටයුතුවල නිදහසේ යෙදෙන්නට නිෙවසේ වගකීම් කරට ගනිමින් කටයුතු කරනවා. ඒ අකාරයෙන් අපි දෙදෙනා ඉතා සහයෝගයෙන්, ආදරයෙන් අපේ ජීවිතය ඉදිරියට ගෙන යනවා කීවොත් නිවැරදියි.”
පසිඳු මිහිරාන් රැටියල
