ලැබුණු චරිත ගැන මම තෘප්තිමත් -දුලක්ෂි රාජපක්ෂ

gossiplanka image 2
 


හිත ළඟ හිනැහුණා, රාජිණි, සිදාදියේ සමනලියෝ යන නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දුලක්ෂි රාජපක්ෂ මේ දිනවල කලා ලොවේ දකින්න ලැබෙන නිර්මාණ බොහොමයක් තියෙනවා.


මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?


මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යය තුනක් මේ කාලේ විකාශය වෙනවා. ඒ අතර සිරස නාලිකාවේ විකාශය වන රොකි නාට්‍යයේ දුර්ගා කියන ප්‍රධාන චරිතය කරනවා. ඒ එක්කම හිරු නාලිකාවේ විකාශය වන මලක් නාට්‍යයේ වගේම අලුතින් දෙරණ නාලිකාවේ විකාශය වන මහාරාණි නාට්‍යයේ ඉන්නවා. තව වෙ‍ෙළඳ දැන්වීම්වල ඉන්නවා.


ඒ එකිනෙක නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


රොකි නාට්‍යයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මලක් නාට්‍යයටත් එහෙමයි. මහාරාණි නාට්‍යය නම් විකාශය වෙන්න පටන් ගත්තේ මෑතක දී.


මේ කාලේ සංගීත පන්තිවල වැඩ කටයුතු කොහොමද?


ඉස්සර වගේම ලොකු කාලයක් නැහැ සංගීත පන්තිවල නියැළෙන්න. නමුත් පුළුවන් වෙලාවට වෙලාව හදාගෙන සංගීත වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ ඒ, පන්තිවල ගුරුවරු ඒ කටයුතු දිගටම කරගෙන යනවා. මමත් මට පුළුවන් වෙලාවක් ලැබුණාම ඒ පන්ති වලට යනවා. මගේ තියෙන කාර්යබහුල ජීවන රටාව එක්ක මීට අවුරුදු දෙකකට කලින් පාසල් ගුරු භූමිකාවටත් සමු දුන්නා. මම දැන් වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ රංගනයට.


නිර්මාණයකට ඇරයුම් ලැබුණම මුලින්ම බලන්නෙ මොනවාද?


මට ලැබෙන චරිතෙට මට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එකත් මම මුලින්ම බලනවා. රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම අභියෝගයක් භාර ගන්න පුළුවන් චරිතාංග ශිල්පිනියක් විය යුතුයි. නමුත් අපේ තියෙන සම්ප්‍රදායන් සහ පවුල් පසුබිම සහ අපි හැදුනු වැඩුණු පරිසරය අනුව යම් යම් සීමාවන් තියෙනවා. ඒ දේවල් එක්ක මම මුලින්ම බලන්නේ මට කරන්න පුළුවන් චරිතයක් ද කියන එක.


මෙතෙක් ලැබුණු ඇරයුම් ගැන තෘප්තිමත් ද?


අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මම මේ වෙද්දී ගොඩක් කරලා තියෙන්නේ අහිංසක චරිත. ඒ නිසාම මම ආසාවෙන් හිටියා ටෆ් චරිතයක් කරන්න. මට ඒ අවස්ථාව ලැබුණා රොකි නාට්‍යය හරහා. මම රංගනයෙන් දායක වන දුර්ගා කියන්නේ බය නැති නිර්භීත චරිතයක්. ලැබෙන ප්‍රතිචාර එක්ක මට හිතෙනවා මම ඒ චරිතෙට සාධාරණයක් කරනවා කියන එක. මහාරාණි තුළත් මට ලැබුණේ වෙනස්ම චරිතයක්. තව එන්න තියෙන නාට්‍යය දෙකක් තියෙනවා. ඒ නිර්මාණවලත් මට ලැබුණු චරිත එකිනෙකට වෙනස්. ඒ නිසා මට ලැබුණු චරිත ගැන මම තෘප්තිමත්.


ඉදිරියේදී රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියේද?


මම ආසාවෙන් හිටියේ ටෆ් චරිතයක් කරන්න. ටෆ් චරිත දෙකක් මේ දිනවල මට ලැබිලා ප්‍රේක්ෂකයන් අතරට ඒ ඔස්සේ මම ඇවිත් තියෙනවා. දැන් ආසාවක් තියෙනවා රජ කතාවක රඟපාන්න.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


පුංචි තිරෙන් ගත්තම මේනක රාජපක්ෂ නාට්‍යය නිර්මාණයක් එන්න තියෙනවා. ඒකත් ගොඩක් ලස්සන නිර්මාණයක්. ඒ නාට්‍ය ළඟදීම විකාශය වෙයි. තවත් නිර්මාණයක රූගත කිරීම් ළඟදීම පටන් ගන්නවා. සිනමාව පැත්තෙන් ගත්තොත් චිත්‍රපට දෙකකට දායක වුණා. සූර්යා චිත්‍රපටය තිරගත වෙනවා මේ දවස්වල. අනිත් චිත්‍රපටය බුද්ධික ජයරත්න මහතාගේ සැප්තැම්බර් චිත්‍රපටය. එයත් නුදුරේම තිරගත වෙයි.


පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් ප්‍රේක්ෂකයන් දැනගන්න කැමතියිනේ, ඒ ගැනත් කියමු ද?


පෞද්ගලික ජීවිතේ විශේෂ දෙයක් නැහැ. ඉස්සර වගේම හොඳ කීකරු ළමයෙක් විදියට ලස්සනට ජීවත් වෙනවා.


පහුගිය දවස්වල අත්වාරුවකින් ගියේ, මොකක්ද සිදුවුනු අනතුර?


තාමත් අත්වාරුවෙන් තමයි යන්නේ. දැන් නම් සීයට 80ක් විතර සුව අතට හැරිලා තියෙන්නේ. ලොකු අනතුරක් නෙවෙයි සිද්ධ වුණේ. පොඩි අනතුරක් නමුත් ඉන් ඇති වුණු බලපෑම බරපතළයි. ඇත්තටම වුණේ අපි කවුරුත් දන්න අකිල විමංග සර්ගේ‍ බිරියගෙ උපන්දින සාදය අතරතුර මම කාර් එක ගාවට ගියා. ඒ යන්න තිබ්බේ රේල් පාර පැනලා. එතැනදී කකුල අනිත් පැත්තට පෙරළුනා. ඊට පස්සේ කකුල ඉදිමුණා. හොස්පිට්ල් ගියාම දැනගත්තේ වෙලා තිබ්බ බරපතලකම. නමුත් සතියක් වගේ තමයි මට විවේක ගන්න වුණේ. එතැනින් පස්සේ ටෙලි නාට්‍යවල රූගත කිරීම් වලට යන්න වුණා. අලුත් නිර්මාණ නම් භාර ගත්තේ නැහැ. මේ වෙද්දී සිංහල බෙහෙත් කරනවා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


විශේෂ බලාපොරොත්තු නැහැ. තව අවුරුදු දෙක තුනක් මේ කරගෙන යන වැඩ ටික එහෙම්ම කරගෙන යනවා. අනාගතයේදී තාත්තාගේ ව්‍යාපාරවලට වැඩි සහයෝගයක් දීලා මගේ ව්‍යාපාර කටයුතුත් දියුණු කරගන්න වැඩි කාලයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post