
මම දකින විධියට සූර්යා කියන්නේ මෑතකදී බිහිවුණු හොඳම පවුලේ චිත්‍රපටය. ලංකාවේ චිත්‍රපට තුළ මම මෝටිවේෂනල් පැත්තෙන් චිත්‍රපට දැකලම නැති තරම්. ඉතින් සූර්යා මෝටිවේෂනල් පැත්තෙන් තිබෙන ඉතාම හොඳ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ
කතා තේමාව අපි චිත්‍රපටයක් නැරැඹීමෙන් ලැබෙන විනෝදයට අමතරව වටින පණිවිඩයක් ලබා දෙනවා. ඒ කියන්නේ විනෝදයත් එක්කම අපි හැමෝටම වටින පණිවිඩයක් ගෙදර අරගෙන යන්න පුළුවන් චිත්‍රපටයක්.
තාරුණ්‍යයට සූර්යා චිත්‍රපටයෙන් දෙන පණිවිඩය ගැන ඔබේ අදහස?
මම කියන්නේ ඒක ඉතාම හොඳ චිත්‍රපටයක්. මොකද අනූව දශකයේ අග භාගයෙන් පසුව අපිට අපේ මවුපියන් එක්ක තිබෙන බැඳීම අපේ දරුවන් එක්ක තිබෙන බැඳීම මේ ආර්ථික රටාව තාක්ෂණික රටාව තුළ දුරස් වෙලා තිබෙනවා. ඒත් එක්ක අපේ මානුෂීය පැත්ත ගිලිහෙමින් අපි රොබෝලා වගේ නිර්මාණය වීමක් තිබෙනවා. ඉතින් අලුත් පරම්පරාවේ දරුවන්ට එහෙම මේ චිත්‍රපටය ඉතාම වටිනවා.
මේ වන විට සූර්යා චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම අපි චිත්‍රපටය රිලීස් කරන්නට පෙර විශේෂිත ආරාධිත පිරිසකට චිත්‍රපටය පෙන්නුවා. ඔවුන් සහ මාධ්‍ය දර්ශනයේදී නැරඹූ පිරිස පවා ගොඩක් සංවේදී වුණා. චිත්‍රපටයේ රඟපාපු රංගන ශිල්පීන් ශිල්පිනියන් පවා චිත්‍රපටය නැරඹීමේදී අඬවපු කතන්දරයක් මෙහි තිබෙනවා. ඉතින් චිත්‍රපටය නරඹන හැමෝම සංවේදී කරවන හොඳ වින්දනයක් ලබා දෙන චිත්‍රපටයක් බව නම් මට විශ්වාසයි.
සූර්යා චිත්‍රපට නිෂ්පාදක දිනේෂ් මුතුගල සර්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ඉතාම ඉහළයි. ඒ කියන්නේ මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි අපි යම් කැපවීමක් අපේ වෘත්තිය තුළ කළා නම් ඒ කැපවීමට ලැබුණු හොඳම ත්‍යාගය නිෂ්පාදක විධියට දිනේෂ් මුතුගල සර් ලැබුණු එක කියන දේ. මොකද සමහර අය නිෂ්පාදකවරයකු වුණාම කොහොම වුණත් අවසානයේ මුදල් කියන කාරණයත් එක්ක ගණන් මිමි බලලා මුදල ඉතුරු කරගන්න පරමාර්ථයෙන්නේ සමහර දේවල් කරන්නේ. නමුත් මුතුගල සර් ඒ වෘත්තියට දෙන්න පුළුවන් වටිනාකම උපරිමයෙන්ම දුන්නා. හැමවෙලේම ඔහු මේ නිර්මාණයේ තිබෙන වටිනාකම තේරුම් ගත්තා. මහේෂ් මුණසිංහ අයියටත් මේ පණිවිඩය කියන්න පුළුවන් නිෂ්පාදකවරයකු තමයි අවශ්‍ය වුණේ. ඒත් එක්ක මම විශ්වාස කරන්නේ මුතුගල සර් කියන්නේ අපේ පිනකට අපට ලැබුණු නිෂ්පාදකවරයකු කියන දේ. එතැනින් එහාට ඔහු රංගන ශිල්පියකු විධියටත් සම්බන්ධ වුණා. මම විශ්වාස කරන්නේ ඔහුගේ තිබෙන ඒ නිහතමානීකම නිසාම ඔහු දීප්තිමත් ගුරුවරයකු ලෙස හැමදාම දිදුලනවා කියලා.
ඔබ රංගන ශිල්පියකු ලෙස එදත් අදත් නිහතමානී චරිතයක්?
ඒ ගැන සතුටුයි. මම ඒක බොරුවට හදාගත්තු දෙයක් නෙවෙයි. මගේ පිනකට මම ඒ විධියේ කෙනෙක්. ජීවිතයේ දේවල් ළඟදි ලැබුණු ජීවිතය ගැන ඇරියස් තිබෙන මිනිසුන් තමයි එහෙම ඉදිමෙන්න ඕනෑ. ජීවිතය ගැන හරියට තේරුම් ගත්තම අපිට දේවල් ලැබෙද්දි සන්තෝෂ වෙන්නවත් දේවල් අහිමි වෙද්දි දුක් වෙන්නවත් ඕනෑ නෑ කියලා තමයි මම විශ්වාස කරන්නේ. අපි බොහොම මැදිහත්ව ජීවත් වුණාම හැමදේම මැදහත් සිතෙන් දරාගන්න පුළුවන්. සමහර වෙලාවට මම ආඩම්බර වෙන්න හදද්දී මම ඒක පාලනය කරගන්නවා. ප්‍රේක්ෂකයන් දෙන ආදරයට මම හරි ආදරෙයි. ඒ ආදරය මට හරි අවංකව ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා.
