
ඉතිං කොහොමද මේ දවස්වල අලුත් තොරතුරු?
ටෙලි නාට්‍ය කිහිපයකම රූපගත කිරීම් සමඟින් එක්වී සිටින නිසා මේ දවස්වල තරමක් කාර්යබහුලයි. ඉර හැංගිලා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තියෙන්නේ කොළඹ ඉඳල ගොඩක් ඈත ගල්ගමුව ප්‍රදේශයේයි. ඊට අමතරව මම මේ දිනවල රංගනයෙන් දායක වෙලා ඉන්න ආලවන්ති, රාග, පැබ්ලෝ ටෙලි නාට්‍යවල රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා.
ඉර හැංගිලා ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
ඉර හැංගිලා ටෙලි නාට්‍යයෙන් කතාබහ වෙන්නේ ඈත පිටිසර ගම්වල ජීවත් වන මිනිසුන් විඳින දුක් ගැහැට පිළිබඳවයි. අපි බොහෝ දෙනකුගෙ අදහස වෙන්නේ මේ සමාජය තුළ සුදු මිනිස්සු – කළු මිනිස්සු කියලා වර්ග දෙකක් ජීවත් වෙනවා කියලනේ. එහෙම සුදු හරි කළු හරි මිනිස්සු නැහැ කියලා තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. රටක් දියුණු වෙනවද අගාධයට යනවද කියලා තීරණය වෙන්නේ ඒ රටේ නායකයා ගන්න තීන්දු තීරණ මත. ඒ වගේම තමයි පවුලකත් ගෘහ මූලිකයා ගන්න තීන්දු තීරණ ඒ පවුලේ දියුණුවට බලපෑම් කරනවා. මේ නාට්‍ය පුරාම එහි රචකයා කතා කරන්නේ මේ ගමේ ජීවත් වෙන පවුල් කිහිපයක හැඟීම් පිළිබඳවයි.
මෙම ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?
ඉර හැංගිලා නාට්‍යයේ මම නිරූපණය කරන්නෙ මුදලාලි හාමිනේගේ චරිතයයි. කඩය අයිති මගේ සැමියාටයි. ඔහු ලෝභ, මසුරු, ඒ වගේම ස්ත්‍රී ලෝලී අයෙක්. මේ දොපළට දරුවෙක් ඉන්නවා. ඒ දරුවත් හරිම අකීකරුයි. මොවුන් දෙදෙනාගේ මේ හැසිරීම් නිසා මුදලාලි හාමිනේ අසරණ වෙන අවස්ථා බොහොමයි. මොන තරම් අසරණ වුණත් දුක් වේදනා දැනුනත් ඒ සියල්ල දැනිලා නොදැනුනා වගේ දරාගෙන ඉන්න ගැහැනියක් තමයි මුදලාලි හාමිනේ කියන්නේ. මෙම කතාව පුරාම කියැවෙන්නේ ගැහැනියක් ජීවත් වෙද්දී මැද මාවතේ ගමන් කිරීමේ වැදගත්කම ගැන. මගේ චරිතය වෙතින් සමාජයට යන පණිවුඩය එයයි. කාලයකට පස්සේ හරිම ආසාවෙන් කරන චරිතයක් තමයි මේක.
මේ දිනවල ඔබ රංගනයෙන් දායක වෙලා ඉන්න අනෙක් ටෙලි නාට්‍ය ගැනත් කතා කරමුද?
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යවල මම නිරූපණය කරන්නේ එකිනෙකට වෙනස් චරිත. පැබ්ලෝ නාට්‍යයේ නිධානයක් ලබා ගන්න ගිහින් තමන්ගේ ස්වාමිපුරුෂයා අහිමිවීමත් සමඟ දරුවන් තිදෙනකු සමඟ තනි වෙන අම්මා කෙනකුගේ චරිතයට තමයි පණ පොවන්නේ. මේ ටෙලි නාට්‍ය තුළින් මම දැක්ක විශේෂත්වය තමයි මොන වැරැදි වැඩේ කළත් මේ පවුලේ තියෙන “අපේකම”. සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනා තුළ මේ වන විට අපේකමක් දකින්න නැහැ. මේ නාට්‍යයේ ලොකු පුතා අම්මා ගැන, සහෝදර සහෝදරියන් ගැන සොයා බලන විදිහ හරිම අපූරුයි. අපේකම සමාජයට ගෙන යෑමට කළ උත්සාහයක් ලෙස මම ඒ නිර්මාණය දකිනවා. රාග ටෙලි නාට්‍යයේ කතා කිරීමට අපහසු සංගීත ගුරුවරියකගේ චරිතයකින් තමයි මම ඔබ හමුවට එන්නේ. සමාජය තුළ පවතින දැඩි ව්‍යාකූලත්වය නිසා දැඩිසේ මානසික පීඩනයට පත්වන්නියකගේ චරිතයක් තුළින් ප්‍රේක්ෂක ආදරය ලබනවා. ආලවන්ති ටෙලි නාට්‍යයේ විවිධ වයස් නියෝජනය කරන ස්ත්‍රීන් හය දෙනෙක් තම ජීවිතයේ සතුට දුක විඳින ආකාරය පිළිබඳවයි කියැවෙන්නේ. මෙවැනි විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම මම ලබපු භාග්‍යයක්.
ඔබ පැමිණි දිගු ගමනේදී හමුවූ අභියෝග පිළිබඳ කතා කළොත්?
