සෙංකඩගලින් වැයෙන සැක්සෝ හඬ – මාෂා රුවංගි වීරසිංහ

gossiplanka image 1
ඇය නමින් මාෂා නුවන්ගි වීරසිංහ. නමුත් බොහෝ දෙනා ඇයව දන්නෙ ‘සැක්සො මාෂා’ නමින්. ඇත්තටම ඇයගේ හැකියාවන් සුවිශේෂියි. මේ සුවිශේෂී බව නිසාම සමාජමාධ්‍යවල ඇයගේ වීඩියෝස් මිලියන ගණනින් විව්ස් ගන්නව. ඇත්තටම ඇය කවුද? කොහේද ඉන්නෙ? මොනවද කරන්නෙ…?, මීවිත පාඨක ඔබ වෙනුවෙන් අපි මාෂා මුණගැසුණා.‍


මාෂා, කොහොමද ක්‍ෂේත්‍රයට එන්නෙ?


මම මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙ ගායිකාවක් විදිහට. ඒක සිද්ධ වෙන්නෙ මම මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳන්මයි.


සැක්සෆෝනය අතට ගන්නෙත් පාසල් කාලයේදීමද?


මම පාසලේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. නමුත් මම වාදනය කළේ ට්‍රම්පට් කියන වාද්‍ය භාණ්ඩය. මගේ ආසාව තිබුණෙ සැක්සෆෝනයට වුණත් මට ඒකට අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ නිසාම මම හිතුව දවසක මටම කියල සැක්සෆෝන් එකක් ගන්නව කියල.


ඔබ රියැලිටි වැඩ සටහනකට සහභාගි වෙනව?


ඔව්, හිරු ටීවී ආයතනයෙන් පවත්වපු හිරු ස්ටාර් තරගයට මම සහභාගි වෙනව. ඒ පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සෙ. මේ වැඩසටහනෙන් පස්සෙ මට සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙන්න පටන්ගත්තා. ඒ අනුව මම කල්පනා කළේ ගායිකාවක් විදිහට මම කොහොමද ඉදිරියට යන්නෙ කියල. නමුත් අද කාලයේ රියැලිටි වැඩසටහන්වලින් ගායක ගායිකාවන් ගොඩක් බිහිවෙනව. ඒ අයගෙනුත් වෙනසක් කරන අය තමයි ක්‍ෂේත්‍රයේ රැඳෙන්නෙ. මගේ අම්මටයි අප්පච්චිටයි අදහසක් තිබුණා මම ක්‍ෂේත්‍රයේ රැඳෙන්න ඕන වෙනසක් එක්ක කියල. මේ අදහසේ ප්‍රතිපලයක් විදිහට මගේ උපන්දිනයකට අම්මයි අප්පච්චියි එකතුවෙලා මට සැක්සෆෝන් එකක් අරගෙන දෙනව. ඒ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ. මේ අවුරුද්ද තුළ තමයි මම සැක්සෆෝන් එකෙන් වෙනසක් අරගෙන මම ප්‍රේක්‍ෂකයන් අතරට ආවෙ.


කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේදී පැවැත්වුණ ක්ලැරන්ස් සිනමා නිර්මාණයේ මුහුරත් උළෙලින් පස්සෙ මාෂා ගැන නැවතත් කතාබහක් ඇති වුණා?


ඔව්, ක්ලැරන්ස් චිත්‍රපටයේ නිෂ්පාදක තුසිත සර් මුහුරත් උළෙලට කලින් දවසක් මට මුණගැහිල කියනව, මම දැන් ෆිල්ම් එකක් කරල තියෙන්නෙ, ඔයාව කලින් මුණගැහුණා නම් මේ චිත්‍රපටයට ඔයාව දාන්න තිබුණා කියල. මට ඒ වචනටිකම ඇති. ඉන් පස්සෙ මට කිව්වා මගේ චිත්‍රපටයේ මුහුරත් උලෙල දවසට ආරාධිත ශිල්පිනියක් හැටියට ඔයාව ගෙන්නනව කියල. ඒ වගේම මට ඒ ආරාධනාව ලැබුණා.


වෛරල් වුණ වීඩියෝස් නිසා බෑන්ඩ්වලින් ආරාධනා ලැබුණෙ නැද්ද?


