රඟපෑවට විද්‍යාඥයෙක් වෙන එක තමයි ලොකුම බලාපොරොත්තුව -පෙමුද නිතින් දම්සිලුන

gossiplanka image 1
 


පෙමුද නිතින් දම්සිලුන ‘සේයා‘ ටෙලි නාට්‍යයේ ‘මතීෂ‘ගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණි ළමා රංගන ශිල්පියෙකි. දුටුවන් ගේ සිත් බඳනා මේ ළමා ශිල්පියා බොහෝ වෙ‍ෙළඳ දැන්වීම් තුළින්ද ඔබ හමුවට පැමිණ තිබේ. කලා ලොවේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන ඔහු සමඟ මෙවර ‘රසඳුන’ කතා බහ සිදු විය.


මේ දවස්වල මොකද කරන්නේ පෙමුද ?


පාසල් යනවා, රූගත කිරීම් නම් මේ දවස්වල නෑ. හැබැයි රන්වල බළකායේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා.


කියන්නකො පෙමුද ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් ?


මම පෙමුද නිතින් දම්සිලුන. මගේ ගම පස්යාල.Negombo South ජාත්‍යන්තර පාසලේ හය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. අම්මා, අප්පච්චී, මල්ලී, සීයා තාත්තා, සුදු අම්මලා දෙන්නා තමයි මගේ පවුලේ ඉන්නේ. ඒ හැමෝම මගේ මේ වැඩවලට උදවු කරනවා. මාව රූගත කිරීම්වලට එක්ක යන්නේ අම්මයි, අප්පච්චියි.


ඔයා රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද ?


රුවන් කොස්තා මාමා නිර්මාණය කරපු වෙළෙද දැන්වීමක් හරහා තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. එතකොට මට වයස අවුරුදු පහයි. මම මුලින්ම හිටියේ Kingdo සබන් දැන්වීමකට. ඊට පස්සේ 2021 දෙරණ සිඟිති අවුරුදු කුමරා තෙවන ස්ථානය ලබා ගත්තා. දිගටම වෙ‍ෙළඳ දැන්වීම් රැසකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. බැංකු රැසක සන්නාම එක්ක මම වැඩ කරලා තියෙනවා.


පාසලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු.


මට පාසලෙන් ගොඩක් උදවු කරනවා. විශේෂයෙන්ම කොණ්ඩේ මේ විදියට තියාගන්න, රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න මට ගරු විදුහල්පතිනිය වන ශෂී ප්‍රභා මැඩම් අවසර දීලා තියෙන්නේ. ගුරුවරුත්, යාළුවොත් මට මඟහැරෙන පාඩම් කොටස් ආවරණය කරගන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.


පෙමුදට රංගනය නිසා ලැබුණු අමතක නොවන විශේෂ අවස්ථා එහෙමත් තියෙනවද ?


සොෆ්ට්ලොජික් වෙ‍ෙළඳ දැන්වීම්වලදි මට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩක් එක්ක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එක අවස්ථාවක වනිඳු හසරංග අයියා එක්ක සමීප රංගනයක යෙදෙන්න මට ඉඩ ලැබුණා. ඒක මට විශේෂ දෙයක්. තවත් රූගත කිරීමකදී මට බලු යාළුවෙක් එක්ක රඟපාන්න තිබුණා. මං සාමාන්‍යයෙන් බව්වන්ට බයයි. හරිම බයෙන් තමයි ඒ වැඩේ කෙරුවේ.


ප්‍රේක්ෂකයා අතර ඔයා ජනප්‍රිය වුණේ මොන නිර්මාණවලින්ද ?


මම හිතන්නේ සොෆ්ට්ලොජික් වෙළෙඳ දැන්වීම් සහ ‘සේයා‘ ටෙලි නාට්‍යයෙන් තමයි ප්‍රේක්ෂකයා මාව හොඳින්ම දැනගත්තේ. ‘ගිනි අවි සහ ගිනි කෙළි‘ චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා.


ඔයා රඟපාන්න ආස විශේෂ චරිත මොනවද ?


මම ආසයි රාජ කුමාරයෙක්ගේ, ගැමි ළමයෙක්ගේ චරිත රඟපාන්න.


ප්‍රවීණ කලා ශිල්පීන්ගෙන් ඔයාට ලැබෙන සහයෝගය කොහොමද ?


මම රඟපාන ටෙලි නිර්මාණවල ඉන්න නැන්දලා, මාමලා හැමෝගෙන්ම ඉහළම සහයෝගයක් ලැබෙනවා. පුබුදු චතුරංග මාමා ‘සේයා‘ නාට්‍යයේදී ගොඩක් දේවල් කියලා දුන්නා. ඔහුගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. ඒ වගේම ලසංක, ගයාන් ගුණවර්ධන මාමාලා ඇතුළු ගොඩක් අය මට සහාය වුණා.


රංගනයට අමතරව තව මොනවද පෙමුදට තියෙන දක්ෂතා ?


මට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. දේශීය නර්තනය හදාරනවා. ගැට බෙරය ගහන්න පුළුවන්. රන්වල බලකායේ ගම්පහ ශාඛාවේ සහන් රන්වල ගුරුතුමාගෙන් මම ගොඩක් කලාංග ගැන ඉගෙන ගන්නවා. සහන් සර් කියලා දෙන අපේකමට මම හරිම ආසයි.


ඉදිරියේදි විකාශය වෙන්න තියෙන නිර්මාණ මොනවද ?


ලසංක මදුෂාන් මාමගේ අලුත් ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ඒකේ ‘පන්සිළු‘ කියන ප්‍රධාන ළමා චරිතය කරන්නේ මම.


අනාගත බලාපොරොත්තුව ?


විද්‍යාඥයෙක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම නැසී ගිය ජ්‍යෙෂ්ඨ කලාවේදී ජැක්සන් ඇන්තනී සර් වගේ කලාකරුවෙක් වෙන්න මම කැමතියි.

gossiplanka image 2
Previous Post Next Post