වයස අවුරුදු තුනේ ඉඳලා රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීම්වල රඟපානවා -බෝනුල රඹුක්ඇල්ල

gossiplanka image 1
විවිධ හැකියා හා කුසලතා සහිත දක්ෂ පොඩ්ඩන් අතරේ රංගන කුසලතාව සහිත තවත් අපූරු ළමා රංගන ශිල්පියෙකු අපට මුණගැසිණි. දුටුවන්ගේ නෙත් සිත් ආකර්ෂණය කර ගන්නා සිනහවක් හා පෙනුමක් සහිත මේ ළමා ශිල්පියා බෝනුල රඹුක්ඇල්ලයි.


බෝනුල කොහොමද, මේ දවස්වල ඔයා ඉස්කෝලේ යනවද ?


හොඳින් ඉන්නවා. මම තාම මොන්ටිසෝරි යන්නේ. සැප්තැම්බර් මාසේ ඉඳලා Coventry ජාත්‍යන්තර පාසලට ඇතුළත් වෙනවා. මම ඉන්නේ කළුතර පයාගල.


ඔයාට රඟපාන්නත් පුළුවන් නේද ?


ඔව්, මම වයස අවුරුදු තුනේ ඉඳලා රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීම්වල රඟපානවා. සම්පත් බැංකු, සණස බැංකු, මෙල්වා, ටොයොටා ලංකා, බේබි ෂෙරමි, ඇට්ලස් වගේ ගොඩක් වෙළඳ දැන්වීම්වල රඟපාලා තියෙනවා. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. අම්මිගේ ඉස්කෝලේ යාළුවෙක් වෙන ශානි ආන්ටි තමයි මගේ පොටෝ ෂූට් එකක් දැකලා මුලින්ම වෙ‍ෙළඳ දැන්වීමකට කතා කළේ. මම හිරු ටීවි එකේ ‘හිච්චී‘, ජාතික රූපවාහිනියේ ‘අමුතු දීගේ‘, ටීවී දෙරණේ ‘කෝඩුකාරී‘ කියන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා.


රඟපානකොට බෝනුලට සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති.


‘හිච්චී‘ නාට්‍යයේ රූගත කිරීම්වලදී නිරෝෂන් අංකල් මාව බයිසිකලේ තියාගෙන ගස් ගොඩාක් තියෙන වතු මැදින් පැදගෙන ගියා. ඊට කලින් මට එහෙම අත්දැකීමක් ලැබිලා නෑ. මම හරිම ආසා වුණා ඒ අත්දැකීමට. හරිම ලස්සන දොල පාරකින් හැදුව පීල්ලක් හරහා වතුර එනවා. ඒ වතුරට අල්ලන්න මට රූං පෙත්තක් හදලා දුන්නා ඒ මාමලා. ඒ වගෙන් සෙල්ලම් කරපු හැටි මට තාම මතකයි.


තව දවසක් මීගමුවේ බීච් එකේ රූගත කිරීමක් තිබුණා. මට එතැන හිටපු අශ්වයෙක්ගේ පිටේ යන්න ඕන වුණා. ඊට පස්සේ මාව අශ්වයා පිටේ තියන් මාමලා බීච් එකේ වටයක් ගියා. මං අශ්වයෙක්ගේ පිටේ ගිය පළවෙනි සැරේ තමයි ඒක.


රඟපාන අනික් නැන්දලා මාමලාගෙන් ඔයාට රඟපානකොට ගොඩක් උදව් ලැබෙනවාද ?


අපොයි ඔව්. මාමලා නැන්දලා හැමෝම මට ගොඩක් උදව් කරනවා රඟපෑම් කටයුතුවලට. ප්‍රවීණ අය එක්ක තමයි මට ගොඩක්ම රඟපාන්න ලැබුණේ. මගේ දඟ වැඩ ඉවස ගෙන මාත් එක්ක වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි. මම ඒ නැන්දලා මාමලා හැමෝටම හරි ආදරෙයි.


රඟපෑමට අමතරව ඔයාට වෙන මොනවද පුළුවන් ?


මං ආසයි සින්දු කියන්න. එ් වගේම මම නටන්නත් ආසයි. ආ …. මට චිත්‍ර අඳින්නත් පුළුවන්. රඟපාන්න යන්නේ නැති දවස්වලට මං ගෙදරට වෙලා චිත්‍ර අඳිනවා, සින්දු කියනවා නටනවා, මගේ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්නවා.


ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද?


මම ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ වගේම රඟපෑමෙන් ඉදිරියටම යන්න.


ඔයාට කවුද බෝනුල මේ වැඩවලට උදව් කරන්නේ ?


මගෙ අම්මයි තාත්තයි තමයි මේ හැමදේටම උදව් කරන්නේ.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?


රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීම් කිහිපයක් එන්න තියෙනවා. මේ දවස්වල මට චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මං හරිම අසයි සතුටින් ඉන්න. මං මගෙ අම්මටයි තාත්තටයි තමයි ගොඩක්ම ආදරේ.

gossiplanka image 2
Previous Post Next Post