මම සුවෙන් ආශීර්වාද කළ හැමෝටම ස්තූතියි -කමල් අද්දරආරච්චි

gossiplanka image 2
 

“මම අසනීප තත්ත්වයෙන් පසුවෙනවා කියලා ඒ දර්ශන තලයේ හිටපු කෙනෙක් මටත් නොදන්වා පටිගත කරලා ඒක අන්තර්ජාලයට මුදා හැරලා. ඒක කිසිම සදාචාරාත්මක භාවයක් නැති වැඩක්. මිනිස්සු ප්‍රිය කරන පුද්ගලයෙක් ගැන බොරු ආරංචියක් ප්‍රචාරය කරනවා කියන්නේ ඒක සමාජය කලඹන දෙයක්. මම ඔහු වෙනුවෙන් මගේ රසිකයන්ගෙන් සමාව අයදිනවා. මට ඒකෙන් තේරුණා මං ගැන හොයලා බලන්න කොච්චර පිරිසක් ඉන්නවා ද කියලා. මම සුවෙන් ඉන්නවා ආශීර්වාද කළ හැමෝටම ස්තුතියි.”


මේ ප්‍රකාශය ප්‍රවීණ රංගධර කමල් අද්දර ආරච්චි විසින් සිදු කරන ලද්දකි. ඊට පසුබිම සකසන ලද්දේ ඔහු විසින් ගීතයක් සඳහා පෙනී සිටි දර්ශනයකි. ගීතය නවක ගායන ශිල්පී ඕෂධ හේමන්තගේය. පිය ගුණ පිළිබඳ ගැයෙන මේ නවතම ගීතයේ රූපමය කතාන්දරයේ රූගතකිරීම්වලදී පියාගේ චරිතය රඟපාන්නේ කමල් අද්දරආරච්චිය.


“ගායන තරග හා ප්‍රසංගවලදී මට ඕෂධ හේමන්තව කලින් මුණගැසී තිබුණා. ඔහුගේ නවතම ගීත නිර්මාණයක රූගත කිරීම් සඳහා පියාගේ චරිතය වෙනුවෙන් ඔහු මට ඇරයුම් කළා. ජීවිතයේ ඉදිරි ගමනකට තමන්ගේම නිර්මාණයක් එළි දක්වමින් අනාගත අඩිතාලම දමන්නට සැරසෙන ඕෂධ වෙනුවෙන් මම ඔහුගේ නිර්මාණයට උපරිම සාධාරණය කරන්න ඉදිරිපත් වුණා. ඒ ගීතයත් ඉතා හොඳ මට්ටමක තිබුණා. ඒ අනුව මගේ සාමාන්‍ය ස්වරූපය වෙනස් කරලා වයස්ගත පියෙකු ලෙස මාව වෙස් ගැන්වීම් කරලා රූගත කිරීම් කළා. එම වයෝවෘද්ධ, රෝගී බවකින් යුතු පෙනුමක් සහිත මගේ චරිතය එසැනින් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කර තිබුණේ මම අසනීපව සිටින බවකුත් සඳහන් කරමිනුයි. රූගත කිරීම් අතරතුරදීම මාගේ හිතවත් වෛද්‍යවරියක් මට දුරකතනයෙන් කතා කරලා මම අසනීපයෙන් කියන්නේ මොකද කියලා ඇහුවා. මම එතුමියට කිව්වා මම සුවෙන් ඉන්නවා කියලා. නමුත් වයසක පිය චරිතයක රූගත කිරීමක ඒ අවස්ථාවේ නියැළී සිටින බවත් මම එතුමියට වැඩිදුරටත් කිව්වා. සමාජ මාධ්‍ය ජාල පුරා විසිරෙන පුවත හා දර්ශන පිළිබඳ ඇය මට පැහැදිලි කළා. ඉක්මනින් මේ සඳහා යමක් කරන්න කියලත් එතුමිය කිව්වා. ඒ මොහොතේ පටන් මටත්, මගේ ගෙදරටත්, ඥාතීන්ටත් දිගින් දිගටම දුරකතන ඇමතුම් එන්න පටන් ගත්තා. ඇත්තටම අපි හැමෝම දැඩි අපහසුතාවකට මේ සිද්ධිය නිසා පත් වුණා. එක අතකින් මට අදටත් ගොඩාක් ආදරය කරන රසික පිරිසක් ඉන්න බව මට ඔවුන්ගේ ආශීර්වාදාත්මක ප්‍රාර්ථනාවන්ගෙන් දැනගන්න ලැබුණා. ඔවුන් දිගින් දිගට ම මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා. ඉතින් මේ තත්ත්වය එතරම් සුදුසු නැහැ කියලා මට තේරුණා. මේ ගැන යම් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙතම මුදාහැරිය යුතුයි කියලා මම හිතුවා.”


