ආදරය ගැන මට තියෙන්නෙ අමිහිරි මතකයක්-ඕෂධ කුමා

gossiplanka image 2
සුගිය දිනවල නිමාවට පත්වුණු හර්ෂ උඩකන්දගේ ‘ප්‍රාර්ථනා’ ටෙලි නිර්මාණයේ මෙන්ම මේ දිනවල විකාශය වන දිලූක ප්‍රසාද් ගුණතිලකගේ ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’, පී. නන්දසේනගේ ‘මගේම දෝ’ ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට හමුවන ඔහු ඕෂධ කුමා කුරුකුලසූරියයි. දශක තුනකට ආසන්න කාලයක් ටෙලි නාට්‍ය, චිත්‍රපට මෙන්ම වෙළෙඳ දැන්වීම් හරහා තම රංගන සිහිනය සැබෑ කරගත් ඕෂධ සිරස නාළිකාවේ විකාශය වුණු කිඳුරංගනා ටෙලි නිර්මාණයේ මිස්ටර් පීරිස්ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතර බොහෝ කතාබහට ලක්විය. මේ වනවිට ටෙලි නිර්මාණ 150කට පමණ රංගනයෙන් දායක වී ඇති ඔහු සංගීතේ ටෙලි නිර්මාණයේ හේෂාන් නිසා අදටත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලබන බව පැවසුවේ අප හා කතාබහට එක්වෙමිනි.


“මං පොඩි කාලෙ ඉඳන් ලොකු කට්ටක් කාලා මෙතැනට ආව කෙනෙක්. මුලින්ම මං මේ ක්ෂේත්‍රයට එන්නේ ළමා රංගන ශිල්පියෙක් විදිහට. මේ ගමනෙදි ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබුණා. ඒ අතින් මං වාසනාවන්තයි. ඔවුන්ගේ මඟපෙන්වීම අද මං මේ ඉන්න තත්ත්වයට එන්න රුකුලක් වුණා කිව්වත් හරි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඔහු අපෙන් වෙන්වෙලා දැනට අවුරුදු 10ක් වෙනවා. මට ඉන්නේ අම්මයි අක්කයි විතරයි. අක්කා විවාහ වෙලා වෙනම ඉන්නේ. ආදරය ගැන මට තියෙන්නෙ අමිහිරි මතකයක්. “


ඕෂධ තම ජීවිතය ගැන එලෙස විවරණය කළේ මෙතෙක් ඔහු ආ ගමන රෝස මල් මාවතක් නොවන බව හැඟවීමට මෙනි.


කුඩා කල සිට දුටු රංගන සිහිනය සැබෑ වෙද්දී වටිනා අවස්ථා මඟහැරුණ ද අද ඔහු පසුවන්නේ ඒ ආ ගමන්මඟ ගැන තෘප්තිමත් හැඟීමකිනි.


“ළමා නිවේදකයෙක් විදිහට ඇවිත් ලංකාවේ ජනප්‍රියම නාළිකාවක පුහුණු නිවේදකයෙක් විදිහට වැඩ කරන්න ලැබුණු අවස්ථාත් අතහැරගෙන තමයි මං පූර්ණකාලීනව රංගනය තෝර ගත්තේ. ඒත් ඒ සන්නිවේදකයා තාමත් මා ළඟ ඉන්නවා.


2007 වසරේ මං ස්වර්ණවාහිනියට යන්නේ ස්වර්ණාභිමානි තරගාවලියේ නිවේදක අංශයේ විචිත්‍ර අංශයේ ජයග්‍රාහකයා විදිහට. ඒ ජයග්‍රහණය මට ගොඩක් වටිනවා. ඒ හරහා මං පුහුණු නිවේදකයෙක් විදිහට සම්බන්ධ වුණා. රංගනයට වගේම අදටත් මං නිවේදනයටත් හරිම ආසයි. රංගනයයි නිවේදනයයි කියන්නේ මගේ ජීවිතේම වගේ. මම දැනට සිංහ ඔක්ෂන් පැසිපික් මිනරල් ආයතනයේ වැඩසටහන් නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා.


නිවේදකයෙක් විදිහට කලඑළි බැස්සට මගේ රංගන සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ සිරස නාළිකාවට සම්බන්ධ ටැලන්ට් ෆැක්ටරි ආයතනයට සම්බන්ධ වීමත් එක්ක. ගම්පහ ජෝශප් මයිකල් පෙරේරා තරුණ සංවර්ධන පදනම මාධ්‍ය අංශය මට ඒ අවස්ථාව විවර කළේ නැත්නම් අද ඕෂධ කියල කෙනෙක් කවුරුත් දන්නෙ නැති වෙන්නත් තිබුණා.


මිණිගං දෑල, මිල්ලෑව වලව්ව, ආයෙමත් ආදරෙන්, වස්සානේ ප්‍රේමය ඇතුළු ටෙලි නිර්මාණ 150කට විතර මේ වෙද්දි රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතරින් සංසාරිණී ටෙලි නිර්මාණයේ සහ කාසි වාසි සිනමාපටයේ පූජකවරයෙක්ගේ භූමිකාව මට විශේෂයි. ඒ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. ඉදිරියේදී මායාවී, පට්ටි ගෙදර ටෙලි නිර්මාණවලිනුත් මාව දකින්න ලැබේවි.“


ඕෂධ තමන් පැමිණි ගමන් මඟ ගැන පැවසුවේ එලෙසිනි. මේ වන විට රංගනයට අමතරව මනෝ උපදේශකවරයෙක් විදිහට ද ඔහු කටයුතු කරනු ලැබේ.

gossiplanka image 1
Previous Post Next Post