
සුමති සම්මාන උළෙලේ දී ලද ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ගැන මුලින්ම කතා කළොත්?
ජනප්‍රිය සම්මානය නම් දැන් සම්මාන උළෙලවලදී කිහිප වතාවක්ම ලැබිලා තිබෙනවා. සුමති ටෙලි සම්මාන උළෙලකදී නම් මේ තුන්වැනි වතාවට තමයි ලැබුණේ.
ප්‍රේක්‍ෂකයන් හැමදාම ඔබව ජනප්‍රිය නළුවා බවට පත් කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
අර කිව්වත් වගේ සතුටුයි. දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් වෙනවානේ. ඒ කාලේ ඉඳලා මට ආදරය කරපු මගේ නිර්මාණත් එක්ක ඉඳපු පිරිසක් ඉන්නවා. ඉතිං ඒගොල්ලන්ගේ ආදරය තවමත් නොඅඩුව ලැබෙන එක ගැන සතුටුයි.
සම්මාන උළෙලට සහභාගි වෙනකොට හිතුවද මේ සම්මානය ඔබේ අතට ලැබෙයි කියලා?
එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම කවදත් ඉතිං සම්මාන උළෙලකට යන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම නොහිතපු විධියට හොඳම පූරකට සම්මානය ලැබුණා. ඒක මම කොහොමත්ම බලාපොරොත්තු වෙලා තිබුණේ නැහැ. ඉතිං ඒක ඒ වෙලාවේ සර්ප්‍රයිස් එකක් වුණා. ජනප්‍රිය සම්මානයේදී නම් මුල කිහිපදෙනා අතර දිගටම රැඳිලා හිටියා. ඉතිං සතුටුයි.
එකම සම්මාන උළෙලේදී නෝනයි මහත්තයයි (සාරංග – දිනක්‍ෂි) ජනප්‍රිය නළුවා, නිළිය බවට පත්වෙනවා. ඒ නැවුම් අත්දැකීමක් නේද?
හරීන්ද්‍ර අයිය ඒ වෙලාවේ ඒක ප්‍රකාශ කරපු විදිහට තමයි ඒකත් අපිට ඒ වෙලාවේ සුවිශේෂයි කියලා හැඟුණේ. ඒක හරි සුන්දර අත්දැකීමක්. කාලයක් ගිහිල්ලා අපිට ඒ දවස හොඳ සිහිවටනයක් වෙයි.
මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වුණු ‘ක්ලැරන්ස් Rhythm Of The Guitar’ සිනාමාශාලා හවුස්ෆුල් වෙනවා. මොකද හිතෙන්නේ?
අවංකවම මමත් මේ තරම්ම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් නරඹපු හැමෝගෙම අදහස්වලින් තමයි තේරුණේ සිනමාවේ ඒ විදිහේ නිර්මාණයක ලොකු අඩුවක් තිබිලා තිබෙනවා කියලා. පවුලේ හැමෝටම වයස් භේදයකින් තොරව රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. ඒත් එක්කම අනෙක් පැත්තෙන් ක්ලැරන්ස් විජේවර්ධනට කොච්චර ආදරය කරනවාද ඔහුගේ සංගීතය අපේ ජන හදවත්වලට කොච්චර ළංවෙමින් ගැඹුරුම තැනක ඒ සංගීතයට ප්‍රේක්‍ෂකයෝ ඉඩක් වෙන් කරලා තිබෙනවාද කියන කාරණය ගොඩක් මතුවෙච්ච දෙයක්. ඒත් එක්ක සිනමාවට අලුත්ම නළු නිළියන් දෙපළක් හඳුන්වා දෙන්න ලැබීමත් ක්ලැරන්ස් චිත්‍රපටයේ සුවිශේෂී දෙයක්. ඒ දමිත් සහ තිහාරියි. මම හිතනවා ඒ දෙපළ ශ්‍රී ලාංකීය සිනමාවට හොඳ ආයෝජනයක් කියලා. තේජා ඉද්දමල්ගොඩ මහත්තයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ ඔවුන් දෙදෙනාවත් සිනමාවට හඳුන්වා දීමත්, ඒත් එක්කම ක්ලැරන්ස් වගේ දැවැන්තයකුගේ චරිතයක් පිළිබඳව අලුත් පරම්පරාවේ දැනුම වැඩි කරලා සහ අලුත් පරම්පරාව තවදුරටත් ක්ලැරන්ස් විජේවර්ධනගේ රසික රසිකාවියන් බවට පත් කිරීමේ ගෞරවයත් තේජා ඉද්දමල්ගොඩට ලැබිය යුතුයි. ඒත් එක්කම තුසිත විජයසේන මහත්මයාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ නිෂ්පාදකවරයෙක් විදිහට ඒ වගේ නිර්මාණයකට අතගසලා ජනතාව අතරට අරගෙන යෑම පිළිබඳව.