ඔබ නිතර නිතර නිර්මාණවල නොදැක්කත් එදා මෙදා එක සේ රසික ආදරය දිනා ගන්නේ කොහොමද?
මම හිතන්නේ අපි කරන නිර්මාණවල ප්‍රමාණයට වඩා අපි කරන එක, නිර්මාණය හරි ප්‍රබල වුණොත් ඒක බලපානවා. නිතර නිතර දැක්කා කියලා මිනිසුන්ට අපිව දැනෙන්නේ නෑ. හැමවෙලේම දකිද්දි මිනිසුන්ට එපා වෙන එකයි වෙන්නේ. මම පෞද්ගලිකව ටෙලි නාට්‍යවලින් පවා ඈත් වුණේ ඒ සංකීර්ණ කාල සටහන්වලට අකැමැති නිසා. ඒ තුළින් හරි නිර්මාණයක් බිහිකර ගන්න අමාරුයි කියන එකයි මගේ විශ්වාසය. මොකද නිර්මාණයක් බිහිකර ගන්න මනස නිදහස් වෙන්න ඕනෑ. මම ටෙලි නාට්‍යවලින් පවා ඈත් වුණේ හොඳම දේ කරන්නයි. මම නිර්මාණයකට දායක වුණාම ඒ දේ මම අවංකව කළා කියන්න මට අයිතියක් තිබෙනවා සහ ඒක ප්‍රේක්ෂකයෝ විශ්වාස කරන බවක් පෙනෙනවා. ඒ තුළ මම තව තවත් අවංක වෙන්න උත්සාහ කරනවා. මාව ගන්න අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරුන්ට ගරු කරන්න ඕනෑ.
සූර්යා නැරඹූ ඔබේ මවුපියන්ගේ ප්‍රතිචාරය කොහොමද?
ඒ දෙන්නා තමයි හැමවෙලේම මගේ ශක්තිය. ඒ දෙන්නා සතුටු වෙනවා බලලා තමයි මම හැමවෙලේම සතුටු වෙන්නේ. ඒ නිසාම තමයි මට හරි යන්නේ කියලත් මම හිතනවා. ඉතින් ඔවුන් දෙදෙනත් සූර්යා පායනකල් බොහොම ආශාවෙන් බලාගෙන හිටියා. ඒ දෙදෙනා මං ගැන සහ මල්ලි ගැන නිහතමානීව ආඩම්බර වෙනවා කියලා මම දන්නවා. මොන දේ කළත් අවසානයේදී ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනෑ මගේ මවුපියන්ටයි.
ඔබ සහ සමාධි සුදීක්ෂා අතර ආදර සබඳතාවක් ගැන කතාබහට ලක්වෙනවා?
අපි කරපු වැඩසටහනක් නිසා තමයි ඒ දේ වුණේ. නමුත් චිත්‍රපටයේ ප්‍රවර්ධනය සඳහා තමයි අපි ඒ වැඩසටහනට සහභාගි වෙන්නේ කියලා ඒකෙ බොහොම පැහැදිලිව කියනවා. සමාධිටත් මටත් තිබෙන ආදරය නිසා ප්‍රේක්ෂකයෝම තමයි අපි දෙන්නව ජෝඩු කරලා තිබුණේ. මට ඒ ගැන හරිම සතුටුයි. මොකද මෑත කාලීනව නළු නිළියන් පෙම්වතුන් වුණාම දොස් කියන එකනෙ කරන්නේ. නමුත් අපි දෙන්නට හොඳ කියලා තමයි අදහස් පළ කරලා තිබුණේ. ඉදිරියේදී මට විවාහ වෙන්න කැමැත්ත තිබෙනවා. හරි කෙනෙක් හොයාගන්න
එක තමයි ප්‍රශ්නය. ලෝකයට පේන්න නෙවෙයි තමන්ට පහසු කෙනකු එක්ක තමයි අපි විවාහ වෙන්න ඕනෑ. මම වගේම පොළොවේ පය ගහලා ඉන්න බොහොම අවංක කෙනකු වෙන්න ඕනෑ. ඇත්තටම මම එක්ක සබඳතා තිබුණ පෙම්වතියන් සියලුම දෙනා බොහොම අවංකව මට ආදරය කළ ගරුත්වය ලබා දුන් අය. නමුත් එක එක හේතු මත අපට වෙන් වෙන්න සිද්ධ වුණා. විවාහයකින් මට ඒ දේ කෙළවර කරගන්න බැරි වුණා. නමුත් දුක් වෙන්නේ නෑ. හොඳම දේ හොඳම විධියට වෙයි කියලා මම හැමවෙලේම විශ්වාස කරනවා.