මට නුවර අවට බෑන්ඩ් කිහිපයකින්ම කතා කළා. අදටත් කතාකරනව. මමත් කැමතියි සංගීත කණ්ඩායමක් එක්ක සම්බන්ධවෙලා කටයුතු කරන්න. නමුත් මගේ රාජකාරී වැඩකටයුතු නිසා එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්කමක් නැහැ.


මොකක්ද ඔබේ වෘත්තිය?


මම මේ වනවිට නුවර විමලධර්මසූරිය ප්‍රාථමික විද්‍යාලයේ සංගීත ගුරුවරියක් හැටියට කටයුතු කරනව.


ඔබේ හීනයක් අද හැබෑ වෙලා තියෙනව?


ඔව්, මට ඕනෑ වුණේ රටේ හැමෝගෙම ආදරය දිනාගත් නිහතමානී කලාකාරිනියක් වෙන්න. ඒක මටත් වඩා මගේ අම්මගෙයි අප්පච්චිගෙයි හීනය.


සැක්සෆෝනයට අමතරව මොනවද ඔබ වාදනය කරන සංගීත භාණ්ඩ?


මේ වනවිට මම විශාරද විභාගය කරල තියෙන්නෙ. එහිදී මම ඉගෙන ගත්තෙ වයලීන් වාදනය සහ ගායනය. ඊට අමතරව ගිටාර් එක සහ එකෝස්ටික් ඩ්‍රම් එක වාදනය කරන්න පුළුවන්.


රඟපෑමටත් ආරාධනා ලැබුණා කියල ආරංචියි?


හිරු ස්ටාර් වැඩසටහනින් ඉවත් වුණාට පස්සෙ මට හිරු ටීවී ආයතනයෙන් ආරාධනයක් ලැබුණා දිවි තුරා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියල. මම බොහොම ආසාවෙන් ඒ ආරාධනය භාර ගත්තා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිල තියෙන්නෙ. තවම ෂූටිං පටන්ගත්තෙ නැහැ.


ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?


ඇත්තටම මගේ අම්මයි අප්පච්චියි මගේ පිටිපස්සෙන් ඉන්න නිසා තමයි මම අද මේ තැන ඉන්නෙ. ඒ සහයෝගය මට වචනවලින් විස්තර කරන්න බැහැ.


අද ‘සැක්සො මාෂි’ යන අන්වර්ථ නාමයෙන් රටම ඔබව හඳුන්වනව?


ඇත්තටම මට ඒ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනව. මොකද අද කාලෙ සැක්සෆෝන් වාදනය කරන පිරිමි ළමයිනුත් ගොඩක් අඩුයි. ඉතින් ගැහැනු ළමයෙක් ඒක ප්ලේ කරනකොට ඒ වෙනස හොඳින්ම දැනෙනව. ඒ නිසා වෙන්න ඇති බොහෝ දෙනෙක් මාව මේ විදිහට හඳුන්වන්නෙ.


සංගීත කණ්ඩායමක් පටන්ගන්න අදහසක් තියෙනවද?


අපේ පවුල කලා පවුලක් විදිහට හැඳින්වුවොත් සාධාරණයි. මගේ මල්ලිටත් මද්දලය, තබ්ලාව වාදනය කරන්න පුළුවන්. ඒ වගේම ඔහු දැන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනව. මේ නිසා මගේ අදහසක් තියෙනව අපේ පවුලෙන්ම සංගීත කණ්ඩායමක් පටන්ගන්න. අපි බලමු ඉදිරියේදි.


කොහොමද ඔබ වාදනය කරන්න පුරුදු වෙන්නෙ?


සැක්සෆෝනය මගේ අතට ලැබුණ දා පටන් මම තනියම පුරුදු වෙන්න උත්සාහ කළා. ඒ වගේම මට ඒක අල්ලගන්න පුළුවන් වුණා. නමුත් මේක බටහිර වාද්‍ය භාණ්ඩයක් නිසා වැඩිදුර හදාරන්න මම ගුරුවරයෙක් ළඟට ගියා. එතුමා නමින් භාරත රාජපක්‍ෂ.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 2
Previous Post Next Post