මෙහි ඔබ රංගනයෙන් දායක වෙන්නේ ඇනස්ලිගේ චරිතයට. කට්ටිය මොනවද ඇනස්ලි ගැන කියන්නේ?
ඇනස්ලි මාලේවනයන් කියන්නේ හැමදාමත් ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනාගත් කලාකරුවෙක්. ඔහුට වැරැද්දක් අඩුපාඩුවක් කියනවා මම නම් කවදාවත් අහලා නැහැ. ඉතිං ඔහුට හැමදාමත් ආදරෙයි. ඔහුගේ හඬට ප්‍රේක්‍ෂකයොත් ඉතාමත් ආසයි. ඉතිං මේ සිනමා පටය හරහා ප්‍රේක්‍ෂකයන්ට ඇනස්ලි මාලේවනයන් පිළිබඳ තිබුණු ආදරය තව තවත් වැඩි වුණා කියලාත් ඇනස්ලි මාලේවනයන් පිළිබඳව මේ සිනමා පටය හරහා අලුත් පරම්පරාවට තව තවත් තොරතුරු දැන ගන්නට ලැබුණා කියලාත් මම හිතනවා.
ඇනස්ලි මාලේවනයන් සාරංගට හමුවුණහම මොනවද කිව්වේ?
ඔහු චිත්‍රපටයට කලිනුත් මට මුණගැසුණා. මේ චිත්‍රපටයට අවශ්‍ය පසුබිම සහ ඔහු පිළිබඳව ඔහු දැන හඳුනාගෙන හිටපු ක්ලැරන්ස් පිළිබඳව අපට තොරතුරු දැනගැනීමට මේ චිත්‍රපටයට අවශ්‍ය නිසාම ඒ සම්බන්ධය අප තුළ තිබුණා. චිත්‍රපටය රූගත කිරීම් අතරතුරෙත් ඔහුව මට මුණගැසුණා. හරිම සුන්දර කාලයක්. චිත්‍රපටය අතරතුරත් ගීත ගායනා කරමින් සුන්දරව ගත කරපු කාලයක් ඒක. චිත්‍රපටය ඇරඹුවාට පසුවත් ඔහු සතුටු වුණා.
මෙහි ඔබේ බිරිඳ දිනක්‍ෂි ගැන මුහුණුපොතේ හරි අපූරු සටහන් ලියැවෙනවා. ඉන්ද්‍රානිගේ චරිතය සම්බන්ධව සාරංග චිත්‍රපටය නරඹද්දි ඉන්ද්‍රානිගේ චරිතය ගැන මොකද හිතුණේ?
