
ඔව්... කාලයකට පස්සේ මම වේදිකා නාට්‍යයක් කරන්න පටන් ගත්තා. ඒකෙ නම ‘මරු නෙවෙයි බොරු’. 2008 දී තමයි මම අවසන් වතාවට වේදිකා නාට්‍යයක් කළේ. ඒ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ සහ යොවුන් නාට්‍ය උළෙලේ සම්මාන දිනා ගත්තා. ඒ වගේම මම ‘ආපසු’ නමින් 2008 අවුරුද්දේ නාට්‍යයක් කළා. ඇත්තම කිව්වොත් මම වේදිකා නාට්‍යයක් මේ වකවානුවේදී කරන්න සූදානම් වුණේ නැහැ. මගේ සිනමා පටය කරන්න මට ඕනෑ වුණා. ඒ වගේම ටෙලිනාට්‍යයක් කරන්නත් සූදානම් වුණා. ඒ වෙනුවෙන් මම නිෂ්පාදකවරුන් කිහිප දෙනෙක් මුණගැහුණා. නමුත් ඔවුන් යෝජනා කරන දේවල් නිසා මම ටෙලිනාට්‍ය නිර්මාණය කිරීම නතර කළා. ‘ඇක්ෂන් ඇන්ඩ් කට්’ විතරක් කියන අධ්යක්ෂවරයෙක් වෙන්න මම කැමති නැහැ. නිර්මාණයකට සාධාරණයක් කරන්න නම් ඒ වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන්න ඕනෑ. ඔවුන් යෝජනා කළ නිළියන් නිර්මාණයට එකතු කරගන්න මම කැමති නොවුණු තැන ඔවුන් නිෂ්පාදනයට දායකත්වය ලබා දීම අතහැරියා. ඒ නිසාම තමයි නැවත වේදිකා නාට්‍යයක් කරන්න මට හිතුණේ.
2008 වසරේදී අවසන් වේදිකා නාට්‍ය කළ ආලෝක, 2025 දක්වා වේදිකාවේ නිහඬතාවයක් තියන්න හේතුව මොකක්ද?
ඒ කාලේ අපි නාට්‍ය උළෙල ඉලක්ක කරගෙන නාට්‍ය නිර්මාණය කළා. ඒ උළෙලවලදී සම්මාන ලැබිලා නාට්‍ය දින දෙක තුනක් වේදිකාගත කරලා ඒක නතර කළා. එහෙම කැප කරන්න කාලයක් සහ ඒවාට වියදම් කරන්න දැන් මුදලක් ඇත්තටම නැහැ. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ පුහුණුවීම් කරද්දි රඟපාන කවුරු හරි එක දවසකට හැමෝටම කෑම ගෙනාවා. ඒ වගේ බෙදාගෙන වැඩ කරමින් අපි නිර්මාණ කටයුතු කළා. නමුත් මේ කාලේ වෘත්තීමය මට්ටමෙන් ඒ හැමදේම කරන්න සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. ඒ හැමදේම නිසා වේදිකා නාට්‍යයක් කරන්නට කල් ගත්තා. ගම්වලට යන බොහෝ වේදිකා නාට්‍යවල වැඩි වශයෙන් ජනප්‍රිය මුහුණු තිබුණා. නාට්‍ය උළෙලක දිනපු නාට්‍යයක් ගමකට යන්නේ හරිම කලාතුරකින්. පහුගිය කාලය තුළ මුණගැහුණු බොහෝ දෙනා “උඹ නාට්‍යයක් කරන්නේ නැද්ද?” කියලා මගෙන් ඇහුවා. ඒ පෙළඹවීමත් මේ නිහැඬියාවට තිත තියන්න හේතුවක් වුණා.
මරු නෙවෙයි බොරු... ඒ ගැන අපිට කියන්න?