ඒ අනුව කමල් සිය ආදරණීයයන් වෙනුවෙන් සමාව අයදිමින් සිය කනගාටුව ප්‍රකාශ කර සිටියා. ඔහුට මෙයින් යම් අපහසුතාවක් වන්නට ඇති නමුත් ඕෂධ හේමන්තගේ නවතම ගීතයට නම් මේ සංසිද්ධියෙන් ලැබුණේ විශාල ප්‍රචාරයකි. එය සදාචාරාත්මක නොවූ ප්‍රචාරණයකි. එහෙත් කෙසේ හෝ දැන් මේ සියල්ල සිදුවී හමාර ය. එසේ රූගත කෙරුණු ෂෙහාන් ගලහිටියාව ලියූ, ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කළ, ඕෂධ ගැයූ ගීතය මෙසේ ය.


‘මේ ලොවෙන් සමු අරන්


දෙව් ලොවේ වැඩවසන්


තුන් තිස් පැය අප දිහා බලාන ඉන්නේ’


මෙවැනි සිදුවීම්වලට කමල් අද්දරආරච්චි මුහුණ පෑ පළමු අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා බොහෝමයක් ඔහු පසු‍කරගෙන ඇවිත් ඇත.


“අපොයි ඔව්. සෑහෙන්න මෙවැනි සිදුවීම් මගේ ජීවිතයේ වෙලා තියෙනවා. සමහර සිදුවීම්වලදී මම නීතියෙන් නිවැරදිකරු වුණත් සමාජයෙන් තව තවත් මා ගැන සොයමින්, මට විවිධ බලපෑම් කරමින්, මට අපහාස කරමින්, කුණු රසයන් විඳින්න උත්සාහ කළ සුළු පිරිසක් අදටත් ඉන්නවා. ධනාත්මකව දෙයක් දැකලා සතුටු වෙනවාට වඩා සෘණාත්මක දේවල් අවුස්සමින් කුණු රස විඳින්න එක්තරා පිරිසක් කැමතියි. අපි ඒ අයට කැමති වුණත් අකැමැති වුණත් අපි වගේම ඒ අයත් මේ සමාජයේම ඉන්නවා. ඒ තුළ ලිංගික ඉරිසියාව කියන දේත් බරපතළ විදිහට තියෙනවා. ඕවාට ඉතින් කේන්ති අරගෙන, වාදවිවාද කරලා රණ්ඩු කරලා තේරුමක් නැහැ. කැමැති වුණත් අකැමැති වුණත් ඒ අයත් අපිත් එක්ක ම මේ සමාජයේ ඉන්න නිසා මේ දේවල්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි කාටවත් නැති ප්‍රශ්න මේ සමාජයේ සුළු පිරිසකට තියෙනවා. නඩුවලින් නිදහස් වුණත් අවනඩුවලින් නිදහසක් නැහැ. මිනිස්සුන්ට අනිත් මනුස්සයා ගැන හැඟීමක් නැහැ. තව කෙනකුට අපහාස කරලා ඒ කෙනා පත්වන අපහසුතාව දැකලා සතුටු වන පහත් හැඟීම් හා චර්යාවන් හිමි සුළුතරයක් අතින් තමයි මේ වගේ හානිකර තත්ත්වයන් සිදු වෙන්නේ. යහපත් හොඳ මිනිස්සු එක්ක වාගේම මේ වගේ අසමජ්ජාති වැඩ කරන මිනිස්සු එක්කත් ජීවත් වෙන්න අපට සිදුවී තිබෙනවා. ඒ අයට කෑ ගහලා, බැන්නා කියලා එයාල‍ාගේ චර්යාවන් වෙනස් වෙන්නේ නැහැ. අපි ඕවාට කලබල වෙලා කෑගහලා අපේ ගුණාත්මක භාවයන් හීන කරගන්න ඕනෙත් නැහැනේ. එයාලාම හැදුණොත් මිසක් එයාලාව හදන්න යන එක තේරුමක් නැහැ. මිනිස්සු නැති ලෝකෙකට ගිහින් ජීවත් වෙන්නත් බැහැනේ. සුළු පිරිසක් නිසා සමස්තයම ප්‍රතික්ෂේප කරන්නත් බැහැනේ. මට ආදරයෙන් මං ගැන සොයා බැලූ සැමට ස්තුතියි.” කමල් කීවේ එලෙසිනි.

gossiplanka image 1
Previous Post Next Post