මම හිතන්නේ දිනක්‍ෂි ඉතා හොඳින් ඒ චරිතය තේරුම් අරගෙන තිබ්බා. එයාට මේ චිත්‍රපටය ඇතුළේ ලොකු තිරකාලයක් නැහැ. මුලින්ම පෝස්ටරය දැක්කහම දිනක්‍ෂි ප්‍රධාන චරිතය කරනවා වගේ තැනක තමයි හුඟදෙනෙක් හිටියේ. ඉතිං එහෙම නැහැ. ඇයට බොහොම අවම තිර කාලයක් තමයි තියෙන්නේ. ඒ කාලය ඇතුළත එයාට පෙන්වන්න පුළුවන් වුණා රංගන ශිල්පියකුට තිරයේ කොච්චර කාලයක් ලැබෙන එක නෙවෙයි වැදගත් වෙන්නේ කියන කාරණාව. ඒ චරිතයට කොච්චර සාධාරණයක් කළා ද කියන එක එයත් තේරුම් ගත්තා සහ ප්‍රේක්‍ෂකයන්ට තේරුම් ගන්වන්න, ක්‍ෂේත්‍රයට තේරුම් ගන්වන්න පුළුවන් විදිහට තිර කාලය පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම එක්තරා තැනක චිත්‍රපටය බලපු නැති අය දන්නේ නැති වෙන්න පුළුවන්.
අම්මාගේ ගීතය ගායනා කරද්දි අඬන දර්ශනය හරි හැඟීම් බරයි?
ඔව්. ප්‍රේක්‍ෂකයෝ චිත්‍රපටයේ ගොඩාක්ම සංවේදී තැන විදිහට කතා කරන්නේ ඒ මොහොත ගැන. එයා ඒ චරිතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා.
නෝනයි මහත්තයයි එකට රඟපානවා කියලා තේරෙන්නේ නැහැ. කොහොමද ඒ සමබරතාවය තියාගත්තේ?
මම හිතන්නේ ටේක් කෙයාර් ටෙලි නාට්‍යය රඟපාද්දිත් ගොඩක් අයට ඒ ප්‍රශ්නය තිබුණා වගේම ගොඩක් අය ඒ ගැන ප්‍රශ්න කළා කොහොමද ඇත්ත ජීවිතයෙන් මිදිලා මේ චරිතවලට එන්නේ කියන කාරණාව. ඒක මම දන්නේ නැහැ. ඒක අපි ලොකුවට හිතලා කරන්න උත්සාහ කරන දෙයක් නෙමෙයි. හැබැයි කාලයත් එක්ක අපි චරිතයකට බහිද්දි චරිතයකට අවතීර්ණය වෙද්දි අපේ පෞද්ගලිකත්වය පැත්තකින් තියලා පුළුවන් තරම් ඒ චරිතයට අනුගත වෙන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ප්‍රේක්‍ෂකයන්ට ඒ වෙනස දැනෙනවා නම් මේ දෙන්නා යුවළක් කියලා හැඟෙන්නේ නැතිනම් අපි චරිතවල ඉන්නවා නම් අපි සාර්ථකයි කියලා හිතනවා.
ක්ලැරන්ස්ගේ චිත්‍රපටයේ රඟපානකොට සාරංග ළඟ හිටපු ගායකයාවත් එළියට ගේන්න ඕනෑ කියලා හිතුණේ නැතිද?