ඒ කාලේ මම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය නොකළාට වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒවා ලංකාව පුරා වගේම විදෙස්ගතවත් වේදිකාගත වුණා. ඒ අතරේ අපි නාට්‍ය වේදිකාගත කරන්නේ ලංකාවේ සීමිත ප්‍රදේශ කිහිපයක විතරක් බව මට තේරුණා. ලංකාවේ හැමතැනම වේදිකා නාට්‍ය පෙන්වන්න රඟහලවල් නැහැ. සීමිත නගරවල පමණක් මේ නාට්‍ය වේදිකාගත වුණා. බොහෝ දෙනා වේදිකා නාට්‍යයක් සංවිධානය කරන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි ගම් ඇතුළේ වේදිකා නාට්‍යවලට හොඳ ප්‍රේක්ෂකාගාරයක් තියෙන බව මම තේරුම් ගත්තා. ඔවුන්ට නාට්‍ය බලන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ‘මරු නෙවෙයි බොරු’ වේදිකා නාට්‍ය විකල්ප ධාරාවේ නාට්‍යයක් හැටියට අධ්‍යක්ෂණය කරන්න මම තීරණය කළා. මේ නාට්‍ය රඟ දක්වන්න රඟහලක්ම අවශ්‍ය නැහැ. අපිට කමතක, පිට්ටනියක, එළිමහනක, බස් නැවතුමක, වගේම රඟහලක වුණත් මේ නාට්‍ය රඟ දක්වන්න පුළුවන්. මමත් ගමකින් ආපු කෙනෙක්. ඒ නිසා නගරයට මෙන්ම ගමට ‘මරු නෙවෙයි බොරු’ ගෙන්වන්න පුළුවන්. නාට්‍ය කලාව රසවිඳින ප්‍රේක්ෂකයන්ට මේක හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. හරි හතරැස් වේදිකාවක් නැතත් මේ නාට්‍ය ඕනෑම තැනක වේදිකාගත කරන්න පුළුවන්. මේ නාට්‍ය නරඹද්දී නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එයත් ‘මරු නෙවෙයි බොරු’ වේදිකා නාට්‍යයේ විශේෂත්වයක් වෙනවා.
‘මරු නෙවෙයි බොරු’ වේදිකා නාට්‍යයේ කතා තේමාව මොකක්ද?
අද සමාජයේ බොරුව මාර විදිහට ‘මාකට්’ කරලයි තියෙන්නේ. තමන්ගේ හෘද සාක්ෂියට වඩා බොරුව විශ්වාස කරන්න අපේ මිනිස්සු පෙළඹිලා ඉන්නවා. හැමදේම බොරුවත් එක්ක ගලාගෙන යන්න සලස්වලා තියෙනවා. පැරැණියෝ පිළිකුල් කරපු දෙයක් තමයි මේ බොරුව කියන්නෙ. නමුත් අද සමාජයේ පාලකයන්ගේ ඉඳන් බොහෝ දෙනා බොරුවෙන් පෝෂණය වෙනවා. මේ බොරුවේ තියෙන භයානක බව, එහි තියෙන ඛේදවාචකය ගැන මේ නාට්‍ය ඔස්සේ අපි කතා කරනවා. මේ වෙද්දී සමාජ මාධ්‍ය බොරුව සමාජගත කරන්න ලොකු මෙවලමක් වෙලා තියෙනවා. බොරුව මරු කැඳවන තරමටම අද සමාජයේ පිළිලයක් වෙලා තියෙනවා.
මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙන පිරිස කවුද?
මේ නිර්මාණයට ප්‍රවීණයන් බොහොමයක් එකතු වෙනවා. නිල්මිණී කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, සුදර්ශන බණ්ඩාර, කපිල සමරකෝන්, මදුශානි වික්‍රමසිංහ, සුදර්ශන ක්‍රිෂාන්ත, යසන්ත කරුණාරත්න සහ මමත් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.
මේ වේදිකා නාට්‍ය මුලින්ම වේදිකාගත වෙන්නේ කවදාද?
මෙහි මංගල දර්ශනය අගෝස්තු 20 වැනිදා කුලියාපිටියේදී වේදිකාගත වෙනවා. අගෝස්තු 24 වැනිදා කොත්මලේ, අගෝස්තු 25 මහියංගණයේ, සැප්තැම්බර් 8 වැනිදා මඩකලපුවේ සහ සැප්තැම්බර් 9 වැනිදා යාපනයේදී වේදිකාගත වෙනවා. මේ නාට්‍ය සිංහල භාෂාවෙන් වගේම දමිළ නාට්‍යකරුවන් සම්බන්ධ කරගෙන දමිළ භාෂාවෙන්ද වේදිකාගත කිරීම විශේෂත්වයක්. ඒ නිසා දමිළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම මේ නාට්‍ය නරඹන්න පුළුවන්. මුල්ම ප්‍රසංග පහ අපි නොමිලේ වේදිකාගත කරනවා. මෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් අපිට වෝටර් මාක් ක්‍රියේෂන්ස් ආයතනය ලොකු සහයෝගයක් ලබා දෙනවා.
• දිශානි ජයමාලි