මගේ ජීවතේ මට ලැබුණු හැම අවස්ථාවක්ම අභියෝගයක් තමයි. මම රඟපාපු පුංචිම පුංචි චරිතයක් තුළින් වුවත් ප්‍රේක්ෂකයාට දැනෙන යමක් මම කරල තිබෙනවා. සරල උදාහරණයක් කිවහොත් මල්කාන්ති ජයසිංහ ගත්තොත් මිනිස්සු මල්කාන්ති ගැන දැන ගන්නෙ මල්කාන්ති වටා ඉන්න පිරිස කියන දේ ඇසුරෙන්, ඒ වගේ තමයි නාට්‍යයක චරිතත්. මම කරන චරිතය දිහා රසිකයන් බලන් ඉඳල ඔවුන් දක්වන ප්‍රතිචාර මත තමයි මගේ චරිතයේ සාර්ථකත්වය නිර්මාණය වෙන්නේ.
මේ ආ ගමන් මඟ ගැන ඔබ තෘප්තිමත්ද?
මම විශ්වාස කරන එකම ධර්මය තමයි ස්වභාවධර්මය. මට ලැබිල තිබෙන මේ හැකියාව මට ලැබුණේ ස්වභාවධර්මයේ කැමැත්ත අනුව. ඒ ලැබුණ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නෙ ඉතාමත් කැමැත්තෙන් සහ ආශාවෙන්. මට කතා කරන්න පුළුවන්, දෙබස් මතකයේ තබා ගන්න පුළුවන් වෙන අවසාන දවස දක්වාම රඟපාන්න තීරණය කරලයි තියෙන්නේ. ඒ තීරණය මම ගන්නේ මේ ගතවුණු කාලය තුළ මට ලැබුණු තෘප්තිය නිසාමයි.
වත්මන් රංගන පරපුර ගැන මොනවද කියන්නෙ?
වත්මන් පරපුර කතාබහ කරන ආකාරය, විලාසිතා කරන ආකාරය හරිම වෙනස්. අපේ කාලය වගේ නොවෙයි අද තාක්ෂණය අතින් දියුණුයි. අපිට ඉගෙන ගන්න අවස්ථා තිබුණේ නැහැ. ඔවුන්ට එහෙම නෙවෙයි ඉගෙන ගන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. ඒ දරුවන් අලුත් දේ ගැන දැනුම සොයා ගෙන යනවා. ඒ දරුවන්ගේ සමාජ සම්බන්ධතාත් ඉතාම ඉහළයි. මම අලුත් දරුවන් එක්ක වැඩ කරනවා. එයාලගෙ පොඩි පොඩි වැරැදි තිබුණත් මම ඒ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. මම ඒ දරුවන්ට කියන්නෙ තමන්ට ලැබුණු මේ අවස්ථාව සුවිශේෂී දෙයක් ලෙස සලකා තමන්ගෙ ගමන සාර්ථකව ඉදිරියට යන්න අවස්ථාවක් කර ගන්න කියලයි.
ප්‍රවීණයෙක් ලෙස ආධුනිකයකුට දෙන උපදේශය කුමක්ද?
අංක එක තමන් ඉන්නේ මොන ක්‍ෂේත්‍රයක වුණත් ඒ ගැන හොඳින් ඉගෙන ගන්න ඕනෑ. එහෙම නොවුණොත් මේ ක්ෂේත්‍රයේ නොවෙයි මොනම ක්ෂේත්‍රයකවත් රැඳී සිටීම එතරම් පහසු නැහැ. අධ්‍යාපනයක් නොමැතිව ඉන්න අය හරි ඉක්මනින් ඉවත් වෙලා යනවා. වැඩි කාලයක් එහෙම අයට රැඳිලා ඉන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ. වර්තමානයේ නම් රංගනයට එන බොහෝ දෙනෙක් එන්නෙ උපාධිය අරගෙන. එයාලට න්‍යායාත්මක දැනුම තිබෙනවා. ප්‍රායෝගික දැනුම තමයි ලබා ගන්න තිබෙන්නේ.
ආධුනික ශිල්පියකුට රංගනය ඉගෙන ගන්න වඩාත් සුදුසු ස්ථානය කුමක්ද?
ඒ ප්‍රශ්නයට නම් මට දෙන්න තිබෙන පිළිතුර තමයි ටෙලිනාට්‍ය කියන එක. මොකද මේ දවස්වල රසවින්දනයට පහසුම ස්ථානය රූපවාහිනිය. අපි එන කාලේ අපි හිතුවෙ වේදිකාව කියලා. වර්තමානයේ නම් ස්ක්‍රිප්ට් එක රංගන ශිල්පියාට කියවන්න ලැබෙන්නෙ නැහැ. අපිට නම් ඒ කාලේ මුළු ස්ක්‍රිප්ට් එකම කියවන්න අවස්ථාව ලැබුණා. දැන් එහෙම නැහැ. එදාට කරන සීන් එක එදා උදේට තමයි ලැබෙන්නේ. ඒ නිසා වෙලා තියෙන දේ වෙන්න තියෙන දේ දැන ගන්න අමාරුයි. සිනමාවෙ සහ වේදිකාවේ පිටපත් තියෙනවා. ටෙලි නාට්‍යවල තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. ඒ නිසා ඒ ගමන සිහි නුවණින් තේරුම් අරගෙන යෑම තමයි වැදගත් වෙන්නෙ.
අනාගත බලාපොරොත්තු ගැන කතා කරමු?
ලොකු ලොකු බලාපොරොත්තු නම් නැහැ. මේ මොහොතේ සාර්ථක ලෙස ජීවත් වෙන්න අවස්ථාව ලැබුණොත් ඇති.
අරුණි ජයසේකර