කොහොමත් සංගීතයත් එක්ක මගේ එහෙම බැඳීමක් තියෙනවා. රංගනය සහ අනෙකුත් දේවල් එක්ක ගායකයාට වැඩි ඉඩක් ලබාදෙන්න අවස්ථාවක් නැතිකම තමයි තියෙන්නේ. හැබැයි මට සංගීතය පැත්තෙන් ඔබ කතා කරපු හින්දා කියන්නම් මේ චිත්‍රපටයේ නව සංගීත සංයෝජනය කළේ සුරේෂ් මාලියද්ද මහත්මයා. ඔහුටත් ලොකු කාර්යභාරයක් තිබුණා මේ සිනමා පටය ඇතුළේ. ඔහුත් සංගීත අධ්‍යක්‍ෂණය කරන අතරතුරේ හරිම අනපේක්‍ෂිත වේලාවක මට කෝල් කරලා කිව්වා මම දැන් මේ දවස්වල සංගීතය කරගෙන යනගමන් ගීතයට අනුව රංගනය (ටයිමින්) කරලා තියෙන විදිහ ඉතාම හොඳයි කියලා මුලින්ම සහතිකයක් ලබාදුන්නා. ඒ කියන්නේ සිනමා පටය එන්න කලින්ම ඔහුට ගොඩක් පහසු වුණා කිව්වා කණ්ඩායමක් විදිහට රිද්මය පවත්වාගෙන යෑම. ගායනයේ තිබෙන තාක්‍ෂණික කාරණා ටික සෑහෙන හොඳ තත්ත්වයේ තිබෙන බවත් කිව්වා. මම හිතන්නේ ඒක නිසාම වෙන්න ඇති ප්‍රේක්‍ෂකයන්ට චිත්‍රපටයේ තිබෙන ගීත ගායනා කරන තැන් හරිම තාත්වික විදිහටම ඇහිලා තිබ්බේ. හුඟදෙනෙක් මට කියපු දෙයක් තමයි ඇනස්ලි – ක්ලැරන්ස් මේ චරිතවලට මෙයාල ගැළපෙන්නේ නැහැ කියලා හිතාගෙන ගිය කට්ටියටත් අමතක වුණා ඒ සියල්ල චිත්‍රපටය පටන් අරගෙන ටික දුරක් යනකොට කියලා.
කලා පවුලක් විදිහට ලංකාවේ සිනමාහල් පිරී ඉතිරී යෑම පිළිබඳව මොන වගේ අදහසක් ද තියෙන්නේ?
ඇත්තටම සතුටුයි. අපේ නිර්මාණයක් හින්දම නෙමෙයි. ඊට කලින් ඉඳලම ඇත්තටම අපි මේ සතුට භුක්ති විඳිමින් ඉන්නවා. මොකද නෙළුම් කුලුන, වාලම්පුරි එක්ක ඇවිල්ලා ඒ බැටන් එක ක්ලැරන්ස්ට ඒ විදිහටම ගන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටුක්. අනෙක් සුවිශේෂම කාරණය එක එක නිර්මාණ එක එක ශානරවල නිර්මාණ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතිං මම හිතන්නේ මේකෙන් ගොඩක් නවක සිනමාකරුවන්ට දොරවල් ටිකක් ඇරෙනවා සහ උත්තේජනයක් ලබාදෙනවා කියලා. ඉතිං නවක සිනමාකරුවකුට දැන් බය නැතිව (හොඳ සිනමාකරුවකුට) අඩිය තියන්න පුළුවන් සහ නිෂ්පාදකවරුන්ගේ විශ්වාසය බිඳ වැටිලා තිබුණා. කාලයක් තිස්සේ එක චිත්‍රපටයක් නිෂ්පාදනය කළාට පස්සේ තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තිබුණ විශ්වාසය පිළිබඳව ලොකු බයක් සැකක් තිබුණා. නමුත් මම හිතන්නේ සක්‍රීයව වැඩ කරන්න පුළුවන් හොඳ නිෂ්පාදකවරුන්ටත් ලොකු ඉඩකඩක් ක්‍ෂේත්‍රය තුළ හැදෙනවා සහ ලොකුම දේ තමයි අවරගණයේ කියන නිර්මාණ ප්‍රේක්‍ෂකයෝ ඉක්මනින්ම ප්‍රතික්‍ෂ්ප කරනවා. ඒ වගේ චිත්‍රපට තියෙන්නේ සතියයි දෙකයි. ඒකට ප්‍රදර්ශකයොත් සහ සිනමාශාලා හිමිකරුවන් මේ හැමෝම ප්‍රේක්‍ෂකයා ප්‍රතික්‍ෂේප කරන නිර්මාණ තියාගන්නේ නැතිව ඉවත් කරලා හොඳ නිර්මාණවලට අවස්ථාව ලබාදෙනවා. මම හිතන්නේ කර්මාන්තයක් විදිහට ඉතාමත් හොඳ තත්ත්වයක් කියලායි.
දිනේෂ් විතාන
